පළකල දිනය : Mon, Apr 9th, 2018

අසරණ අම්මාට පිහිට වූ මහේස්ත්‍රාත්තුමියගේ මනුස්සකම !

දුගීබවේ අන්තයටම වැටි සිටි වයෝවෘද්ධ මවකට සිදුවු ඇබැද්දියක් පිළිබදව පුවතක් වාර්තා වෙනවා.

69 හැවිරිදි මෙම වයෝවෘද්ධ මාතාව සැමියා නොමැතිව තම ආබාධිත පුතු සමඟ දිවි පෙවත ගෙවාදැමුවේ ගම්පොළ ගල්පාය ප්‍රදේශයේය.

රැකියාව වශයෙන් අග්ගලා සාදා වෙළෙඳසල්වලට අලෙවි කරනා ඇය ඉන් ලැබෙනා තම ආබාධිත පුතුද කෙසේ හෝ ජීවත් කරවන්නීය.

ළඟ එන අලුත් අවුරුද්ද සැමරීමට සියල්ල සූදානම් වුවත් මෙම වයෝවෘද්ධ මාතාවට ඒ වෙනුවෙන් කළ හැකි දෙයක් නොවීය.

තමාට කෙසේ නමුත් තම ආබාධිත නොදරුවාට අවුරුද්ද සැමරීමට ලබාදීම ගැන සිතු ඇය තම ස්වයං රැකියාව වැඩිදියුණු කර ගැනීමට සමෘද්ධි ණයක් ගැනීමට සිතුවාය.

ගමේ තම සමෘද්ධි කණ්ඩායමේ හතර දෙනකුගේ සහාය ලබා ගත් ඇය රුපියල් 50,000ක සමෘද්ධි ණයක් ගත් අතර එයින් මුල් වාරිකය කපාගෙන ඇය අතට රුපියල් 47,300ක් ලැබිණි.

එයින් රුපියල් 300ක මුදල තම පුතුගේ කොණ්ඩය කපා ගැනීමටදී ඔහු ඒ සඳහා පිටත් කර ඇය දහවල් කෑමට අසල වෙළෙඳසලකට ගොස් පරාටා 4ක් හා හොදි එකක් මිලදී ගෙන තම බෑගයට දමා ගත්තාය. අනතුරුව එළවළු වෙළෙඳසලට ගොස් එහි තිබූ පැණි බෝතලය පරීක්‍ෂා කරනු ලැබුවේ අවුරුද්දට අවශ්‍ය අග්ගලා ටිකක් සාදා වෙළෙඳසල්වලට දමන අදහසිනි.

මේ කටයුතු අවසානයේ තම මුදල් අඩංගු පසුම්බිය බැලුවද එය දැකගැනීමට නොහැකි වීමෙන් මහත් කලබලයට පත්ව කුරුඳුවත්ත පොලිසිය වෙත පිය නැඟුවේ හඬා වැලපෙමිනි.

මෙම වයෝවෘද්ධ හැඩීම දුටු පොලිස් නිලධාරීන් වහාම පරීක්ෂණ ආරම්භ කර තිබුණි.

මව පැවැසුවේ තම මුදල් පරාටා ගත් බේකරි කඩේ අමතක වූ බවයි. ඒ අනුව එහි තිබූ සී.සී.ටී.වී. කැමරා පරීක්‍ෂා කළ පොලිස් නිලධාරීන් එම කැමරාවේ මෙම මව රැගෙන එන බෑග් සියල්ල නැවත රැගෙන යන අයුරු සටහන්ව ඇති බව දැක සියල්ල තේරුම් ගත්තේය.

මුදල් නොමැතිකමින් කම්පා වී සිටින මවට සියල්ල අමතකව ඇති බව දැන ඇය ඊළඟට ගිය එළවළු වෙළෙඳසලට ගොස් එහි මුදලාලි හා ගෝලයා බියකර පොලිසියට රැගෙන ඒමට සූදානම් වූයේ අවුරුද්ද අවසන් වන තුරු යළි ගෙදර නොයවන බව පවසමිනි.

මෙයින් බියවූ එහි ගෝලයා සියල්ල හෙළි කර තිබුනි. ඒ අනුව මොහු මෙම මවගේ මුදල් බෑගය සොරා ගෙන අසල තිබූ බස් නැවැතුම්පළේ පොදු වැසිකිළියේ සඟවා තිබූ මුදල් පොලිසිය සොයා ගනු ලැබීය.

අවසානයේ නිවාඩු දිනයක් වුවද සැකකරු ගම්පොළ මහෙස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කරනු ලැබිණි.

මහෙස්ත්‍රාත්වරිය දුටු මෙම මව හඬා වැඳ වැටෙමින් තමන්ට සිදුවූ අකරතැබ්බය පැවසුවේය. එයින් කම්පා වූ මහෙස්ත්‍රාත්වරිය සියල්ල තේරුම් ගෙන මහෙස්ත්‍රාත්වරිය අතින්ම මෙම මුදල් මෙම මවට දී පැවැසුවේ අවුරුද්දට තව අවශ්‍ය දෙයක් ඇත්නම් තමාටද පවසන ලෙසය.

සැකකරුව මේ මස 20 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරිය පියවර ගනු ලැබීය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button