පළකල දිනය : Sun, May 6th, 2018

පාතාලයේ මගුලකට පොලිස්‌ ආරක්‌ෂාව දීලා වෙච්ච වැඩේ !

පාතාල සාමාජිකයකුගේ මංගල උත්සවයට පොලිසියෙන් විශේෂ ආරක්‍ෂාවක්‌ (vip) ලබා දුන් බව කියන සිදුවීමෙන් පොලිස්‌ දෙපාර්තමේන්තුව ගිනි ගත්තේය.

මුද්‍රිත, විද්යුත් මාධ්‍ය ඔස්‌සේ මෙන්ම සමාජ ජාලා වෙබ් අඩවි ඔස්‌සේ ද මේ සිදුවීමට ලබා දී තිබුණේ විශාල ප්‍රසිද්ධියකි.

පාතාල අපරාධකරුවකුගේ මංගල උත්සවයට පොලිස්‌ ආරක්‍ෂාව ලබා දුන් බව කියමින් ද පොලිස්‌පතිවරයා මෙන්ම සමස්‌ත පොලිස්‌ දෙපාර්තමේන්තුවම දැඩි දොෂ දර්ශනයට ලක්‌ව තිබුණේය.

පොලිස්‌ දෙපාර්තමේන්තුවට පසුගිය කාලය පුරාවට අත්විඳින්න සිදුවුණේ අමිහිරි අත්දැකීම් වලටය. සමාජ සුබ සිද්ධිය තකා හරි දෙයක්‌ කළ ද අවසන් ප්‍රතිඵලය ලෙස පොලිසිය දෝෂදර්ශනයට ලක්‌ වූ සිදුවීම් ගණනාවක්‌ පසුගිය කාලයේ අසන්නට ලැබුණේය.

ඉකුත් 25 වැනිදා සිදුවන්නේ ද එවැනිම වූ ක්‍රියාදාමයකි. පාතාල සාමාජිකයකුගේ මංගල උත්සවයකට කඩා වැදී ඔවුන් ඝාතනය කිරීමට ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක්‌ සැලසුම් කරගෙන සිටින බවට තොරතුරක්‌ පොලිස්‌ බුද්ධි අංශ වෙත ලැබෙන්නේ මීට සති කීපයකට උඩදීය. බුද්ධි අංශ මේ තොරතුරු වෙත දැඩි අවධානය යොමු කර තිබුණේය.

විවාහ වීමට නියමිතව සිටියේ මට්‌ටක්‌කුලිය අලිවත්තේ පදිංචි අසිත චතුරංගය. පාතාලය විසින් මොහු හැඳින්වූයේ අලිවත්තේ අසිත කියාය.

මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වී සිටියද අලිවත්තේ අසිත කිසි දිනක පොලිස්‌ අත්අඩංගුවට පත්ව තිබුණේ නැත. ඔහුට එරෙහිව හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් සාක්‍ෂි තිබුණේ ද නැත. එහෙත් අලිවත්තේ අසිත ප්‍රධාන පෙළේ පාතාල අපරාධකාරයකු වන වැල්ලේ සුරංගගේ සමීපතම ගෝලයකුව සිටි අයෙකි.

වැල්ලේ සුරංග පදිංචිව සිටියේ මෝදර රොක්‌ හවුස්‌ පටුමගේය. ඔහු නමින් ගමගේ සුරංග ප්‍රදීප් වුවද පාතාලය හැඳින්වූයේ වැල්ලේ සුරංග කියා ය.

මිනී මැරුම්, හෙරොයින් ජාවාරම් ඇතුළු තවත් අපරාධ රැසක්‌ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ වැල්ලේ සුරංග පොලිස්‌ ඇසට වැලි ගසමින් සැඟවී සිටින පාතාල ප්‍රබලයකු විය.

කොළඹ අංක එකේ පාතාල නායකයකු මෙන්ම මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු වන දෙමටගොඩ චමින්දගේ සමීපතම ගෝලයකු වූ වැල්ලේ සුරංග මේ වන විට මෝදර ප්‍රදේශයේ වෙනම පාතාල ආධිපත්‍යයක්‌ ගොඩනඟාගනිමින් සිටියේය.

අලිවත්තේ අසිත පාතාලයට අත්පොත් තබන්නේ වැල්ලේ සුරංගගේ උදව් උපකාරයෙන් ය. කාලයක්‌ මොවුන් ගජ මිතුරන් වූහ. එහෙත් මීට ටික කාලයකට උඩදී වැල්ලේ සුරංගත්, අලිවත්තේ අසිතත් අතර යුද්ධයක්‌ හට ගත්තේය. මේ ගැටුමට හේතු වූයේ හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් ආරවුලක්‌ බව පාතාලයම දැන සිටියේය.

වැල්ලේ සුරංග මෝදර ප්‍රදේශය තම පාතාල රාජධානිය කරගෙන සිටි තවත් අපරාධකාරයෙකි. සාරංග වැල්ලේ සුරංගගේ බාප්පාගේ පුත්‍රයාය. එහෙත් මොවුන් දෙදෙනා ජන්මාන්තර වෛරක්‌කාරයන් වූහ. හෙරොයින් ජාවරම් සම්බන්ධයෙන් මොවුහු නිතර නිතරම ගැටුම් ඇතිකර ගත්හ.

වැල්ලේ සුරංග සමඟ අමනාප වූ අලිවත්තේ අසිත වැල්ලේ සාරංගගේ කල්ලියට එක්‌වුණේය. මේ සිදුවීමෙන් වැල්ලේ සුරංග අලිවත්තේ අසිත කෙරෙහි වූ වෛරය දෙගුණ තෙගුණ කරවීමට සමත් විය.

වැල්ලේ සුරංග අලිවත්තේ අසිතට මරණ වරෙන්තු නිකුත් කරන්නේ ඉන් පසුවය. අලිවත්තේ අසිතගේ මංගල උත්සවය අප්‍රේල් 25 වැනිදා වත්තල හෝටලයක උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සූදානම් කර තිබුණේය. මංගල උත්සවය දින වැල්ලේ සුරංග ඇතුළු පාතාල කල්ලිය අලිවත්තේ අසිත සහ ඔහුගේ මනාලිය ඝාතනය කිරීමට සැලසුම් සකස්‌ කළහ.

පොලිස්‌ බුද්ධි අංශ වෙත මේ තොරතුරු සියල්ල ලැබී තිබිණ. පොලිස්‌පතිවරයාගේ ප්‍රධානත්වයෙන් සෑම සතියකටම වරක්‌ සංවිධානාත්මක අපරාධ වැලැක්‌වීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්‌ පොලිස්‌ මූලස්‌ථානයේ පැවැත්වෙයි.

ඊට පාතාල මර්දනය සම්බන්ධ උසස්‌ නිලධාරීන් මෙන්ම බුද්ධි අංශ සහ අපරාධ අංශ භාර ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද සහභාගි වෙති.

මෙම විශේෂ සාකච්ඡාවේදී වැල්ලේ සුරංග, අලිවත්තේ අසිත සහ ඔහුගේ මනාලිය ඝාතනය කිරීමට සැලසුම් කරගෙන සිටින බවට වූ තොරතුරු බුද්ධි අංශ ප්‍රධානීන් පොලිස්‌පතිවරයා දැනුවත් කළහ.

යම් හෙයකින් මෙවැනි සිද්ධියක්‌ වූවොත් එය බරපතළ තත්ත්වයක්‌ වනු ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන් අවධාරණය කළහ. වැල්ලේ සුරංග තම මංගල උත්සවයට ප්‍රහාරයක්‌ එල්ල කිරීමට සැලසුම් කරගෙන සිටින බව අලිවත්තේ අසිත ද දැන සිටියේය.

එවැනි ප්‍රහාරයක්‌ එල්ල වුවොත් ඊට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට අලිවත්තේ අසිතගේ කල්ලිය සූදානම් වූහ.

ප්‍රසිද්ධ ස්‌ථානයකදී පාතාල කල්ලි දෙක අතර ගැටුමක්‌ ඇති වුවොත් සාමාන්‍ය ජනතාවගේ ජීවිතවලට ද තර්ජනයක්‌ එල්ල විය හැකි බව පොලිසිය තේරුම් ගෙන සිටියේය. මේ තත්ත්වය කෙසේ හෝ වළක්‌වා ඇති වීමට යන භයානක තත්ත්වය පාලනය කිරීමට පොලිසිය සැලසුම් කළහ.

බුද්ධි අංශ සාකච්ඡාවේදී පොලිස්‌පතිවරයා ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන්ට උපදෙස්‌ දුන්නේ මෙවැනි පාතාල ගැටුමක්‌ කෙසේවත් ඇති වීමට ඉඩ නොතැබිය යුතු බවය.

මංගල උත්සවයකදී වෙඩි හුවමාරුවක්‌ සිදුවී ජීවිත ගණනක්‌ විනාශ වුවොත් පොලිසිය දැඩි අපකීර්තියකට ලක්‌ වීමට ඉඩ තිබුණේය. මෙවැනි සිදුවීමක්‌ වුවොත් ජාත්‍යන්තර වශයෙන් පවා රටට අත්වන්නේ විශාල කැළලක්‌ බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන් තේරුම් ගෙන සිටියහ.

මෙම පාතාල ගැටුම කෙසේ හෝ නතර කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මෙහිදී සාකච්ඡා කෙරිණි. බස්‌නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ සිට පහළ නිලධාරීන්ට මේ නියෝගය ලැබී තිබිණි.

පොලිසිය මෙම පාතාල ගැටුම නතර කිරීමට අනුගමනය කළේ ඉතාම ප්‍රාථමික මට්‌ටමේ උපක්‍රමයන් ය. කොටින්ම පොලිසිය නාගත්තේ ඔවුන් ක්‍රියාත්මක කළ මෙම ඔලමොට්‌ටල මෙහෙයුම නිසා ය.

අලිවත්තේ අසිතගේ මංගල උත්සවය මුලින්ම පැවැත්වෙන්නේ 25 වැනිදා පෙරවරුවේ මට්‌ටක්‌කුලිය ප්‍රදේශයේ දේවස්‌ථානයකදීය. මේ දේවස්‌ථානය වටා නිල ඇඳුම් ඇඳගත් සන්නද්ධ පොලිස්‌ නිලධාරීන් විශාල පිරිසක්‌ යොදවා සිටියහ. සාමාන්‍ය ජනතාව සිතුවේ ප්‍රභූ දේශපාලනඥයකුගේ මංගල උත්සවයක්‌ දේවස්‌ථානයේ පැවැත්වෙනු ඇතැයි කියාය. දේවස්‌ථානයේ උත්සවයෙන් පසු අලිවත්තේ අසිතගේ මංගල උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණේ වත්තල ඇලබඩවත්ත කාදිනල් කුරේ මාවතේ පිහිටි උත්සව ශාලාවකය. අලිවත්තේ අසිත සිය මනාලිය සමඟ ගමන් ගත් මංගල රථයට විශේෂ පොලිස්‌ ආරක්‍ෂාවක්‌ ලබා දීමට කටයුතු කර තිබුණේය.

එය බැලූ බැල්මට රටේ ප්‍රබල දේශපාලනඥයකු ගමන් කරන රථයකට ලබා දෙන විශේෂ ආරක්‍ෂාවක්‌ බඳු විය. අලිවත්තේ අසිත ගමන් ගත් මංගල රථයට ඉදිරිපසින් සහ පිටුපසින් ඩිෙµන්ඩර් වර්ගයේ ජීප් රථ දෙකක්‌ ගමන් ගත් අතර නිල ඇඳුමින් සැරසුණු සන්නද්ධ නිලධාරීන් එම රථවල ගමන් ගත්හ.

එම ජීප් රථවලට ඉදිරිපසින් නිල ඇඳුමින් සැරසුණු නිලධාරීන් රැගත් පොලිස්‌ යතුරුපැදි දෙකක්‌ ද ගමන් ගත්හ. අලිවත්තේ අසිතට ජීවිතයේ කිසිදාක නොලැබූ කිසිදාක විඳින්නට නොලැබෙන අත්දැකීමකට මුහුණ දෙන්නට අවස්‌ථාව ලැබී තිබුණේය.

බැලූ බැල්මට මෙය ඉතාම ජුගුප්සාජනක ක්‍රියාවක්‌ විය. පොලිස්‌ නිලධාරීන්ගේ සැබෑ පරමාර්ථය වූයේ පාතාල ගැටුම මැඬපැවැත්වීම වුවද ඒ සඳහා අනුගනය කළ ක්‍රියාමාර්ග ඉතාම ලැ-ජා සහගත එකක්‌ විය.

පාතාලයා රැගත් රථ පෙරහැර වත්තල ප්‍රදේශයට ළඟාවෙද්දී වත්තල පොලිසිය මගින් ඉදිරි ආරක්‍ෂක කටයුතු භාරගෙන තිබුණේය.

කැලණිය කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයා වත්තල පොලිසියට උපදෙස්‌ දී තිබුණේ විශේෂ ආරක්‍ෂාවක්‌ යටතේ පාතාල සාමාජිකයා සහ ඔහුගේ බිරිඳ රැගත් මංගල රථය උත්සව ශාලාව වෙත රැගෙන යන ලෙසය. එය ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට වත්තල පොලිසියේ නිලධාරීන් කටයුතු කළහ.

උත්සව ශාලාව තුළදී පාතාලයේ දෙපිරිස වෙඩි තබා ගැනීමට ඉඩ ඇති නිසා මංගල උත්සවයට සහභාගි වූ සියලු දෙනාම සිරුරු පරීක්‍ෂා කිරීමකට ලක්‌ කිරීමට පොලිසිය කටයුතු කළෝය. මංගල්‍යයේ මනාලිය හැරෙන්නට අනෙක්‌ හැම කෙනෙකුගේම සිරුරු පරීක්‍ෂා කරන්නේ ඔවුන් ආයුධවලින් සන්නද්ධව සිටින්නේ දැයි සැක හැර ගැනීමටය.

මංගල උත්සවයකට පැමිණි පුද්ගලයන්ගේ සිරුරු පරීක්‍ෂා කිරීමක්‌ කළ මුල්ම අවස්‌ථාව මෙය ලෙස ඉතිහාගත වුණේය. මෙහිදී පොලිසියට සැබෑ වුවමනාව වී තිබුණේ මංගල උත්සවය වෙත පැමිණෙන සන්නද්ධ පුද්ගලයන් අත්aඅඩංගුවට ගැනීමය.

කෙසේ වෙතත් ඉහළින් ආ නියෝග මත හෝටලය වටා නිල ඇඳුමින් සැරසුණු සන්නද්ධ පොලිස්‌ නිලධාරීන් විසිදෙනකුට අධික පිරිසක්‌ මංගල උත්සවය අවසන් වන තුරු එහි රැකවල්ලාගෙන සිටියහ. හෝටලය වටා පොලිස්‌ නිලධාරීන් රැකවල්ලාගෙන සිටියේ කොහේදොa නැති තුට්‌ටු දෙකේ පාතාල අපරාධකාරයකුට ආරක්‍ෂාව ලබා දීමට තමන්ට සිදුවූයේ යෑයි දෙස්‌ දෙවොල් තබමින් ය.

මංගල උත්සවය අවසන් වී මනාල යුවළ මධු සමය ගත කිරීම සඳහා පිටව යන තුරුම පොලිසියට සිදු වුණේ අව්වේ තපිමින් මොවුන්ට ආරක්‍ෂාව ලබා දීමට ය.

අලිවත්තේ අසිතගේ මංගල්‍යයේ දෙවැනි ගමනේ උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණේ ද වත්තල පිහිටි මේ හෝටලයේදීමය. මෙහිදී වත්තල පොලිස්‌ ස්‌ථානාධිපති එරික්‌ පෙරේරා අලිවත්තේ අසිතට තරයේම කියා සිටියේ දෙවැනි ගමනේ උත්සවය වෙනත් කොහේ හෝ ස්‌ථානයක පවත්වන ලෙසය. පාතාල මැරයා ඊට තදින්ම එරෙහි විය. මැරයා එරික්‌ පෙරේරා සමඟ පැටලුනේය. මංගල ඇඳුමේ හයිය මැකී යන්නට එරික්‌ පෙරේරා පාතාල මැරයාට ප්‍රතිචාර දැක්‌වූයේය.

පාතාල ගැටුම මැඬැපැවැත්වීමට පොලිසිය ගෙන තිබූ ප්‍රාථමික ක්‍රමෝපායයන් නිසා මේ පුවත ලැව්ගින්නක්‌ මෙන් පැතිර යන්නට වැඩි කාලයක්‌ ගත වුණේ නැත. විද්යුත් මුද්‍රිත මාධ්‍ය හරහා පමණක්‌ නොව සමාජ ජාල වෙබ් අඩවිවල ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබුණේ පොලිසිය පාතාල මැරයාගේ මංගල්‍යයට vip ආරක්‍ෂාවක්‌ ලබාදීම පිළිබඳවය.

පසුගිය කාලය පුරාවට පොලිසියේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් නිසා සාමාන්‍ය ජනතාවට පොලිසිය කෙරෙහි තිබෙන්නේ පළුදු වූ විශ්වාසයකි. ඇතැම් උසස්‌ පොලිස්‌ නිලධාරීන් පාතාල අපරාධකාරයන් සමඟ සබඳතා පැවැත්වූ අවස්‌ථා මීට ඉහතදී අසන්නට ලැබුණේය. ඇතැම් පොලිස්‌ නිලධාරීන් හෙරොයින් ජාවාරම්වලට සම්බන්ධ වූ පුවත් හෙළි වී තිබුණේය. කුලියට මිනී මරණ ඇතැම් පොලිස්‌ නිලධාරීන් ගැන පවා රටට හෙළි වුණේ පොලිසියේ කීර්ති නාමය තුට්‌ටු දෙකට ඇද දමමින් ය.

මෙවැනි ඉතිහාසයක්‌ පොලිසියට උරුම වී තිබීම නිසා මහජනතාව පොලිසිය කෙරෙහි තිබෙන්නේ අවිශ්වාසයකි. ඒ නිසාම මාධ්‍ය ඔස්‌සේ පළ වූ මේ පුවත බොහෝ දෙනා විශ්වාස කළහ. පොලිසිය කිසියම් මූල්‍යමය ප්‍රතිලාභයක්‌ ලබා ගෙන පාතාල මැරයාගේ මංගල උත්සවයට ආරක්‍ෂාව දෙන්න ඇතැයි බොහෝ දෙනා කියන්නට වූහ. ඒ තරමටම පොලිසියේ විශ්වසනීය භාවය විනාශ වී තිබීම කනගාටුවට කරුණකි.

එහෙත් මේ අවස්‌ථාවේදී පොලිසිය මීට වඩා බුද්ධිමත් අයුරින් ක්‍රියා කළ යුතුව තිබුණේය. පාතාල මැරයාගේ මංගල උත්සවයට නිල ඇඳුම් ලාගත් නිලධාරීන් නොයොදා සිවිල් ඇඳුමින් සැරසුන පොලිස්‌ කණ්‌ඩායමක්‌ යෙදෙව්වේ නම් මේ තත්ත්වය උදා නොවනු ඇත. පාතාල මැරයාගේ මංගල රථයට පොලිස්‌ නිල රථ ආරක්‍ෂාව සඳහා යෙදවීම මොන තරම් විහිළු සහගත ක්‍රියාවක්‌ද යන්න දැන් පැහැදිලිය.

මැරයාගේ මංගල රථයට පොලිස්‌ නිල රථ පාවිච්චි නොකර පෞද්ගලික වාහන කීපයක්‌ යොදා ගත්තේ නම් මේ සිදුවීම එතැනින්ම වැළලී යනු ඇත්තේය. බුද්ධිමත්ව කටයුතු නොකිරීම නිසා අවසානයේ සිදුවූයේ මුළු පොලිස්‌ දෙපාර්තමේන්තුවම අපකීර්තියට ලක්‌වීමකි.

පොලිස්‌ දෙපාර්තමේන්තු ඉතිහාසයේ මෙවැනි සිදුවීම් වාර්තා වී තිබිණි. එහෙත් එදා සිටි පළපුරුදු නිලධාරීන් ඊට මුහුණ දුන්නේ වෙනත් ආකාරයකටය.

මීට වසර පහළොවකට පමණ උඩදී කොළඹ එක්‌තරා පාතාල මර්දන ඒකකයක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ රාජකාරි කළේය. මේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා පාතාල අපරාධකාරයන්ට ප්‍රසිද්ධියේම අභියෝග කළේ ඔවුන් තුට්‌ටුවකට මායිම් නොකරය.

එදා පාතාල ලෝකය ක්‍රියාත්මක වූ ආකාරය අද පාතාලයට වඩා දරුණුය. පාතාල ලෝකයේ මහා කෙලිකාරයන් ලෙස වැජඹුණු නාවල නිහාල්, සොත්ති උපාලි, කළු අජිත්, බැද්දගානේ සංජීව, ධම්මික අමරසිංහ වැන්නවුන් ඇතැම් පොලිස්‌ නිලධාරීන් පවා පාලනය කරමින් තම අණසකට යට කරගෙන සිටියහ.

ගුණසේකර නමැති ව්‍යාපාරිකයකුට මේ පාතාල ප්‍රබලයකුගෙන් දිගින් දිගටම තර්ජන එල්ල වී තිබිණි. ව්‍යාපාරිකයාට මේ තර්ජනය එල්ල වුණේ පාතාල නායකයා ඉල්ලා සිටි කප්පම් මුදල ලබා නොදීම නිසා ය. ගුණසේකරගේ පවුලේ සාමාජිකයන් පාතාල මර්දන ඒකකයේ උසස්‌ නිලධාරියා මුණගැසී තමන්ට අත්විඳින්නට සිදුව ඇති අපහසුතාව කියා සිටියේ කිසියම් පිළිසරණක්‌ බලාපොරොත්තුවෙන්ය.

පාතාල කල්ලිය තම පවුලේ සාමාජිකයකුගේ මංගල උත්සවයකට කඩාවැදී ඔවුන් ඝාතනයක්‌ කිරීමට යන බව ගුණසේකර උසස්‌ පොලිස්‌ නිලධාරියා හමුවේ කියා සිටියේය. මේ අවනඩුව දෙස සාවදානව අසා සිටි උසස්‌ පොලිස්‌ නිලධාරියා ගුණසේකර පිටත්කර හැරියේ මංගල උත්සවය සැලසුම් කළ ආකාරයටම පවත්වන ලෙසත් කිසිම බියක්‌ සැකයක්‌ ඇති කර නොගන්නා ලෙසත් කියමින්ය. පාතාලයෙන් එල්ල වී ඇති තර්ජන සියල්ල තමා නවතා දෙන බවට ද ජ්‍යෙෂ්ඨ නිලධාරියා පොරොන්දු වුණේය.

ගුණසේකර පිටව ගිය පසු උසස්‌ පොලිස්‌ නිලධාරියා පාතාල නායකයාගේ පවුලේ සාමාජිකයකු තම කාර්යාලය වෙත ගෙන්වා ගත්තේය. ගුණසේකරගෙන් කප්පම් ඉල්ලා මරණීය තර්ජන කරන පාතාල නායකයා ඒ වන විට සිටියේ කොළඹින් බැහැර ප්‍රදේශයකට පලා ගොසින්ය.

ව්‍යාපාරිකයාගේ මංගල උත්සවයට ප්‍රහාරයක්‌ එල්ල කිරීමට පාතාල නායකයා සැලසුම් කරගෙන සිටින පුවත උසස්‌ නිලධාරියා ඔහුගේ ඥාතියාට කීවේය.

“උඹ උඹේ මහඑකාට කියපං මේ වැඩේ නතර කරන්න කියලා. මේ වෙඩින් එකේදී මොනවා හරි ප්‍රශ්නයක්‌ ඇති කළොත් උඹලා සේරටම ඒකට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. ඒක උඹේ මහ එකාට තේරුම් කරලා දීපං. උඹලා මගේ හැටි දන්නවනෙ. මං නරක මිනිහා කරගන්න එපා.”

උසස්‌ නිලධාරියා පාතාල නායකයාගේ ඥාතියාට තර්ජනය කළේ ඒ සියල්ල පාතාල නායකයා වෙත දැනුම් දෙන ලෙස කියමින්ය.

උසස්‌ නිලධාරියා යමක්‌ කීවොත් එය ඒ අයුරින්ම ක්‍රියාත්මක කරන බව පාතාල ලෝකයම දැන සිටියහ. උසස්‌ නිලධාරියාගේ තර්ජනයට බිය වූ පතාල නායකයා තම සියලු සැලසුම් හකුලා ගත්තේය. ගුණසේකරගේ මංගල උත්සවය ඉතාම උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. උසස්‌ නිලධාරියා ඒ ක්‍රියාමාර්ගය අනුගමනය නොකරන්නට පාතාල නායකයා මංගල උත්සවයට කඩාවැදී එහි කීපදෙනෙකු ඝාතනය කිරීමට සියලු සැලසුම් සකස්‌ කර තිබුණේය.

උසස්‌ නිලධාරියා තම අත්දැකීම් මෙන්ම පොලිස්‌ දැනුම පාවිච්චි කර කටයුතු කළ නිසා පොලිස්‌ දෙපාර්තමේන්තුවේ කීර්තිනාමය මෙන්ම මංගල උත්සවයට පැමිණි අයගේ ජීවිතවලට ආරක්‍ෂා සැලසුණේය.

අලිවත්තේ අසිතගේ මංගල උත්සවයට ආරක්‍ෂාවක්‌ ලබා දෙමින් පොලිසියේ කීර්තිනාමය කෙලෙසා දැමූ නිලධාරීන්ට මේ සිදුවීම කදිම ආදර්ශයක්‌ නොවන්නේද? මුළු රටටම පිළිලයක්‌ බවට පත්ව සිටින තුට්‌ටු දෙකේ පාතාල මැරයන් අද වීරයන් බවට පත්ව සිටිති. අහිංසක ජීවිත බිලි ගනිමින් මිනිසුන් භීතියට පත් කර කප්පම් ලබා ගනිමින් හෙරොයින් ජාවාරම්වල නිරත වෙමින් මුළු රටම භීතියට පත් කර ගෙන සිටින පාතාල මැරයන් ගත කරන්නේ සුඛෝපභෝගී ජීවිතය.

පසුගිය රජය සමයේ එවකට ආරක්‍ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්‍ෂ අනුගමනය කළ පාතාල මර්දන මෙහෙයුම් නිසා පාතාල මැරයෝ කුක්‌කන් බවට පත්ව සිටියහ. කොටින්ම එදා පාතාල ලෝකයක්‌ නොතිබූ තරම් ය.

පාතාල මැරයන් දෙතුන්සීයක්‌ අවසන් ගමන් යද්දී ජීවිත බේරා ගත් උන් හොර රහසේම රටින් පලා ගියහ. සාමාන්‍ය නීතිගරුක ජනතාවට එදා පාතාලයෙන් කිසිදු හිරිහැරයක්‌ තිබුණේම නැත.

එහෙත් අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්‌ය. පාතාලය අද ප්‍රසිද්ධියේ මිනී මරා ගන්නා තත්ත්වයකට පත්ව සිටිති. පාතාල අපරාධකරුවන්ට මරණ බිය ඇති නොකර ඔවුන් හුරතල් කිරීම මේ තත්ත්වය ඇති වීමට මූලික හේතුව බවට පත්ව ඇති බව නොරහසකි.

පාතාලයට රිදෙන්නට ප්‍රහාර එල්ල කළේ නම් වැල්ලේ සුරංගලා, මේ ආකාරයට කටයුතු කරන්නේ නැත. අලිවත්තේ අසිතලා වැනි මැරයන්ට නිල ඇඳුමින් සැරසුණු පොලිස්‌ නිලධාරීන්ගේ ආරක්‍ෂාව ලබා දීමට සිදුවන්නේ නැත.

මෙම සිද්ධිය පිළිබඳව මේ වන විට පොලිස්‌ විශේෂ විමර්ශන ඒකකය මගින් පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර ඇත්තේ ය. මේ සිදුවීම හරහා පොලිස්‌ දෙපාර්තමේන්තුවට සිදුවූ අපකීර්තිය පහළ නිලධාරීන් කීපදෙනෙකු පිට පටවා උසස්‌ නිලධාරීන් ඇඟ බේරා ගැනීමට කටයුතු නොකළ යුතුය.

සිදුවූ අත්වැරැද්දේ වගකීම සැවොම එක හා සමානව භාරගත යුතුය. මින් ඉදිරියට හෝ මෙවැනි ක්‍රියාමාර්ග ගැනීමේදී මීට වඩා බුද්ධිමත්ව කටයුතු කිරීමට පියවර ගන්නේ නම් පොලිස්‌ දෙපාර්තමේන්තුවේ කීර්තිනාමය ආරක්‍ෂා වනු ඇත්තේය. පොලිස්‌ දෙපාර්තමේන්තුව තුළ හදවතින් වැඩ කරන නිලධාරීන් අල්පය. එවැනි අතළොස්‌සක්‌ වූ නිලධාරීන් ආරක්‍ෂා කර නොගතහොත් ඔවුන් කලකිරෙනු ඇත. එවිට සිදුවන්නේ පොලිස්‌ දෙපාර්තමේන්තුව තව තවත් අගාධයට යැමය.

අලිවත්තේ අසිතගේ මංගල උත්සවයට ආරක්‍ෂාව ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට චෝදනා එල්ල වී තිබෙන්නේ පහළ නිලධාරීන්ටය. මේ විගඩම සඳහා උපදෙස්‌ නියෝග ලබා දුන් උසස්‌ නිලධාරීන් මුණිවත රකිමින් සිටීම ලැජජා සහගතය.

හිතවත්කම් ඇයිහොඳයි කම් ඇති නිලධාරීන් එක්‌ න්‍යායකට ද, අනෙක්‌ නිලධාරීන් තවත් න්‍යායකට ද කටයුතු කිරීම නොකළ යුතුය. වැරැද්දක්‌ සිදු වී ඇත්නම් හිතවත්කම් තරාතිරම නොබලා දඬුවම් ලබා දිය යුතුය.

පාතාලයාගේ මංගල උත්සයයට ආරක්‍ෂාවක්‌ ලබා නොදී කිසියම් අපරාධයක්‌ සිදු වූයේ නම් එහි වගකීම භාරගන්නට සිදුවන්නේ ද පහළ නිලධාරීන්ටය. මෙහිදී උසස්‌ නිලධාරීන් අනුගමනය කර තිබුණේ ඇඟ බේරා ගැනීමේ න්‍යායකි.

හොඳක්‌ වූවොත් එහි ගෞරව ප්‍රණාමය තමාටත්, නරකක්‌ සිදු වුවොත් එහි අපකීර්තිය වරද පහළ නිලධාරීන් වෙත පැවරීමටත් අද බොහෝ උසස්‌ පොලිස්‌ නිලධාරීහු කටයුතු කරති. මෙවැනි තත්ත්වයන් මත පොලිසියේ කඩා වැටීම නතර කළ හැකිද?

– හේමන්ත රන්දුණු

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button