පළකල දිනය : Fri, Apr 13th, 2018

කැබ් ලොරි අනතුරක් – අට දෙනෙකුට තුවාල කරමින් බස් රථයකුත් පාසලකට යයි !

හබරන මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වැලිකන්ද ප්‍රදේශයේදී කැබ් රථයක් සහ ලොරි රථයක් අනතුරට ලක්වීමෙන් කාන්තාවක් සහ පිරිමි අයෙකු මියගොස් තවත් 9 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අවුරුදු සැමරීම සදහා වාලච්චේන ප්‍රදේශයේ ඥාතී නිවසකට යමින් සිටි පිරිසක් අනතුරට පත් කැබ් රථයේ ගමන් කර තිබූ අතර අනතුරට පත් ලොරිය එළවළු ප්‍රවාහනය කරමින් තිබූ එකක් බවයි සඳහන් වන්නේ.

මෙසේ මියගොස් තිබෙන්නේ කැබ් රථයේ ගමන් කළ වයස අවුරුදු 60 පමණ කාන්තාවක් සහ එළවළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරියේ ගමන් කළ රිය සහායකයා බවයි වාර්තා වන්නේ.

වන අලියෙකු පාර හරහා ගමන් කිරීම නිසා අදාල කැබ් රථය එම ස්ථානයේම නවත්වා ඇති අතර ඊට පසුපසින් පැමිණි ලොරිය, කැබ් රථයේ ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අනතුරෙන් තුවාල ලැබූ 9 දෙනාගෙන් දෙදෙනෙකු වැලිකන්ද ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඉතිරි 7 දෙනා පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. මේ අතුරින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව ද වාර්තා වනවා.

මේ අතර කොළඹ සිට වව්නියාව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (13) අළුයම 4ට පමණ වව්නියාව දෙමළ මහා විද්‍යාලය අසලදී මාර්ගයෙන් ඉවතට පැන පාසලේ තාප්පයද කැඩී පාසල ඇතුලට ධාවනය වී තිබෙනවා.

මේ හේතුවෙන් රථයේ ගමන්ගත් මගීහු 08 දෙනෙකුට තුවාල සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

බස් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලික පරික්ෂණ වලින් අනාවරනය වී ඇති අතර තුවාල ලැබූ මගීන්ගේ තත්වය බරපතල නොවන බවටද වාර්තා වනවා.

එසේම අවසන් බස් නැවතුමට මීටර් 500 ක් පමණ තිබියදී මෙම අනතුර සිදුවී ඇති බවත් එවැනි දුරකින් තිබියදී රියදුරුට නින්ද යාම විෂ්මය ජනක කරුණක් බවත් සිද්ධියට මුහුණ දුන් මගීන් ප්‍රකාශ කරනවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button