පළකල දිනය : Mon, Apr 2nd, 2018

හය මාසයක් ප්‍රවෘත්ති කියවන්න නොදුන්නත්, නදීක හොඳම ප්‍රවෘත්ති නිවේදකයා වූ පුදුමය

රයිගම් ටෙලි සම්මාන රාත්‍රියේ හොඳම ප්‍රවෘත්ති නිවේදකයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා නේද? සතුට වචනවලට පෙරළන්න පුළුවන්ද?
අනිවාර්යයෙන්ම සතුට කියා නිම කළ නොහැකියි. මම මේ සම්මානය ගත්තේ බාධක ගොඩක් මැදින්. ඒ නිසාම මේ සම්මානය මට හුඟක් වටිනවා. ජීවිතේ අමතක නොවන සන්ධිස්ථානයක් කිව්වොත් නිවැරදියි.

මේ කීවැනි සම්මානයද?
මේ සුමති, රයිගම් වැනි සම්මාන උළෙලවලින් ලද දහවැනි සම්මානයයි. නමුත් මේ සම්මානය තමයි ජීවිතේ වටිනාම සහ සතුටුම වන සම්මානය.

ඇයි එහෙම කියන්නේ?
මේ සම්මානය මම ලබාගත්තේ බාධක, කම්කටොලු කැපිලි කෙටිලි ගොඩක් මැදින්. මෙවර රයිගම් සම්මාන උළෙ‍ලේ තේමාවත් ‘මැදින්’ යන්නයි.

ගෙවුණු අවුරුද්දක එකහමාරක කාලය ආයතනික මට්ටමින් සමාජයෙන් එල්ලවන පුදුමාකාර තාඩන පීඩන රැසක් මැදින් තමයි මම මේ ගමන යන්නේ. අන්න ඒ නිසයි මට මේ සම්මානය ගොඩක් වටින්නේ.

ස්වර්ණවාහිනිය ඔබේ මාධ්‍ය ජීවිතේට තෝතැන්නක් වුණා නේද?
අනිවාර්යයෙන්ම. මගේ ජීවිතේ වටිනාම තැන් නිර්මාණය කළේ ස්වර්ණවාහිනියයි. මම ජනතාව අතරට ගියේ ස්වර්ණවාහිනිය නිසයි.

නවක ප්‍රවෘත්ති නිවේදකයන් ඔබට අභියෝගයක්ද?
ඇත්තටම නැහැ. මම දැන් මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු දහනවයක්. අදටත් මම නවකයන් සමග වැඩ කරලයි මෙවැනි සම්මානයක් දිනාගත්තේ. නවකයන්ට අත දෙන්න මම කැමතියි වගේම ඔවුන් සමග කරට කර සිටින්නටත් මම කැමතියි.

බාධක රැසක් මැදින් මේ ගමන ආවා කිව්වනේ. මොනවද මුහුණ දෙන බාධක?
මාව මාස හයක් පුරා ප්‍රවෘත්ති නිවේදන කටයුතුවලින් ඉවත් කරලා තියෙනවා. අලුතින් ආයතනයට ප්‍රධාන විධායක නිලධාරිවරයෙක් ආවා. ප්‍රවෘත්ති නිවේදන කටයුතුවලින් ඉවත්වන ලෙස එතුමා මගෙන් ඉල්ලීමක් කළා. එය සිදුකළේ එතුමාගේ පෞද්ගලික අවශ්‍යතාවක් මතයි.

මේ වෙනකොට මම ප්‍රවෘත්ති නිවේදන කටයුතුවලින් ඉවත්වෙලා ආයතනයේ ප්‍රධාන ශාඛාවට වෙලා මගේ අනාගතය සැලසුම් කරනවා. මගේ සහ මා රැකගෙන ආ වෘත්තියේ ආත්ම ගරුත්වය කෙලෙසන්න බොහෝ අය කටයුතු කරමින් සිටිනවා.

කොහොමද මේ බාධකවලට මුහුණ දෙන්න ධෛර්යය ගන්නේ?
මාස හයක් ප්‍රවෘත්ති නිවේදන කටයුතුවලින් ඉවත් කළත් මම ලංකාවේ හොඳම ප්‍රවෘත්ති නිවේදකයන් අතරට ආවා. මම කොහොමත් සුබවාදී කෙනෙක්. අනිවාර්යයෙන්ම මම නැවත ප්‍රවෘත්ති නිවේදන ආසනයේ වාඩිවෙනවා.

කවුද ළඟින්ම ඉඳගෙන මේ බාධකවලට එඩිතරව මුහුණ දෙන්න ශක්තිය දෙන්නේ?
අනිවාර්යයෙන්ම මගේ අම්මා මට හැමදාම ලොකු ධෛර්යයක් වුණා. ඒ වගේම ආයතනයේ මගේ යහළුවන් පිරිස සහ සමස්ථ කාර්ය මණ්ඩලයම මතක් කළ යුතුමයි. එයිනුත් ඇතැම් අය මට වගේම ආයතනික පීඩනයන්ට ගොදුරු වුණු අයයි.

කොහොමද මේ මාධ්‍ය ගමනට මුල් පියවර තැබුවේ?
මම මාධ්‍ය ජීවිතේට මුල් අඩිය තියන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලිය හරහායි. ඒ ගැන මට ඇත්තටම ආඩම්බරයි. ඊට පස්සේ ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදකයකු විදිහට වැඩ පටන් ගත්තා. ඉන් අනතුරුව සිරස ටීවී ආයතනයේ ටික කලක් වැඩ කළා. ඉන් පසුව තමයි ස්වර්ණවාහිනියට එකතු වෙන්නේ. දැන් මම මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු දහනවයක් වෙනවා.

මේ සම්මානය ලැබිම සහ ආයතනික ප්‍රශ්නත් එක්ක ඉදිරි මාධ්‍ය ගමන කොහොම වෙයිද?
ඇත්තටම මගේ මේ වෘත්තියට මම ගොඩක් ආදරෙයි. මගේ ඉලක්කය තමයි ශ්‍රී ලාංකීය ප්‍රවෘත්ති කලාවේ සන්නාමය බවට පත්වීම. ප්‍රවෘත්ති කියනකොටම නදීක කියන නම ජනතාවගේ මතකයට එන්න ඕන කියන එක තමයි මගේ සිහිනය. මම හැමවිටම මගේ සහ වෘත්තියේ ගරුත්වය ගැන හිතනවා. ඒ ගරුත්වය කෙළෙසන්න උත්සාහ දරන පුද්ගලයන් දෙස අනුකම්පාවෙන් බලනවා.

මේ තිබෙන පසුබිමත් එක්ක ඉදිරියේදී මාධ්‍ය ආයතනය සහ ගමන්මග වෙනස් වෙයිද?
ආයතන ගණනාවකින් ආරාධනා ලැබුණා. නමුත් මම කවදාවත් මගේ ගමන තවත් කෙනකුට අවශ්‍ය විදිහට වෙනස් කරන්නේ නැහැ. මගේ අධිෂ්ඨානය ස්වර්ණවාහිනිය තුළම ප්‍රවෘත්ති නිවේදකයකු ලෙස ප්‍රේක්ෂකයා අතරට ඒමයි.

නෙරංජලා වික්‍රමසිංහ

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button