පළකල දිනය : Tue, May 22nd, 2018

වියෝවූ ගායක ප්‍රින්ස්ගේ නැගණිය සංවේදී කතාවක් කියයි !

ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත බරපතළ ලෙස රෝගාතුරව සිටි කාලයේ සෙවණැල්ල මෙන් ළගින්ම හිදිමින් ඔහුට ඇප උපස්ථාන කළේ ඔහුගේ ආදරණීය සොහොයුරිය වූ ශිරෝණි ප්‍රියංගිකායි.

ප්‍රින්ස්ගේ සෙඃඛ්‍ය තත්ත්වය ගැන ඇය පැවසූ තතු ඒ දිනවල අප විටින් විට ඔබ වෙත ගෙන ආවා. ලබන ජූනි මස 08 වැනිදාට ප්‍රින්ස් මෙලොව හැර ගොස් වසරක් සම්පූර්ණ වෙනවා.

ප්‍රින්ස්ගේ පළමු වැනි සැමරුමට ඔන්න මෙන්න කියා තිබියදී ඔහුගේ සොහොයුරිය හැඩූ කදුළින් අපට කීවේ මෙවැනි කතාවක්.

ප්‍රින්ස් අසනීපයෙන් සිටි කාලයේ ඔහු වෙනුවෙන් රසික රසිකාවියන්ගෙන් උදවු උපකාර ඉල්ලා සිටී ඔබ ප්‍රින්ස්ගේ වියෝවෙන් වසරක් ගත වූ තැන තවත් එවැනිම ඉල්ලීමක් කරන්නයි මේ සූදානම් වෙන්නේ ?
ඔව්. ඒකට හේතුව මේකයි අයියටයි මටයි කුරුදු අක්කර හයක ඉඩම්, කඩ සාප්පු ඇතුළු වටිනා දේපොළ හුගාක් ඒ කාලේ තිබුණා. ඒත් අයියාගේ අසනීපය වෙනුවෙන් ඒ හැමදෙයක්ම විකුණා දමන්න මට සිද්ධ වුණා. අන්තිමේදී එයිනි ලැබුණු මුදලුත් මදිවෙච්ච නිසා අයියා ජීවත් වුණු මහ ගෙදර සහ මම හදාගත්තු ගෙදරත් මම උකස් කළා.

දැන් ඒ ගෙවල් දෙකම සින්න වෙන්නයි යන්නේ. ඒවා බේරාගන්න මට තව ඉතුරු වෙලා තියෙන්නේ මාසයක කාලයක් විතරයි. එහෙම නොකළොත් මට පාරට බහින්නයි වෙන්නේ.

ගෙවල් දෙකම උකසෙන් බේරාගන්න නම් මාසයක් ඇතුළත ඔබට කොච්චර මුදලක් හොයාගන්න වෙනවාද ?
මේ ගෙවල් දෙකම රුපියල් ලක්ෂ 20කටයි උකස් කළේ. උකසට අවුරුදු එකහමාරක් විතර ගත වෙලා නිසා පොලියත් එක්ක ලක්ෂ 35ක් විතර ගෙවලා තමයි ගෙවල් දෙක බේරගන්න වෙන්නේ.

අයියාගේ අසනීපයට මුදලින් ගත්තු ණයත් එක්ක බැලුවාම මම දැනටත් ලක්ෂ 60ක් විතර ණයයි. ණය දීපු අය හැමදාම මුදල් ඉල්ලලා කරදර කරනවා. මේ නිසා විශාල මානසික පීඩනයක් එක්කයි මට දැන් ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ.

ප්‍රින්ස්ගේ ලෙඩ දුක් වෙනුවෙන් උපකාර කරන්න ඒකාලේ බොහෝ දෙනා ඉදිරිපත් වුණා. එවැනි හයියක් තිබිලත් ඇයි අවසානයේ ඔබ මෙබදු තත්ත්වයකට පත් වුණේ ?
අයියා අවුරුදු 2ක් විතර අසනීප වෙලා හිටියා. ඒ කාලය තුළ රසික රසිකාවියන් ඇතුළුව හුගක් අය මුදලින් උදව් උපකාර කළා. ඒ හැමෝගේම දායකත්වයෙන් ලක්ෂ 50ක විතර මුදලක් ලැබුණා.

ගායක ගායිකාවන්ගේ සංගමයෙන් තමයි අන්තිමට අයියාගේ රෝහල් බිල ගෙව්වෙත්. ඒත් මම ඒ වෙනකොටත් අයියා වෙනුවෙන් රුපියල් කෝටි 2කට වැඩිය වියදම් කරලා තිබුණා. සින්න වෙන්න යන මගේ ගෙදර මම දැන් විකුණන්න දාලයි තියෙන්නේ.

ඒත් තවම ඒකට ගැනුම්කරුවෙක් ඉදිරිපත් වුණේ නැහැ. ලක්ෂ 90ක් විතර වටිනා දේපලක් තමයි මම ලක්ෂ 70කට විකුණන්න යන්නේ. මම පත්වෙලා ඉන්න තත්ත්වය සලකලා ඒකවත් කවුරුහරි මිලදී ගන්නවා නම් මට මේ ණය තුරුස්වලින් බේරිලා මහ ගෙදරත් උකසින් බේරගෙන එහි ජීවත් වෙන්න පුළුවන්.

ප්‍රින්ස් මියගියාට පසුවත් මෙවැනි උපකාරයක් ඉල්ලීම සම්බන්ධයෙන් ඔබ දිහා වපර ඇසින් බලන පිරිසකුත් ඉන්න පුලුවන් නේද ?
ඒක නම් එහෙම තමයි. අපි මේක මෝස්තරයක් කරගෙන මිනිස්සුන්ගේ මුදල් ඉල්ලනවා කියලා හිතන සුළු පිරිසකුත් ඉන්නවා. සමාජ මාධ්‍ය හරහා එහෙම අයගේ අදහස් ඇහුවාම හිතට එන්නේ විශාල කනගාටුවක්. මගේ සැමියා සේවය කරන්නේ පොලීසියේ.

මම දැන් ප්‍රසංග වේදිකාවේ අයියාගේ ගීත ගායනා කරනවා. ඒත් අපට ලැබෙන සුළුමුදලින් මේ තරම් ලොකු ණයක් පියවන්න කොහෙත්ම බැහැ. උසස් පෙළට පෙනී සිටින්න සූදානමින් හිටපු මගේ පුතත් දැන් මේ කරදර නිසා අධ්‍යාපන කටයුතු වලින් ඈත්වෙලයි ඉන්නේ.

මේ වැටිලා ඉන්න වළෙන් ගොඩ එන්න අයියාට තවමත් ආදරය කරන රසික රසිකාවියන්ගෙන් උපකාරයක් ඉල්ලනවා ඇරෙන්න මට දැන් කරන්න වෙන කිසිම දෙයක් ඉතුරුවෙලා නැහැ. ගෙවල් දෙකම සින්න වුණොත් ලබන ජූනි 08 වෙනිදා අයියා වෙනුවෙන් දානයක් දෙන්නවත් තැනක් මට නැතිවෙනවා.

ඔබ වරක් ප්‍රින්ස්ගේ ගීත කිහිපයක් විකුණා දමන්නත් සූදානම් වුණා. එවැනි දේකින්වත් මේ මුදල එක්කාසු කරගන්න හිතුවේ නැද්ද ?
අයියා අසනීප වෙලා හිටපු කාලේ වෙන කරන්නම දෙයක් නැති තැන අයියාට අයිති ගීත කිහිපයක් විකුණන්න මම තීරණය කළා තමයි. ඒත් ඒ වෙලාවේ වත් කවුරුවත් ඒවා ගන්න ඉදිරිපත් වුණේ නැහැ.

දැන් තියෙන තවත් ලොකුම ගැටලුවක් තමයි අද වෙන කොට අවසරයකින් තොරව ප්‍රසංග වේදිකාවේ අයියාගේ ගීත ගායනා කරලා මුදල් හම්බ කරගන්න එක. මම ඒ අයගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා දැන්වත් ඒ කැත වැඩේ නතර කරන්න කියලා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button