පළකල දිනය : Mon, May 21st, 2018

මරුවාටද නවතාලිය නොහැකි වූ වීර වේග ප්‍රහාරක නැවියා !

2008 නොවැම්බර් 01 වන දින මුහුදු කොටින් පේදුරුතුඩුව සහ නගර්කෝවිල් අතර මුහුදු තිරයේ දී නාවික හමුදා භට ප්‍රවාහන යාත්‍රා ඉලක්ක කොට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය.

එම ප්‍රහාරයට මුහුදු කොටි යාත්‍රා විශාල ප්‍රමාණයක් සහභාගී වූ අතර එල්ල කල මාරක ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට සුපිරි ප්‍රහාරකයන්ගෙන් සුසැදි විශේෂ යාත්‍රා බලගණය හා ක්ෂණික ප්‍රහාරක බලගණය සටනට කැදවනු ලැබීය.

සුළු නිලධාරියෙකු වන කේ.ජී.ශාන්ත ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බළඇණියට අනුයුක්තව සේවය කල අතර ඔහු Z142 ඇරෝ වර්ගයේ පෙට්‍රල් යාත්‍රාවේ නිලධාරියා විය. එම යාත්‍රාවද ප්‍රතිප්‍රහාර සදහා ඩෝරා යාත්‍රාවල සහයට කැඳවා තිබූ ප්‍රහාරක යාත්‍රා අතර විය.

ශාන්ත සහ ඔහුගේ කණ්ඩායම එම යාත්‍රාවෙන් මුහුදු කොටින් හට ප්‍රහාර එල්ල කරන්නට වුහ. මෙම යාත්‍රාව සතු හැසිරවීමේ පහසුව නිසා මෙවැනි ප්‍රහාරයක දී එය නාවික හමුදාවට විශාල ශක්තියකි. සටන දරුණු වීම නිසා ශාන්තගේ යාත්‍රාවේ සිටි තුවක්කුකරුවන් තිදෙනාම බරපතල ලෙස තුවාල ලැබුහ. එබැවින් යාත්‍රාවේ වෙඩි බලයද අවසන් වෙමින් පැවතින.

ඉතා දැඩ් ප්‍රහාර මධ්‍යයේ ඉඩායන් වර්ගයේ සතුරාගේ මරාගෙන මැරෙන යාත්‍රාවක් ඒ වන විටත් ගැටුමට මැදි වී සිටි P164 ඩෝරා යාත්‍රාව දෙසට ඉතා වේගයෙන් ගමන් කරන ආකාරය ශාන්තට නිරීක්ෂණය විය.

ඩෝරා යාත්‍රාවේ ගමන් කළ පිරිස 12 දෙනෙකු බවද යම් හෙයකින් වේග ප්‍රහාරක ඩෝරා යාත්‍රාවක් එම තීරණාත්මක මොහොතේ අහිමි වීම තවත් ජීවිත රාශියක අවසානය විය හැකි බවත් දක්ෂ නාවිකයෙකු වූ ශාන්ත හොදින් දැන සිටියේය.

නමුත් ඒ වන විට ශාන්තට ඉතිරි වී තිබුනේ තමන් සහ තම කුඩා යාත්‍රාව පමණි. ගත වෙන සෑම තත්පරයේම ඇති වටිනාකම දත් ඔහු ක්ශණිව තම යාත්‍රාව වේගයෙන් මෙහෙයවා මුහුදු කොටින්ගේ මරාගෙන මැරෙන යාත්‍රාවේ ගමන් මග හරස් කළේ එම යාත්‍රාව තම යාත්‍රාවේ ගැටෙන්නට සලස්වමින් යුධ බිමේ වීරයකු සතු ඉහලම වීරත්වය ප්‍රකට කරමිනි.

මරාගෙන මැරෙන යාත්‍රාවේ තිබූ අධිබල බෝම්බ සමඟ යාත්‍රා දෙකම එකවර පුපුරා ගියේ තවත් අභිමානවත් පුත්‍රයෙකුද ලක්මවට අහිමි කරමිනි.

සුළු නිලධාරි කේ.ජී. ශාන්තගේ අසමසම කැප වීම නිසා වෙන්නට ගිය විශාල විනාශයෙන් ගැලවීමට නාවික හමුදාව එදා සමත් විය.

එම උත්තම ක්‍රියාව අගයමින් ස්වකීය ජීවිතයටද අත්මාරක්ෂාවටද එල්ල වන උපද්‍රව පිළිබඳ නොතකා සිය සගයන්ගේ ජීවිතාරක්ෂාව නොහොත් බළකායේ අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා සක්‍රීය සේවා කාලය තුළ ස්වේච්ඡාවෙන්ම සතුරාට ‍මුහුණ දෙමින් මවුබිම වෙනුවෙන් ජීවිතය කැප කළ උදාර රණවිරුවන්ට පමණක් පිරිනැමෙන පරම වීර විභූෂණ පදක්කම කේ.ජී.ශාන්ත විරුවා හට පිරිනැමිණ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button