පළකල දිනය : Fri, Apr 20th, 2018

උණුසුම් හාදුවක් එක්ක සැලුන් එකෙන් සත්කාර ගන්න ගිය ගායකයාට වුන දේ

ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක් හිමිව තිබේ. එනිසා ඔහු පසුගිය කාලයේ නවීන මෝටර් රථයක්ද මිලදීගෙන ඇත.

තවමත් අවිවාහකයෙකු වුව ඔහු තරුණියක් සමඟ නිළ නොලත් ලෙසින් පවුල්කෑ බවට ක්‍ෂේත්‍රයේ තොරතුරු පැතිර ගොස් තිබේ.

මේ අතර ඔහු කොළඹට ආසන්න ප්‍රදේශයක තම සමීපතම මිතුරෙකුගේ නිවසට නිතර යාම් ඊම් සිදු කරයි. ඒ එම පවුල තමන් හා අතිශය හිතවත් බැවිනි.

මීට මද කලකට පෙර ඔහු එම නිවසට යන අතරේ මඟ අද්දර පිහිටි රූපලාවන්‍යාගාරයක රූපලාවන්‍ය ශිල්පිනියක් ඔහු ගේ මෝටර් රථය නතරකොට ඔහු හා කතා බස් කළාය. එහිදී ඇය කියා සිටියේ තමන් එම ගායකයාගේ මුල් පෙලේ රසිකාවියක බවය.

තම රූපලාවන්‍යාගාරයේ ඔහුගේ ගීත නිතරම සීඩී මඟින් වාදනය කරන බවත් ඇය කියා සිටියාය. ඉන්පසුව ඇගේ පෙරැත්ත මත ඔහු ද එම රූපලාවන්‍යාගාරයට ගොඩවැදුණු අතර ඔහුගේ රූපලාවන්‍ය කටයුතුද ස්වෙච්ඡාවෙන්ම කරදිය හැකි යැයි එම රූපලාවන්‍යවේදිනිය කියා සිටියාය.

කෙසේ හෝ පසුගිය සිංහල අලුත් අවුරුද්ද ළංවත්ම එම රූපලාවන්‍ය වේදිනියගෙන් ඔහුට විශේෂ ඇරයුමක් ලැබුණි.

ඒ සිංහල අලුත් අවුරුද්දෙන් පසු අසවල් දිනයේ තම රූපලාවන්‍යාගාරය හාපුරා කියා විවෘත කරන බැවින් තම පළමු සේවාලාභියා ලෙස එහි පැමිණ සේවය ලබා ගන්නා ලෙසය.

කෙසේ හෝ ඇගේ ඇරයුම සතුටින් පිළිගත් එම ගායකයා ඇය කී දින කී වෙලාවටම එහි ගියේ ඇය විස්මයට පත්කරවන අන්දමේ තුටු පඬුරක්ද ලියුම් කවරයක බහාගෙනය.

එහි දී ඇයට එම තුටු පඬුර ප්‍රදානය කළ ගායකයා ඇගෙන් උණුසුම් හාදුවක්ද ලබා තම මිතුරාගේ නිවස වෙත යත්ම මිතුරා වෙනුවට ඉදිරියට පැමිණියේ ඔහුගේ මවය.

“පුතා දැන් අර සැලුන් එකේ හිටියද?”

මිතුරාගේ මව ඇසුවේ තරමක නොසතුටකිනි.

“ඔව් ඇන්ටි ඇයි?”

ඔහු අසා සිටියේ විස්මයෙන් යුතුවය.

“ඉතින් පුතේ ඒක පුතා වගේ කෙනෙකුට යන්න හොඳ තැනක් නෙවෙයිනේ? බලන්නකො දැන් පුතා එතනට යනව එනවා කියලා මට කීප දෙනෙක්ම කිව්වා. මේ දැනුත් පුතා එතනට ගියා කියලා මට එක්කෙනෙක් ෆෝන් කරලා කිව්වා.”

මිතුරාගේ මව එසේ කියත්ම ගායකයාට කිසිවක් අදහා ගත නොහැකි විය.

“ඉතිං ඇන්ටි ඒ මගේ රසිකාවියක්නේ; මම එතනට ගියාම ඇති වරද මොකක්ද?”

ගායකයා අසා සිටියේය. ‍

“පුතා හිතන්නේ ඒ පුතාගේ රසිකාවියක් කියලද? ඒත් දැන ගන්න ඒ හැමෝගෙම රසිකාවියක්; ඔය අවුරුදු දවස් වලත් ඔය ගෑනි ඕක වහන්නේ නැතිව එක එක මිනිස්සු ඇතුලට ගෙන්න ගත්තා. ඒක ඒ පැත්තෙ හැමෝම දන්නවා.”

මිතුරාගේ මව එසේ කියත්ම ගායකයාට තරු පෙණුනි.

රූපලාවන්‍යවේදිනියක ලෙසින් එසේ පෙනී සිට ඇත්තේ නොයෙකුත් දුරාචාරයන්ට සම්බන්ධ කාන්තාවක බවත් ඇය විවිධ පුද්ගලයන්ගෙන් මෙලෙස උපායශීලි ලෙස මුදල් කඩා වඩා ගන්නා බවත් ගායකයාට වැටහී ගියේ ඉන් පසුවය.

“අවුරුද්දට නාන්න නැකතක් තියෙනවා නෙ මචං.. මට දුක උඹ නැකතට කලින්ම නාගත්ත එක ගැන.”

සිය මව නොමනාපයෙන් ඉවත්ව ගිය පසු මිතුරා ඔහුගේ කනට කර කෙදිරීය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button