පළකල දිනය : Mon, May 7th, 2018

“ෆොටෝ දැම්මට මගේ පෙම්වතා කියලා කියන්නම ඕනේ නැහැනේ”

මනීෂා චංචලා, එහෙම නැත්නම් සිදූ ටෙලි නාට්‍යයේ කවුරුත් ආදරේ කරන තෙරුණි ගායන කරන මගේ කියා ගීතය මේ දිනවල යූ-ටියුබ් වෙබ් අඩවියේ වැඩිම සංඛ්‍යාවක් නැරඹූ ගීත අතර පෙරමුණේ රුදී තිබෙනවා.

ඉතිං ඒ ගීතය ගැන වගේම පසුගිය දිනවල තෙරුණිත් දැන් පෙම්වතියක් කියලා අන්තර්ජාලයේ හුවමාරු වුණ ඡායාරූප පෙළ ගැනත් ඇත්ත නැත්ත දැන ගන්න අපි ඇයට කතා කළා.

‘මගේ කියා’ ගීතය මේ දවස්වල යූ ටියුබ් සමාජජාලයේ වැඩිම පිරිසක් නැරඹූ ගීත අතර රැඳී තිබෙනවා. මේ ලැබෙන ප්‍රතිචාර ගැන මනීෂාට මොනවද හිතෙන්නේ

ඇත්තටම මගේ ගීතයට ගොඩක් හොද ප්‍රතිචාර ලැබුණා. ඒ ගැන මට හරිම සතුටුයි. මම ගායිකාවක් විදිහටත් තවමත් ප්‍රේක්ෂකයන් අතර රුදී සිටිනවා කියන එක මගේ කියා ගීතයට ලැබෙන ප්‍රතිචාර වලින් පැහැදිලි වෙනවා. ගීතයට ප්‍රතිචාර දක්වපු හැමෝටම ස්තූති කරන්න මම මෙය අවස්ථාවක් කරගන්නවා.

මගේ කියා ගීතය ගැන වැඩි විස්තර රිද්ම පාඨකයන්ට කියමු නේද ?
මගේ කියා ගීතය සංගීතවත් කළේ තිලිණ තාරක. අධ්‍යක්ෂණය හා නිෂ්පාදන සහය දුන්නේ ටෙහාන් මාරසිංහ, පද රචනය මනීෂා ඒකනායකගේ. විශේෂයෙන් කියන්න ඕනේ ඒ ගීතය අතුල අධිකාරි මහත්මයාගේ බොහෝ කලක් කියන ගීතයේ ෆීමෙල් වර්ෂන් එක බව.

අද බොහෝ විට වැඩිම විවිස් ලැබෙන්නේ සරාගී දර්ශන ඉස්මතු වෙන ගීතවලටයි. මෙවැනි කාලවකවානුවක එවැනි දර්ශනය නැති ගීතයක් කිරීම අභියෝගයක් වෙයි කියලා හිතුණේ නැද්ද ?
නැහැ, සරාගී දර්ශන ඉස්මතු වෙන ගීතවලට මුලදී බොහෝ දෙනාගෙන් ප්‍රතිචාර ලැබෙන්න පුළුවන්. ඒත් ඒ ප්‍රතිචාර තාවකාලිකයි. හොද ගීතයක්, ඒවගේම හැමෝටම බලන්න පුළුවන් ගීතයක් නිර්මාණය කළාම ප්‍රේක්ෂකයෝ ඒ ගීතයට හැමදාමත් ආදරේ කරාවි. ඔය කියන අභියෝගය මගේ කියා ගීතයට ජයගන්න පුළුවන් වුණා කියලා මම හිතනවා.

මනීෂා ක්ෂේත්‍රයට එන්නේ ගායිකාවක් විදිහටයි. ඒත් ප්‍රේක්ෂකයන් අතරට ගියේ රංගනයෙන්. ඇයි එහෙම වුණේ ?
මම ක්ෂේත්‍රයට ආවේ ගායිකාවක් විදියටයි. අද මම රංගන ශිල්පිනියක් වුණෙත් ගායනයෙන් මාව රටම හදුනාගත්ත නිසා. ඉතිං මම ආපු මුල්තැන කවදාවත් අමතක කරන්නේ නැහැ. කාලයක් බලා ඉදලා හරි හොද නිර්මාණයක් කරන එක තමයි මගේ අරමුණ වුණේ.

ගායනය, රංගනය වගේම නිවේදනය කියන අංශ තුනේදීම මම වැඩ වැඩි කරගෙන මානසික නිදහස නැති කරගන්න උත්සහ කරන්නේ නැහැ. නිදහසට බාධා වෙන විදහට නිර්මාණ කරන්න කැමැති නැහැ. ඒ ක්ෂේත‍්‍ර තුනේදීම මම හැමවෙලාවේම උත්සාහ ගන්නේ හෙමින් හොද ගමනක් යන්නයි.

මනීෂා බොහෝ සම්මාන උළෙලවල්වල ජනප්‍රිය නිළියන් අතර ඉහළින්ම නිර්දේශ වුණා. ඒත් සම්මාන ලැබුණේ නැහැ. ඒ ගැන දුකක් නැද්ද ?
සම්මානයක් නොලැබුණාට කිසි දුකක් නැහැ. මොකද නිර්දේශ හරි වෙන්නේ ජනතාවගේ ආදරේ මට තියෙන නිසානේ. ඒ ආදරේ එච්චර දුරකට හරි ලැබෙනවා කියන්නේ ඉතිං සම්මානයක් ගත්තා වගේ තමයි.

පසුගිය දිනවල තෙරුණිත් දැන් පෙම්වතියක් යනුවෙන් පුවතක් අන්තර්ජාලයේ ඡුායාරූප කිහිපයක් එක්ක හුවමාරු වුණා. ඒ කියන්නේ මනීෂාගේ ජීවිතයට කෙනෙක් ළංවෙලා නේද ?
(හිනැහී) ඔව්, එහෙම කෙනෙක් මටත් ඉන්නවා. එයාගේ ෆොටෝ දැම්මට මේ ඉන්නේ මගේ පෙම්වතා කියලා කියන්නම ඕනේ නැහැනේ. (හිනැහී) ඒ ගැන වැඩි විස්තර අපි පස්සේ කියමු නේද ?

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button