පළකල දිනය : Tue, May 8th, 2018

ලන්ඩනයෙන් ලංකාවට ආවේ නැත්නම් ලෙස්ටර් ට වෙන්න ගිය දේ !

ඕනෑම කෙනකු මිය පරලොව යාමෙන් පසු ඔහු හෝ ඇය පිළිබඳ මතකයන් අප අතර ශේෂ වන්නේ ඔවුන් ජීවත් වූ කාල පරිච්ඡේදය තුළ කළ කී දේවල් අනුවය.

සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානනීය කලාකරුවා වසර 99ක් ආයු වළඳා පසුගියදා දිවියෙන් සමුගත්තේය. ඔහු සිනමාව වෙනුවෙන් දැඩි ලෙස කැපවූවෙකි. ඔහුගේ ජීවිතයම සිනමාව වූ බව නොරහසකි.

ලෙස්ටර් සැබැවින්ම යුග පුරුෂයෙකි. ලෙස්ටර් ලෙස මෙම ලිපිය පුරා සඳහන් වනුයේ දැඩි භක්තියෙනි.

ලෙස්ටර්ගේ අභාවයෙන් අනතුරුව ඔහු පිළිබඳව බොහෝ දේ ලියැවී ඇත. බොහෝ දේ කියා ඇත. බොහෝ දේ අසා ඇත. ඒත් ඔහු ගැන ලියා, කියා අවසන් කළ නොහැක.

ලෙස්ටර් ඇසූ පිරූ තැන් බොහෝය. ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිඳුන් සිට අද රාජ්‍ය නායකයන්ගේ ඇසුරට හා ඔවුන්ගේ ගෞරවයට ලෙස්ටර් භාජනය වූවෙකි. සිනමා ලොවේදී ද ලෙස්ටර් ලෝක පූජිත චරිතයකි.

ජාත්‍යන්තර සිනමාවේ ද ලෙස්ටර් ප්‍රකට චරිතයකි. එහෙත් මේ සා ගෞරවයට හා ප්‍රණාමයට ලක්වූ ලෙස්ටර් ඉතා සරල ජීවිතයක් ගත කළ අයෙකි. ඔහු ලොකු කුඩා කවුරුත් ඇසුරු කළේය. ඔහුගේ දැනුම ඔවුන් හා බෙදා හදා ගත්තේය. ඔවුන්ගෙන් බොහෝ දෑ ඔහුගේ ජීවිතයට ද උකහා ගත්තේය.

දශක පහක්, හයක් හෝ හතක් වැනි දීර්ඝ කාලයක් මුළුල්ලේ ලෙස්ටර් ඇසුරු කළ සුවිශේෂී චරිත සිටින්නට පුළුවන. මට ලෙස්ටර් මුල්වරට මුණගැසෙන්නේ මීට වසර 20කට පමණ පෙරය.

පුවත්පත් කලාවේදියකු ලෙස තම වෘත්තීය ජීවිතය ආරම්භ කළ ‘පික්චර් – පිස්සු’ ලෙස්ටර් පුවත්පත් කලාවට දැඩි ලෙස ඇළුම් කළේය. පසුගිය කාලය තුළ අසනීප තත්ත්වය නිසා ශාරීරිකව දුර්වල වන්නට පෙර ඔහු උදේ 7 වෙද්දී තම නිවසේ කාර්යාල කාමරයට එන්නේ ජැන්ඩියට ඇඳ පැළඳගෙනය.

ඔහුගේ මුල්ම රාජකාරිය දිනපතා පුවත්පත් ටික කියවීමය. ඔහුගේ විශේෂ අවධානය යොමුවන්නේ සිනමා හා කලා අතිරේක කෙරෙහිය. එහි සඳහන් ඇතැම් කරුණු ගැන අදාළ මාධ්‍යවේදියා සමඟ දුරකථනයෙන් අමතා වැඩිදුර සාකච්ඡා කිරීමත් ඔහුගේ පුරුද්දක් විය.

ඔහු හා බැඳුණු මිතුදම මෙලෙස දිනෙන් දින සමීප වෙද්දී මා දවසක් ඔහුට යෝජනාවක් කළෙමි. “ඔබේ සිනමා නිර්මාණ එකින් එක ගෙන අපි ආටිකල් සීරීස් එකක් කරමුද?” අතීත ආවර්ජනයට දැඩි ලෙස ප්‍රිය කළ ලෙස්ටර්, අතීත සිදුවීම් දින වකවානු තිතටම මතක තිබූ ලෙස්ටර් ඊට එක පයින්ම කැමති වුයේය. ඒ 2005 වසරේදී පමණය. ‘FLASHBACK WITH LESTER’ නමින් එම ලිපි මාලාව ඉංග්‍රීසියෙන් ‍මෙන්ම සිංහලෙන් ද මම පළකළෙමි.

ඒ සඳහා මාස දෙක තුනක් සතියකට වරක් ඔහු හමුවන්නට ගියෙමි. ඔහු හමුවන්නට යනවානම් අඩුම තරමේ පැය හතරක්වත් එහි වැය කරන්නට බලාගෙන යායුතුය. ඔහු හා කතාබහ කිරීමේදී කාලය ගෙවී යනවා දැනෙන්නේම නැත.

‘මේ මහත්තයා එනකොට බල්ලෝ දෙන්නා කොනේම කාමරේට දාලා වහන්න. ඊට පස්සේ මේ ග්‍රිල් දොර අරින්න.’ ලෙස්ටර් තම මෙහෙකරුවන්ට මේ අණ නියෝග කළේ බල්ලන් කෙරෙහි මා තුළ තිබූ අනිසි බිය තේරුම් ගත් විටය.

එම ලිපි මාලාව තුළ අපි බොහෝ දේවල් ගැන කතා කළෙමු. ඒ ඒ චිත්‍රපටවලට අදාළ පසුබිම් කතා වගේම රූපගත කිරීම් අතරතුර සිදුවූ රසවත් සිද්ධීන් ඔහුගේ මතකයේ හොඳින්ම සටහන්වී තිබිණ.

උපහාස කතා කීමට ලෙස්ටර් රුසියෙකි. හාස්‍ය උපදවන කතා ඔහු බොහෝවිට කියන්නේ ඇඟට පතට නොදැනීය. එක්තරා දවසක ඔහු හා කතාබහ කරමින් සිටින විටකදී කවුදෝ මාව පිටිපස්සෙන් තල්ලු කරනවා දැනුණ නිසා මම හැරී බුලවෙමි. මට ඉහෙන් කනෙන් දාඩිය දාන්නට පටන් ගත්තා පමණක් නොව තත්පර ගණනාවකට හුස්ම ද හිරවිය. ලෙස්ටර්ගේ මහා කළු බල්ලා මා අසලය. මට ඌ පෙනුනේ රයිනෝසිරස් කෙනකු ලෙසය. ඒ තරම් උස මහතය.

“ඌ පොඩි දරුවෙක් වගේ. මොකුත් කරන්නේ නෑ. ඔයාවත් පොඩි ළමයෙක් වගේ පෙනිලා ඇති. ඒකයි ඔයත් එක්ක සෙල්ලම් කරන්න ඇවිත් ඉන්නේ.” ලෙස්ටර් කීවත් මට ඊට පිළිතුරු දිය නොහැකි වූයේ මගේ කට, දිව ඒ වනවිටත් වියලී ගොස් තිබූ නිසාය.

වසර කිහිපයකට පෙර ඔහු දශක ගණනාවක් විසූ කොළඹ 5 ඩික්මන්ස් පාර ලෙස්ටර්ට උපහාරයක් පිණිස “ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවත” ලෙස නම් කෙරුණි. එයටද උපහාසාත්මක විවේචනයක් කරමින් ඔහු මට අපූරු කතාවක් කීය.

“කොළඹ 2, කොම්පඤ්ඤවීදියෙ තියෙනවා ජේම්ස් පීරිස් මාවත කියලා පරණ පාරක්. දැන් හිතමුකො මාව හම්බවෙන්න ටැක්සියට නැගලා ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතට යමු කියල රියදුරුට කිව්වයි කියලා. දැන් ඉන්න කට්ටිය පාරවල්වලට දාපු අලුත් නම් දන්නෙ නෑනෙ. ඒ නිසා ඒ රියදුරා අර මනුස්සයාව අනිවාර්යයෙන් කොළඹ 2, ජේම්ස් පීරිස් මාවතට ගිහින් බස්සයි. අර මනුස්සයාට දවසම රස්තියාදු වුණත් කොම්පඤ්ඤවීදියේ ලෙස්ටර් ජේම්ස් පීරිස් කෙනෙක් හොයාගන්න බැරිවෙයි.”

ඔහු කිසිදේකට කලබල වූ අයකු නොවීය. ඒත් ඔහුට හිතවත් ඕනෑම කෙනකු ගැන කාලයක් පුරා තොරතුරක් නැති වූ විට ඔහු තරමක් සංවේදී විය.

මාස දෙක තුනක් අඩුම ගණනේ ඔහුට දුරකථනයෙන්වත් කතා කළේ නැති වූවිට ඔහු අප ගැන සොයා බැලූ වාර අනන්තය.

“මොකද ඔයාට වෙලා තියෙන්නේ? අසනීපෙන්ද? මම බැලුවා මොකද කිසිම තොරතුරක් නැත්තේ කියලා” ලෙස්ටර් එසේ විමසන්නේ සැබෑ ළෙංගතුකම නිසාවෙනි.

ඔහුගේ අවසාන චිත්‍රපටය “අම්මාවරුනේ” රූපගත කෙරුණේ දඹුල්ල ප්‍රදේශයේදීය. රූපගතකිරීම් කරන කාලය අතරතුර මාද දවසක් පුරාම ඔහු හා ඔහුගේ කණ්ඩායම සමඟ කාලය ගත කළෙමි.

කෙතරම් කාර්යබහුල වුවත් අන් අයගේ පහසුව හා ඕනෑ එපාකම් සොයා බලන්නට ඔහු මැලි වූයේ නැත. වසර ගණනාවක් පුරා ලෙස්ටර් සාමාන්‍ය කෑම බීම කෑවේ නැත. ආහාර පාන සඳහා ඔහු තුළ තිබූ යම් සංවේදීතා නිසා ඔහුට මිරිස්, තෙල් නොයොදා විශේෂ කෑම, බීම සැකසුණි.

අප්‍රේල් 5 වැනිදා ඔහුගේ උපන්දිනය දා ඔහුගේ ඩික්මන්ස් පාර නිවස අමුත්තන්ගෙන් සුභ පතන්නන්ගෙන් අඩුවක් නොවීය. කලා ලොවේ හිතවතුන් මෙන්ම නෑදෑ හිතවතුන්ගෙන් ද නිවස සවස් යාමයේ පිරී තිබුණි. කෑම, බීම වගේම සංගීතයේ ද අඩුවක් තිබුණේ නැත. අප්‍රේල් 5 ඔහු හමුවී සුභ පැතීම කාගේත් පුරුද්දක් විය.

මගේ මතකය නිවැරදි නම් ඔහුගේ 95 වැනි උපන්දිනයදා රාත්‍රී රාජකාරි වැඩ යෙදී තිබුණු බැවින්, එදින හමුවන්නට ගියේ සවස 4ට පමණය. ආගිය තොරතුරු කතා කළ ලෙස්ටර් එක පාරටම මගෙන් “අයිසේ පූජා කවදද කසාද බඳින්නේ? කවුරුහරි හොයාගෙනද?” කියා ඇහුවා. මම පිළිතුරු දුන්නා.

අවුරුදු 95දී මොහුට පූජාගේ විවාහය ගැන තිබෙන කැක්කුම කුමක්දැයි යමෙකුට සිතෙන්නට පුළුවන.

ඒ ලෙස්ටර්ගේ UPDATE වීමේ ක්‍රමයයි. ඔහු හැමදාම යාවත්කාලීන වෙමින් හිටි අයෙකි. අල්ලාප සල්ලාපයේ යෙදෙන විට ඔහු අරයා ගැන මෙයා ගැන විස්තර අහන්නේ ඒ නිසාය. යාවත්කාලීන වීම තුළින් ලෙස්ටර් හැමදාම වර්තමානයේ ජීවත් වූයේය. අතීතය ඔහුට සුන්දර මතක සමූහයක් පමණක් විය. ‘සංදේශය’ චිත්‍රපටය රූගත කළේ 1960 ගණන්වලය. දිනක් ඒ කාලය තුළ සිදුවූ අපූරු කතාවක් කීවේය.

“චිත්‍රපටය රූපගත කිරීම් එක් මාසයක් තුළ ඉවර කරන්නයි අපි සැලසුම් කරලා තිබුණේ. ඒත් බෙලිහුල් ඔය අවට ප්‍රදේශයට කඩා වැටුණු අධික වරුසාව නිසා ඒක අවුරුද්දක් විතර ඇදුණා. ප්‍රධාන නළු නිළියන් දෙතුන් දෙනකුට තානායම් පහසුකම් ලැබුණා. සුමිත්‍රා අසල ගමේ නිවසක නවාතැන් ගත්තා. මා ඇතුළු ඉතුරු 150ක් පමණ පිරිස නවාතැන් ගත්තේ පොල් අතු සෙවිලි කළ කූඩාරම්වල. අපි කට්ටියගේ පාවිච්චියට තාවකාලික වැසිකිළි පහසුකම් අපිම හදාගත්තා. ඒ අවටින් ගලා ගිය දිය පාරෙන් තමයි අපි නෑවේ. ළඟදි මට ආරංචි වුණා අපි නවාතැන් ගෙන හිටපු තැන දැන් පානීය ජල බෝතල් නිපදවන සමාගමක් තියෙනවැයි කියලා” ඔහු ඇඟට පතට නොදැනී කීය.

ලන්ඩනයේ වසර 6ක් පුරා ගත කළ මාධ්‍ය ජීවිතය ඔහුගේ මතකයේ සදාතනික ලෙස තැන්පත් වීමට හේතු කාරණා රුසක් තිබුණි.

ඔහුගේ මුල්ම කෙටි චිත්‍රපටය නිර්මාණය වූයේ ද ලන්ඩනයේදීය. ඔහුට ලන්ඩනයේදී මුණගැසුණු සහෝදර මාධ්‍යවේදීන් පසුකලෙක ක්ෂේත්‍රයේ දැවැන්තයන් ලෙස කැපී පෙනුණ අය වූහ. ප්‍රකට සිනමා අධ්‍යක්ෂක රුල්ෆ් කීන් ලන්ඩනයේදී මුණගැසීම ඔහුගේ දෛවය වෙනස් කිරීමට සමත් විය.

රුල්ෆ්ගේ බලවත් පෙරුත්තය නිසාම ලෙස්ටර්ට ලංකාවට ඒමට සිදුවූයේ රජයේ චිත්‍රපට අංශයේ තනතුරක් කීන් යටතේ භාරගැනීමටය.

“ලන්ඩනයෙන් ලංකාවට ආවේ නැත්නම් මමත් ඕගොල්ලෝ වගේ අභිමානවත් මාධ්‍යවේදියෙක්. මගේ ප්‍රියතම වෘත්තිය පුවත්පත් කලාව තමයි. මම සිනමාවේදියෙක් වුණේ එවැනි වෘත්තියකට ආයුබෝවන් කියලා.” ලෙස්ටර් අපට පොතක් පිරිනමද්දී සහෝදර මාධ්‍යවේදී …………ට තිළිණයක් ලෙස..”යැයි සඳහන් කළේය. චිත්‍රපට සංස්ථාවේ මුල් කාල පරිච්ඡේදය ගැන සිහිපත් වූ විටෙක ඔහු කළ තවත් අපූරු ආවර්ජනයකි මේ.

“ඒ කාලේ රජයේ චිත්‍රපට අංශය තිබුණේ කටුබැද්ද පැත්තේ. ඒ තරම් ලොකු පහසුකම් තිබුණේ නැහැ. එහෙ වැඩ කරපු ගැහැනු ළමයි දෙන්නෙකුටවත් වෙනම වැසිකිළි පහසුකම් තිබුණේ නැහැ. එක දවසක් එවකට අගමැතිව සිටි ඩී. එස්. සේනානායක මැතිතුමා හදිසියේ අපේ අංශයට ආවා. ඔහුට තිබූ ස්වාභාවික බරක් නිදහස් කරන්නට ඒ සඳහා සුදුසු ස්ථානයක් අපට තිබුණේ නැති බව දැනගත්තම ඔහු පුදුම වුණා. “එතකොට මේ වගේ උවමනාවකට ඕගොල්ලෝ කොහෙටද යන්නේ?” ඔහු ඇහුවා.

“සුළු වැඩක් නම් ගහක් යටට, ලොකු එකක් නම් අර ලොකු හෝටලේට…” අගමැතිතුමා වහාම ගහක් යටට දිව්වා.”

ප්‍රවීණ මාධ්‍යවේදී අජිත් සමරනායක මීට වසර කීපයකට පෙර මියගිය පුවත ලෙස්ටර්ට ආරංචි වීමත් සමඟ ඔහු කම්පා විය.

ඊට දින දෙක තුනකට පසු මා ඔහු හමුවිය. “අජිත්ගේ මළගෙදර ගියාද? අපරාදේ මම මැරුණු දාක මම ගැන ලියන්න හිටපු කෙනෙක් නැතිවුණා. කමක් නෑ. ඔයා ඉන්නවනේ.”

දෛවෝපගත ලෙස ඔහුගේ අභාවය පිළිබඳ ප්‍රවෘත්තිය ලියන්නට මට සිදුවිය.

පසුගිය වසර දෙක තුනක කාලය තුළ ඔහු අමුත්තක් රුසක් හමුවීමෙන් වැළකී සිටියේ වෛද්‍ය උපදෙස් මතය. එහෙත් සිනමාවට ළබැඳි අපේ හිතවතකු ඔහු හමුවන්නට ඇවැසි වූ විට ඔහු ඒ සඳහා අවස්ථාව ලබා දුන්නා පමණක් නොව ඔවුන් සමඟ පැය ගණනාවක් කතාබහ කළේය.

“මගේ පුස්තකාලයේ තියෙන පොත්පත් රිෆර් කරන්න ඕන වුණාම ඕන වෙලාවක එන්න.” ඔහු සිනමා මාධ්‍යවේදීන්ට දැක්වූ අව්‍යාජ සෙනෙහස හා ළෙංගතුබව එසේය.

සිනමා දිවියේ මුල් යුගයේ සිටම ඔහු හා ළඟින්ම ඇසුරු කළ කැමරා ශිල්පී විලී බ්ලේක් මෑතකදී විදෙස් රටකදී මිය ගියේය. සුමිත්‍රා පීරිස් මැතිනිය මට කතාකොට ඒ පුවත ආරංචි වූවාදැයි විමසුවාය.

“ඔව්.. ඊළඟ කලාපයේ මම ඒක ගෙනියනවා..”

“ලෙස්ටර් නම් තාම දන්නේ නැහැ. දැනගත්තොත් ගොඩාක් දුක්වෙයි.”

ඊට දින දෙකකට පසු මට ලෙස්ටර්ගෙන් කෝල් එකක් ආවේය. “විලී බ්ලේක් නැති වෙලා කියලා දන්නවද?”

ලෙස්ටර් නිතරම සෑම දෙයක් ගැනම යාවත් කාලීන වී සිටි අයෙකි. ඔහු ගැන ලියන්නට කියන්නට බොහෝ දෙනකුට බොහෝ දේවල් තියෙන්නට පුළුවන. ඒ මතකයන් සමඟ ලෙස්ටර් හැමදාම අපේ සිත්වල ජීවත් වනවාට කිසිදු සැකයක් නැත.

උපුටා ගැනීම – සාරවිට

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button