පළකල දිනය : Fri, Apr 6th, 2018

ත්‍රි රෝද රථයේ අනග රැගුම් පෑ 15 හැවිරිදි දැරිය එක්දරු පියා නිසා ගැබිනියක් වෙයි !

15 හැවිරිදි දැරිය කැටුව දින 6ක් තිස්සේ අතුරුදන් වී සිටි 36 හැවිරිදි විවාහක එක් දරු පෙම්වතා හෙම්මාතගම පොලිසිය මඟින් පෙරේදා (03දා) කඩුගන්නාව දුම්රිය ස්ථානයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මේ දැරියගේ වයස අවුරුදු 15යි මාස 10ක් වන අතර අත්අඩංගුවට පත් වීමට පෙර අවස්ථා කිහිපයකදීම මේ සැකකාර විවාහකයා අතින් ලිංගික අපහරණයට ලක්වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බව හෙම්මාතගම පොලිසිය පැවැසීය.

සැකකාර පුද්ගලයා මීට මාස තුනකට කලින් දැරිය ලිංගික අපහරණයට ලක් කර ඇත්තේ හෙම්මාතගම නගරයේ සතිපොළ පිහිටි සාමපුර පාරේ ස්ථානයක තම ත්‍රිරෝදයේ තබාගෙන එහි පැති ආවරණ වසා ගනිමින් බව පොලිසිය හමුවේ පවසා ඇත.

දැරියද දහවල් උපකාරක පන්තියකට යන බව පවසා නිවෙසින් පිටව ඇති අතර මෙලෙස අවස්ථා කිහිපයකදීම දෙදෙනා මේ අයුරින් හමුවී ඇති බව ලබාදුන් පොලිස් කටඋත්තරයේ සඳහන් කර ඇත. එම කටඋත්තරවලට අනුව දැරිය තෙමස් ගැබිනියක් වීමට ඉඩ ඇති බව පොලිසිය සැක පහළ කරයි.

ඉකුත් මාර්තු 29 වැනි දින හෙම්මාතගම ගිනිහප්පිටියේ පදිංචි 15 හැවිරිදි දැරියගේ මව හෙම්මාතගම පොලිසියට පැමිණිලි කර ඇත්තේ තම දියණිය පාසල් ගොස් එම දින නැවත නිවෙස වෙත පැමිණියේ නැති බවයි.

(03) වන දා පොලිසියට ලැබුණු තොරතුරක් අනුව හෙම්මාතගම පොලිසියේ නිලධාරීන් කඩුගන්නාව පොලිස් ස්ථානයට දන්වා සිවිල් ඇඳුමෙන් කඩුගන්නාව දුම්රිය ස්ථානය වෙත ගොස් සැකකාර පෙම්වතා සහ දැරිය පස්වරු 1.10ට පමණ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු පෙරේදා (04දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. දැරිය අධිකරණ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගැනීමට සූදානම් වන බව පොලිසිය පැවැසීය.

පොලිසිය පවසන්නේ මේ සැකකරු රඹුක්කන, මහව, අබේසේකර මාවත පදිංචිකරුවකු බවයි. 25 හැවිරිදි කාන්තාවක් සමඟ විවාහ වී පාසල් යන දරුවකු සිටින මේ සැකකරු ජල බවුසර් රියැදුරකු ලෙස සේවය කරන අයෙකි.

හෙම්මාතගම ප්‍රදේශයේ රැකියාව සඳහා පැමිණි පසු දැරියගේ සහෝදරයකු සමඟ ඇති කර ගත් මිත්‍රත්වය නිසා දැරියගේ නිවෙසට නිරන්තරයෙන් යෑමට ඒමටත් එම පවුලේ අය සමඟ සම්බන්ධතා තබා ගැනීමටත් පටන් ගැනීමත් සමඟ සැකකරු දැරිය සමඟ ප්‍රේම සම්බන්ධතාවක් අරඹා ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් එකට හමුවී ඇති අතර ඒ සඳහා උපයෝගි කරගෙන ඇත්තේ බිරියගේ පියාට අයත් ත්‍රිරෝද රථයයි.

මේ වැටලීම සඳහා කෑගල්ල ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි කේ.ඩී.ඒ. සේරසිංහ සහ කෑගල්ල සහකාර පොලිස් අධිකාරි 11 ගාමිණී තෙන්නකෝන් මහත්වරුන්ගේ උපදෙස් පරිදි හෙම්මාතගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඩී.

මෙෂාන් ඉන්දුක ද සිල්වාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක බී.ඩබ්ලිව්. චන්ද්‍රසේන, හෙම්මාතගම පොලිසියේ ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපති කා.පො.සැ. චන්ද්‍රා (1066), කා.පො.කො. ධම්මිකා (5442), බුද්ධි අංශ පොලිස් කොස්තාපල් ධම්මික (50691) යන නිලධාරීහු සහභාගි වූහ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button