පළකල දිනය : Sat, Mar 31st, 2018

වේටින් ලිස්ට් එකේ ඉදලා ලංකාවේ හතරවටෙන් ආපු බස් ලස්සන කරලා යවන විකුම්

අපේ මාමා හොඳ කලාකරුවෙක්. ගමේ සැරසිලි වැඩක් තිබුණා නම් මාමා එතැන.

මඟුල් අවමඟුල්වලදී මාමා නැතිවම බැරි කෙනෙක් වුණා. ඒ විතරක් ‍නෙවෙයි.

එයා ත්‍රීවීල්, බස් රථ ආදිය අලංකාර කරන්නටත් ගොඩ වුණා. මාමා දිහා බලාගෙන ඉන්න එක තමයි මගේ වැඩේ.

මං එතැනින් තමයි ඉගෙන ගත්තේ. මේ විකුම්ගේ කතාවය. ඔහුගේ කතාව අපි ඔබට කියන්න හිතුවේ කවර හේතුවක් නිසාදැයි හිතෙන්න පුළුවන.

ඒ අන්කිසි හේතුවක් නිසා නොව ලංකාවේ බස් හැඩ වැඩ කරන අංක එකේ බස් රූපලාවණ්‍යාගාරයේ නිමැවුම්කරු ඔහු නිසාය. යකඩ ගොඩවල් මනාලියන් සේ හැඩ වැඩ ගන්වන විකුම්ගේ බස් රූපලාවණ්‍යාගාරයට ඉකුත් දිනෙක මම ගොඩ වැදුණෙමි.

හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් රන්න නගරයට ආසන්නයේ පිහිටි විකුම්ගේ බස් රූපලාවණ්‍යාගාරයේ ලංකාවේ නන් දෙසින් මනාලියන් සේ හැඩ වැඩ වෙන්නට පැමිණි බස් රථ රැසක්ම විය.

පාරකට බැස්ස කල නන් විසිතුරු කර විවිධ නම් පටබැඳි බස් රථ ඕනෑ තරම් ධාවනය වන අයුරු ඔබට දැකගත හැකිය. සැබැවින්ම මේ බස් රථ මනාලියන් සේ හැඩවැඩ වෙන්නේ කෙසේද? ඒ හා බැඳුණු කතාව කුමක්ද?

මෙය මට සේම ඔබටද කිහිප වතාවක්ම ගැටලුවක් වූ බවට සැකයක් නැත. විකුම්ගේ රන්නේ බස් රථ රූපලාවණ්‍යාගාරයට මා අහම්බෙන් ගොඩ වූයේ එකී වගතුග දැන ගැනීමටය. සැබැවින්ම මහ පාරේ ඔබ දකිනා බොහෝ බස් රථ මනාලියන් සේ හැඩගැන්වී ඇත්තේ විකුම් සහ ඔහුගේ කණ්ඩායම අතිනි.

ඉස්සර අපේ මාමා ලුමිනස් ස්ටිකර් තමයි බස් සැරසිලි ආදියට පාවිච්චි කළේ. මං ඉතින් මාමා ‍පොඩ්ඩක් එහාට මෙහාට වුණාම ලුමිනස් ස්ටිකර් දෙකක් විතර හොරෙන් අරගෙන ගිහිල්ලා, සැරසිලි වැඩ කරනවා. ඉස්කෝ‍ලේ හතේ අටේ පන්තියේ ඉන්න කොට උඩවලව හන්දියේ ‍පොඩි තැනක් දමාගෙන වාහනවලට හැඩවැඩ දැම්මා. ඉස්සෙල්ලාම ත්‍රීවීල් තමයි හැඩ වැඩ කළේ. මළ ගෙවල්, මඟුල් ගෙවල් ආදියේ සැරසිලිවලින් තමයි වැඩ පටන් ගත්තේ.

අපේ මාමා බස් සැරසිලි කළේ බස් අයිතිකාරයන්ගේ ගෙවල්වලට ගිහිල්ලා. මට මතකයි එක බස් අයිතිකාරයකුගේ ගෙදරට ගිහිල්ලා බස් රථයක් අලංකාර කරන කොට අයිතිකාරයා වියදම් වැඩියි කියලා වැඩේ නතර කළා. මාමා මිය ගියාට පස්සේ අඩු මුදලට කරලා දෙන්නම් කියලා මම බස් මොඩිෆයි කිරීමේ වැඩ භාර ගත්ත. එතැනින් තමයි මේ රැල්ල ඇති වුණේ. දැන් ඒ රැල්ල දිගටම යනවා.

උඩවලව හන්දියෙන් පස්සේ මම හුංගම තැනක් අරගෙන වැඩ පටන් ගත්තා. එහෙම හුංගම වැඩ කරලා එතැනින් රන්නෙ අද ඉන්න තැනට මං ආවේ ෆුට් බයිසිකලෙන් රුපියල් 60ක් අතේ තියාගෙන. ඒ 2010දී. එහෙම ඇවිල්ලා මගේ එකම සිහිනය වුණේ ඩිජිටල් මුද්‍රණාලයක් මිලදී ගන්න.

හැම බැංකුවකින්ම මූල්‍ය ආයතනයකින්ම ඒකට ණයක් ඉල්ලුවා. කිසිම තැනකින් ලැබුණේ නැහැ. අන්තිමට සමිත කියන මහත්තයා එයා සේවය කරන මූල්‍ය ආයතනයෙන් ණයක් කොහොම හරි අරන් දෙන්න උත්සාහ කළා. ඒකත් කෙරෙන නොකෙරෙන තැනක තිබුණේ. අන්තිමට මං රුපියල් 300ක් අතේ තියාගෙන යතුරුපැදියෙන් මගෙ බිරිඳ චන්දිත් එක්ක කතරගම ගියා.

රුපියල් 100කින් බයිසික‍ලේට තෙල් ගහලා අනිත් 200න් පූජා වට්ටියක් අර ගත්තා. කතරගම දේවාලයෙන් එළියට එනකොට කෝල් එකක් ආවා ණය වැඩේ හරි කියලා. ඉතින් ඔහොම තමයි මේ ගමන ආවේ. මගේ බිරිඳ චන්දි සමරසිංහ තමයි මගේ ලොකුම ශක්තිය. මගේ අම්මයි තාත්තයි මාත් එක්ක හැමවිටම හිටියා. අයියත් ගොඩක් උදව් කළා. අද මගේ තැනට මාසෙකට බස් 20-30ක් විතර එනවා හැඩ වැඩ වෙන්න. තවත් බස් ප්‍රමාණයක් ‍පොරොත්තු ‍ලේඛනයේ ඉන්නවා. දින වෙන් කර ගන්න. ඔය විදිහට මාසෙට බස් 20-30ක් විතර හැඩවැඩ වෙලා පිටවෙලා යනවා.

අපි අය කරන්නේ සාධාරණ මුදලක්. බස් හිමියාට වුවමනා විදිහට එයත් එක්ක කතා කරලා ආර්ට් වර්ක් එක කරන හැටි මං මගේ ඔළුවට ගන්නවා. මං වසර 10ක් විතර තිස්සේ හැමදාම උදේ 4.30ට අවදි වෙනවා. කොතරම් රෑ වෙලා නිදා ගත්තත් ඒක මං අකුරට කරනවා. එහෙම උදේ 4.30ට විතර අවදි වෙලා බස් රථය අලංකාර කරන්න වුවමනා කරන ආර්ට් වර්ක් එක හදනවා. උදේ නැගිට්ටාම හිතට හරිම නිදහස්. හොඳට නිර්මාණයක් කරන්න පුළුවන්. බස් එකක් වැනි යකඩ ගොඩක් අලංකාර කරන එකත් ලොකු කලාත්මක වැඩක්.

හැම බස් රථයකටම වෙනස් ආර්ට් වර්ක් මං හදනවා. එහෙම උදේ පාන්දර හදලා ඒක වැඩි දියුණු කරන්න අපේ කට්ටියට පවරනවා. එයාලා ඒක අකුරට හොඳට කරනවා. බස් අලංකාර කිරීම පිළිබඳ අපට ආවේණික කලාවක් තියෙනවා. අපි හැමවිටම උසස් ප්‍රමිතිය ගැන හිතනවා. බාල ප්‍රමිතියට කිසිම වැඩක් කරන්නේ නැහැ. මුලතිව්-කිලිනොච්චි බස් රථ පවා මගේ ළඟට ආවා. එක් දෙමළ බස් අයිතිකාර මහත්තයෙක් රන්නට ආවේ භාෂා පරිවර්තකයකුත් අරගෙන.

විකුම්ගේ කතාව සැබෑවක් බව අපට වැටහුණේ ඒ වන විටද හැඩවැඩ ගැන්වීම සඳහා බස් රථ දහයකට අධික ප්‍රමාණයක් ඔහුගේ බස් රූපලාවණ්‍යාගාරයේ ගාල් කර තිබුණු හෙයිනි. ජී.ජී. ඒකනායක තම සහෝදරයාගේ බස් රථය සමග පැමිණ තිබුණේද මාත‍ලේ සිටය.

මං දවස් 15ක් තිස්සේ රන්නේ මෙහෙන් හැඩ වැඩ කරපු බස් දැකලා තමයි අපේ බස් එකත් අරගෙන ආවේ. අපි බස් එක ගත්ත ගමන් එක දිගට දිව්වා. එහෙම දුවලා ආදායමක් හොයා ගෙනයි මෙහෙට ආවේ. කවුරු වුණත් හැඩට වැඩට ඇන්දාම පැලැන්දාම අවධානය වැඩියිනේ. ඒ වගේ තමයි බස් එකක් වුණත් අලංකාර කරලා පාරට දැම්මාම ඒක ගැන අවධානය වැඩි වෙනවා. අපි කැමැතියි අපේ බස් එක පාරෙදී කැපී පෙනෙනවාට. ඒ ඒකනායකගේ අදහසය.විකුම්ගේ බස් රූපලාවණ්‍යාගාරයේදී අපට තවත් අපූරු චරිතයක් හමුවිය. ඒ 25 හැවිරිදි උදාරය. ඔහු ආර්ට්වර්ක් ඔස්තාර් කෙනෙකි.

මං ග්‍රැෆික් ඩිසයිනින් ගැන පාඨමාලාවක් කරලා ඩුබායි රටේ වසර එකහමාරක් පමණ රැකියාවකුත් කළා. එතැනින් පස්සේ තමයි මෙතැන රැකියාවට ආවේ. මේක වෙනම කලාවක්. සමහර බස් අයිතිකාරයෝ අපේ ළඟට එන්නෙ බස් රථය හැඩ වැඩ ගැන්වීම සඳහා තමන්ගේම සැලසුමක් එක්ක. වර්ණය පවා ඔවුන්ගේ ඔළුවේ තියෙනවා. සමහරු විවෘත මනසකින් ඇවිල්ලා අපට කියනවා කැමැති විදිහට බස් රථය හැඩවැඩ කරන්න කියලා. හැමෝටම ඕන තමන්ගේ බස් එක හොඳට සරසන්න. අනිත් බස්වලට වඩා කැපී පෙනෙන්නයි ඒක කරන්න හදන්නේ.

ඒ නිසා අපි හැම බස් එකකටම වෙන වෙනම ආර්ට් වර්ක් හදනවා. බස්වලට නම් තැබිමත් වෙනම කලාවක්. බස් එකේ හැඩරුව, බස් හිමියාගේ රුචි අරුචිකමුත් නම් තැබිමට බලපානවා. හැබැයි ගොඩක් අය තමන්ගේ බස් රථවලට දාන්නේ කාන්තාවන්ගේ නම්. මම හිතන්නේ බස් රථ හිමියන්ට තමන්ගේ බස් රථය පෙම්වතියක් වගේ හැඟීමක් ඇති කරනවා ඇති. මෙහෙට ආපු බස්වලින් එහෙම කාන්තා නම් දාපු බස් රථ කීපයක් මට මතක් වෙනවා. දුඹුරු ළමිස්සි, දම් රැජින, හිම රැජින, සුළං කිරිල්ලි ඒ වගේ නම් කිහිපයක්. දුඹුරු ළමිස්සි බස් රථයේ පාට දුඹුරුපාටයි. දම් රැජින දම් පාටයි.

බස් අලංකාර කිරීමේ කලාව උදාර කියන හැටියට නම් අපූරු එකකි. බස් අලංකාර කිරීම වැඩකිඩ කිහිපයකින් යුක්තය. ස්ටිකර් ගැසීම. කුෂන් කිරීම. ආලෝකකරණය, තීන්ත ආ‍ලේප කිරීම වැනි ක්‍රියාවලියකින් එය යුක්තය. විකුම්ගේ බස් රූපලාවණ්‍යාගාරයෙන් හැඩවැඩ වෙන බස් රථ අවට තිබෙන තිබෙන තැන්වලින් කුෂන් වැඩ ආදිය කර ගනියි. බස්වල කුෂන් වැඩ සඳහා නම ගිය පුද්ගලයකු අපට හමුවූයේ විකුම්ගේ බස් රූපලාවණ්‍යාගාරයේ අසලිනි. ඔහු චන්දනය. දකුණු පළාතේ බස් කුෂන් වැඩ සඳහා නම ගිය පුද්ගලයා ඔහුය.

මම කොළඹ කුෂන් වැඩපළක තමයි රැකියාව කළේ. එතැනින් වැඩ ඉගෙන ගෙන මං එළියට ආවා. ඊට පස්සේ හෝමාගම මගේ අයියා ළඟට ගිහින් බස් රථ කුෂන් කිරීම ඉගෙන ගත්තා. පස්සේ ගමට ඇවිල්ලා මෙහෙ වැඩපළක් පටන් ගත්තා චන්දන කියයි. ඔහුගේ වැඩපළේ ඔහු සමග වැඩ කරන්නේ සහෝදරයන් තිදෙනාය.

මෙතැන මායි මගේ සහෝදරයන් තුන්දෙනා තමයි වැඩ කරන්නේ. ඒ නිසා අපි වැඩක් භාර ගත්තාම උදේ අටේ ඉඳලා රෑ 10-12 වෙනකම් වැඩ කරනවා. එකම විදිහට හැම බස් රථයකම කුෂන් වැඩ කරන්නේ නැහැ. හැම බස් එකකටම වෙනස් විදිහකට තමයි කුෂන් කරන්නේ.

චන්දනගේ කුෂන් වැඩ‍පොළෙන් බස් රථ රැසක් ‍පොරොත්තු ‍ලේඛනයේ සිටින අයුරු අපට දැකගත හැකි විය.මෙසේ විකුම්ගේ බස් රථ අලංකාර කිරීමේ වැඩ‍පොළ නිසා චන්දනලා ඇතුළු විශාල පිරිසකට රැකියා සහ ව්‍යාපාරික අවස්ථා සැලසී තිබේ.

හැමවිටම මං අලුතෙන් හිතනවා බස් එකෙන් බස් එකට වෙනස්ව හිතනවා. නිතරම බස් මොඩිෆයි කිරීම සඳහා විවිධ අංග එකතු කරනවා. ඒ නිසා තමයි ලංකාවේ හතර දිග්බාගෙන් බස් රථ මගේ තැනට එන්නේ. ලැබෙන වැඩ කරන්නත් බැරි තරම්. මේ බස් හැඩවැඩ කිරිල්ල හරියට වෘත්තියක් සේ කළ නිසා මට මගේ ජීවිතයේ හැම සිහිනයක්ම සපුරාගන්නට හැකි වුණා.

රන්නේ බස් රූලාවණ්‍යාගාරයේ නිමැවුම්කරු වන විකුම් තම කතාව අවසන් කළේ එසේය.ලංකාවේ බස් රථ අලංකරණය කිරීම පිළිබඳ විවිධ අදහස් තිබිය හැකිය. ගමනාගමන නීතිය අනුව බස් එකකට භාවිත කළ හැකි වර්ණ තිබේ. බස් රථයක මුල් වර්ණ වෙනස් කරන්නේ නම් බසයේ ‍පොත වෙනස් කළ යුතුය. කෙසේ වුවද වෙනස් විදිහට හිතන, කල්පනා කරන කෙනෙකුට හිත්පිත්නැති යකඩ ගොඩකින් වුවද මතු කළ හැකි කලාව කෙතරම්ද යන්න විකුම්ගේ බස් රූපලාවණ්‍යාගාරයෙන් එළියට බට මට ඇති වුණු හැඟීමය.

  • 10.4K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button