පළකල දිනය : Wed, May 2nd, 2018

වේගය පාලනය කරගත නොහැකිව යතුරුපැදිය ගසක හැපී මවටත් දුවටත් අත්වූ ඉරණම !

මව, පියා සහ කුඩා දියණියක ඇතුළු එකම පවුලේ සිව්දෙනකු ගමන් ගත් යතුරුපැදියක්‌ මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක හැපීම නිසා සිදු වූ අනතුරක්‌ හේතුවෙන් තුවාල ලබා රෝහලේ ගත කිරීමෙන් අනතුරුව මවත් දියණියත් ඊයේ (01දා) අලුයම මරුමුවට පත් වී ඇත.

දිඹුලාගල – මිල්ලාන මාර්ගයේ ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට නුදුරුව පිහිටි ඉද්දපිච්ච වැව අසලදී 30දා දහවල් 1.00 ට පමණ සිදු වූ මෙම අනතුරින් මිය ගොස්‌ ඇත්තේ අරලගංවිල, යාය 03 අංක 07, ලිපිනයේ පදිංචි එන්. කේ. ජී. රේඛා ශ්‍යාමලී (24) සහ ඇගේ දියණිය වන ආශිංශා ඉඳුමිණි හෙට්‌ටිආරච්චි (අවුරුදු 2 1/2) යන දෙදෙනාය.

එම අනතුරින් තුවාල ලැබූ යතුරු පැදියේ පැදිකරු වන මිය ගිය කාන්තාවගේ සැමියා සහ ඇගේ මව පොලොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

අනතුරට ලක්‌ වූ මෙම එකම පවුලේ පිරිස සිය නිවසේ සිට යතුරු පැදියෙන් දිඹුලාගල විහාරස්‌ථානය වෙත වන්දනාවේ පැමිණෙමින් සිටි බවත් යතුරු පැදියේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක හැපීම නිසා අනතුර සිදුව ඇති බවත් අරලගංවිල පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අරලගංවිල පොලිසියේ ස්‌ථානාධිපති, පොලිස්‌ පරීක්‍ෂක ලසන්ත බණ්‌ඩාර මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වෙයි.

කරුණාරත්න ගමගේ, අරලගංවි – රෝෂාන් තුෂාරල

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button