පළකල දිනය : Sat, Mar 31st, 2018

“ඒ විදියට රඟපාන්න අපේ අකමැත්තක් නෑ” වොල්ගා සමග රඟපාන හැටි කියයි

මීට බොහෝ කාලයකට ඉහත දි නිර්මාණ තුළින් පෙම්වතුන් ලෙස ඔබ දුටු වොල්ගා කල්පනී සහ හර්ෂණ බෙත්මගේ සැබෑ ජීවිතයේ දී ද පෙම්වතුන් බවට පත් විය.

එසේ ම ඔවුන් දෙදෙනා කාලයාගේ ඇවෑමෙන් අඹු සැමියන් බවට ද පත් විය.

ඉතිං ඔවුන්ගේ අලුත් තොරතුරු කිහිපයක් සම්බන්ධයෙන් හර්ෂණ පුවත්පතකට තොරතුරු කියලා තිබෙනවා. ඒ මෙන්න මේ විදිහට.

හර්ෂණයි වොල්ගයි අලුත් ටෙලියක පේන්න අරගෙන?
ඔව්. ඒ “අපේ ආදරේ” ටෙලි නාට්‍ය. වොල්ගාටයි මටයි කාලයකට පස්සේ එකට රංගනයට දායක වෙන්න ලැබුණු ටෙලි නාට්‍යයක්. ගැමි සුන්දරත්වය, කොළඹ පරිසරය ගැන වගේම සමාජ තත්ත්ව කිහිපයක් ගැන කතා කරන වෙනස්ම වින්දනාත්මක තේමාවක් යටතේ ගලා යන ටෙලි නාට්‍යයක් තමයි මෙය.

එය ජනක චාමින්ද අධ්‍යක්‍ෂණය කරන්නේ. ලක්‍ෂ්මන් පුෂ්පකුමාර මහත්මයා තමයි එය රචනා කරන්නේ. එය සෑම සතියේ දිනකම සියත ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රි 08.30ට විකාශය වෙනවා.

හර්ෂණ ඉබේම ඇමති පුතෙකුත් වෙලා?
ඔව්. මම මේ නාට්‍යයේ නිරූපණය කරන්නේ ඇමති පුතෙකුගේ චරිතයක්. අපි ඇමති පුත්තු ගැන අහලා තියෙන කතාන්දර එක්ක බලද්දී විනෝජ් කියන ඇමැති පුතා වෙනස්ම චරිතයක්.

දැන් ඔය කියන ඇමැති පුතාගේ වෙනස මොකක්ද?
මේ ඇමති පුතා වෙනස් ජාතියේ ඇමති පුතෙක්. ගැහැනු ළමයෙක්ට අවංකවම ආදරය කරන, ඒ නිසා ඇතිවෙන හැලහැප්පීම් එක්ක ඉදිරියට යන කතාවක් තමයි මෙහි තියෙන්නේ. සෙල්ලක්කාරයෙක් වුණත් ආදරයේ දී අවංක වෙන තරුණයෙක්.

සැබෑ ජීවිතේ සැමියා – බිරිය වුණු හර්ෂණයි වොල්ගයි තිරය ගළපන අවස්ථා දැන් වැඩියි නේද?
ඔව්. අපි මීට කලිනුත් පෙම්වතා පෙම්වතිය විදියට එකම නිර්මාණයේ රඟපාලා තියෙනවා. තව චිත්‍රපටයකටත් ආරාධනාවක් ලැබුණා අපිට එකට රඟපාන්න. ඒ සනත් ගුණතිලක මහත්තයාගෙ. ඒ චිත්‍රපටයේ රූගත කිරීම් මැයි මාසයේ දී විතර ආරම්භ කරනවා.

ඒ ගැළපීම කරන්නේ හර්ෂණගෙයි වොල්ගාගෙයි වුවමනාවටද?
ඇත්තටම අපි කවදාවත් කියලා නැහැ අපි දෙන්නව එක නිර්මාණයකට සම්බන්ධ කර ගන්න කියලා. මම සම්බන්ධවන නිර්මාණයට වොල්ගා පෙම්වතිය කරන්න කියලාවත් වොල්ගා පෙම්වතියවන නිර්මාණයක මම පෙම්වතා කරන්න කියලාවත් අපි කවදාවත්ම ඉල්ලීම් කරලත් නැහැ. කරන්නෙත් නැහැ. ඒත් අධ්‍යක්‍ෂවරු අපිව නිර්මාණවලටත් ගළපනවා.

ඒ ගැළපීමට හර්ෂණත් කැමැති ඇති?
ඇත්තටම මගේ බිරියත් එක්ක රඟපාද්දී ඒක මට පහසුයි. ආදරය කියන දේ අවංකව කරන්න පුළුවන්. අපි රඟපාද්දී ඒ හැඟීම හරිම ලස්සනට එනවා. වොල්ගයි මමයි රඟපාද්දී හරිම රිලැක්ස්. ඉතින් ඒ විදියට රඟපාන්න අපේ අකැමැත්තක් නැහැ.

හර්ෂණ අධ්‍යක්‍ෂකවරු කිහිපදෙනකුගේ නිර්මාණවල වැඩිපුර පේන්න ඉන්නවා. අධ්‍යක්‍ෂකවරු තෝරගෙන ද රඟපාන්නේ?
මෙහෙමයි මම මේ වෙනකොට සෑහෙන අධ්‍යක්‍ෂවරු පිරිසක් එක්ක වැඩ කරලා තියෙනවා. හැබැයි සමහර අධ්‍යක්‍ෂවරු එක්ක නිර්මාණ වැඩි ප්‍රමාණයක් කරලා තියෙනවා.

අපිත් එක්ක වැඩ කරපු අධ්‍යක්‍ෂවරු මාව විශ්වාස කරලා තවත් නිර්මාණයකට සම්බන්ධ කර ගන්නවා. එහෙම නැතිව මම අධ්‍යක්‍ෂවරු තෝරගෙන වැඩ කරන්නේ නැහැ.

Pix – Krish Lee

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button