පළකල දිනය : Sun, May 20th, 2018

හදිසියේම අසනීප වී රෝහල් ගත කළ සුසිලා කෝට්ටගේට මොකද වුනේ ?

ජීවිතයේ දාහක් ප්‍රශ්න අතර හෙම්බත් වුණ අයව හිනස්සලා සතුටු කරවපු නිළියක් තමයි සුසිලා කෝට්ටගේ කියන්නේ.

පසුගිය දාක සුසිලා ගැන අපට අහන්න ලැබුණේ දුක හිතෙන ආරංචියක්.

ඇය හදිසියේම අසනීප වෙලා රෝහල් ගත කළා කියලා තමයි දැනගන්න ලැබුණේ.

සුසිලාගේ දුක සැප බලන්න යනකොට ඇය වෛද්‍ය ප්‍රතිකාර අරගෙන නිවසට ඇවිත්.

නමුත් ඇය කතාබහට එක්වුණේ පුරුදු විදියටම හිනාවෙන්, විහිළු තහළුවෙන් පිරී ගිය හඩින්මයි.

සුසිල අසනීප වෙලා කියන පුවත අන්තර්ජාලයේ පැතිර යෑමත් එක්ක රසික පිරිස ඒ ගැන හොයන්න උනන්දු වුණා. අපේ යුතුකම තමයි ඇත්ත නැත්ත හරියටම ජනතාවට කියන එක.

අදුනන නාදුනන ගොඩයක් අය මේ ප්‍රවෘත්තිය දැනගෙන මට කෝල් කළා. සමහරු ගෙදරටත් ආවා. ඒ හැමෝගෙම ප්‍රතිචාර දකිද්දී මට හිතුණා මිනිස්සු මට කොයි තරම් ආදරෙයිද කියලා. තවත් කාලයක් ජීවත් වෙන්න ඒ ආදරය මට ශක්තියක් වුණා. මට වෙච්චි දේ කියන්නම්.

පහුගිය 10 වැනිදා ඉදන් මගේ ඇඟට වෙනසක් දැනුණා. ඒත් මම ගණන් ගත්තේ නැහැ. 11වැනිදා මට හෘදයාබාධ තත්ත්වයක් ඇති වුණා. හොද වෙලාවට රහල් (සැමියා) ගෙදර හිටියා. රහලුයි වටාපිටාවේ අයයි එකතුවෙලා ඒ වෙලාවෙම මාව රෝහලට අරගෙන ගියා.

දවස් කීයක් රෝහලේ හිටියාද ?
කොළඹ ජාතික රෝහලේ 61වැනි වාට්ටුවේ දවස් 4ක් හිටියා. ඊට පස්සේ ටිකට් කපාගෙන ගෙදර ආවා.

දැන් සම්පූර්ණයෙන් සුව වෙලාද ඉන්නේ ?
වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව මේ දවස්වල විවේකයෙන් ඉන්නවා. බෙහෙත් එහෙමත් බොනවා.

එතකොට බාරගත් නිර්මාණවලට මොකද වුණේ ? තාවකාලිකව නතර කළාද ?
ටෙලි නාට්‍යයක රූගත කිරීම් හා වේදිකා නාට්‍ය දෙකක පුහුණුවීම් තියෙනවා. මෙගා ස්ටාර් වැඩසටහනටත් මා සම්බන්ධ වෙලා හිටියා. ඒ නිසා පසුගිය දවස්වල මම ටිකක් වැඩිපුර වෙහෙසුනා. ඒත් දැන් නම් මට හැමදෙනාම විවේකය ලබාදීලයි තියෙන්නේ. ඒ නිසා ටික දවසකට රගපෑම නතර කළා.

ඇති වූ රෝගී තත්ත්වය නිසා සුසිලා මානසිකවත් වැටෙන්න ඇති නේද ?
ඔව්, ඒත් මම තනි වුණේ නැති හින්දා මට හිත හදාගන්න හයිය ලැබුණා. කොළඹ ජාතික රෝහලේ 61 වාට්ටුවේ නිමාලි ප්‍රනාන්දු වෛද්‍යතුමිය හා සමස්ත කාර්ය මණ්ඩලය පුදුමාකාර සහයක් මට ලබා දුන්නා. කලා ලෝකයේ අයයි, මගේ හිතවතුනුයි මාව බලන්න ආවා. නාදුනන අයත් ආවා.

සමහරු දුරකථනයෙන් කතා කළා. ගෙදරටත් එන අය ඉන්නවා. ඒ ආදරණීය ප්‍රතිචාර හින්දා ලොකු හයියක් හිතට ඇති වුණා.

රසික පිරිස කැමති වේවි ඔබගේ වර්තමාන තත්ත්වය ගැනත් දැන ගන්න ?
දැන් නම් හොදයි. ඒත් තව පරීක්ෂණ වගයක් කරන්න තියෙනවා. ඊට පස්සේ පුරුදු විදියටම කලා කටයුතුවලට දායක වෙනවා රසික පිරිසට කියන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button