පළකල දිනය : Wed, May 23rd, 2018

“පිං‍පොං” නළුකමට ගත් ගුරුවරයාටත් තරු විසිවෙන්න රහසක් හෙළිකරයි !

මම අද කියන රහස දැන ගන්න නම් මුල ඉඳලම මේ ලිපිය කියවන්න වෙනවා. හොඳයි එහෙනම් ඔන්න මම ඒ කතාව මුල ඉඳලම කියනවා.

මම උසස් පෙළ කළේ 2000දී. “තට්ටු ගෙවල්” නාට්‍යයේ “පිං‍පොං” ගේ චරිතයෙන් රංගනයට ආවෙත් 2000දී.

ඒ චරිතේ මම හිතුවටත් වඩා ජනප්‍රිය වුණා. කොයි තරම් ජනප්‍රිය වුණාද කිව්වොත් අදටත් රජිත හිරාන් කියන නමට වඩා “පිං‍පොං” කියන නමින් තමයි හැමෝම මාව ආමන්ත්‍රණය කරන්නේ.

ඔය වෙද්දී මම තිස්ස ජයවර්ධන සර්ගේ නාට්‍යවලට සම්බන්ධවෙලා හිටියා. අවුරුදු තුනක් ඒ විදියට ඉද්දී. ගත්තු ෆොටෝ ගොඩාක් අරගෙන තමයි මම “තට්ටු ගෙවල්” නාට්‍යයට නවක නළු නිළියන් තෝරණ සම්මුඛ පරීක්ෂණයට ගියේ. එතැන ෆොටෝ ගොඩක් තිබුණා.

“තට්ටු ගෙවල්” අධ්‍යක්ෂ අනුරුද්ධ ජයසිංහ මහතා ඒ ෆොටෝ දිහා බලලයි. තිස්ස සර්ගේ ගෝලයෙක් කියලා හිතලයි මම ගැන පුංචි හෝ පැහැදීමක් ඇති කර ගත්තේ. ඊට පස්සේ “තට්ටු ගෙවල්” නාට්‍යයේ පිං‍පොං ගේ චරිතයට මාව සුදුසුයි කියලා හිතලා වෙන්න ඇති අනුරුද්ධ අයියා මට පිං‍පොංගේ දෙබසක් කියන්න දුන්නා.

මට වැඩ වැරදුනේ එතකොටයි. මට දෙබස් කියාගන්න බැහැ.

හෙට උදේ දන්වන්නම් කියලා අනුරුද්ධ අයියා ඔන්න මගේ සම්මුඛ පරීක්ෂණය නිමා කළා. ඒ වෙද්දී අපේ ගෙදර ටෙලිෆෝන් නැහැ. ඒ හින්දා මම අනුරුද්ධ අයියාගේ නම්බර් එක ඉල්ලගෙන හෙට උදේ කතා කරන්නම් කියලා එතනින් පිටත් වුණා. පහුවදා උදේ මම අනුරුද්ධ අයියට කෝල් කරලා කිව්වා “අයියේ පිං‍පොං කතා කරන්නේ” කියලා.

අනුරුද්ධ හයියෙන් හිනාවෙලා පහුවදා ෂුටිං එන්න කිව්වා. ඒ විදියට තමයි මම නළුවෙක් වුණේ. පස්සේ කාලෙක අනුරුද්ධ අයියා පත්තරේකට මෙන්න මෙහෙම කියලා තිබුණා.
“මුලින් දවසේ මෙයාව ගන්නවාද නැද්ද කියලා දෙගිඩියාවෙන් තමයි මම හිටියේ. එයා මට කෝල් කරලා “අයියේ මං පිං‍පොං කතා කරන්නේ” කියපු විදියට තමයි මට හිතුනේ මේයා තමයි චරිතයට හරි යන්නෙම කියලා.

එයාගේ උනන්දුවයි ඒ වචන උච්චාරණයයි චරිතයට ආරූඪ වෙලා වගේ කතා කරපු විදිය ගැන හිතලයි මම ඒ ළමයව ටෙලි නාට්‍යයට තෝරා ගත්තේ” ඔන්න ඔහොමයි මම නළුවෙක් වුණේ. අයියා ඒක පත්තරේකට කිව්වා නම් මේක වෙන කාටවත් නොකී රහසක් වෙන්නේ කොහොමද කියලා කෙනෙකුට දැන් හිතෙයි. ඒත් දැන් තමයි මම රහස හෙළි කරන්න යන්නේ.

හැබැයි ඉතින් මේ ආටිකල් එක දැක්ක හැටියේ අනුරුද්ධ අයියා මට කෝල් කරලා බණින්නත් බැරි නැහැ.

මම නැටුම් පුහුණුවීම් වලට ගියත් උස නෑ කියලා කණ්ඩායමට ගත්තේ නැහැ. තිස්ස සර්ගේ නාට්‍යවල අවුරුදු තුනක් හිටියත් ඒ අවුරුදු තුනට මම කියලා තිබුණේ “එසේය ස්වාමිනී” කියන දෙබස විතරයි. සම්මුඛ පරීක්ෂණයේදී මට දුන්නු දෙබස බැරි වුණේ ඒකයි. දෙබස නැති වුණාට රඟපාපු හැම නාට්‍යයකම පින්තූර ගොඩාක් මං ළඟ තිබුණා.

ඒවා දැකලා තිස්ස සර්ගේ ගෝලයෙක් හින්දා පැහැදිලා මුලින් මා එක්ක කතා කළාට දෙබස් ඇහුවට පස්සේ අනුරුද්ධ අයියාට මාව එපා වෙන්න ඇති කියලා මට හිතුණා.”

පහුවදා මම ටවුමට ගියේ අම්මගෙන් රුපියල් 20ක් ඉල්ලාගෙනයි. “අයියේ මම රජිත… අර ඊයේ ඉන්ටවිව් එකට ආවේ” කියලා විස්තර කිව්වාම “මල්ලි ඔයාව මේ නාට්‍යයට ගන්න වෙන්නේ නැහැ” කියලා අනුරුද්ධ අයියා කියයි . එතකොට රුපියල් විස්සම ඉවරයි.

“අයියේ මං පිං‍පොං” කිව්වාම අනුරුද්ධ අයියට මාව මතක් වෙයි. “මල්ලි ඔයාව මේ නාට්‍යයට ගන්න වෙන්නේ නෑ.” කියලා අනුරුද්ධ අයියා කියයි, එතකොට රුපියල් දහයක් යයි. දහයක් ඉතුරු වෙයි. ඔය දවස්වල සිගරට් එකක මිල රුපියල් 10යි. ඉතුරු දහයෙන් සිගරට් එකක් බොන්න පුළුවන්.

ඔන්න ඔය හේතුව හින්දයි මම “අයියේ මම පිං‍පොං” කියලා කෙටියෙන්ම කිව්වේ. එහෙම නැතුව චරිතයට ආරූඪ වෙලා ‍නෙවෙයි. ඒක තමයි ඇත්තම කතාව.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button