පළකල දිනය : Mon, May 28th, 2018

“තාත්තා මගෙන් බලාපොරොත්තුවුණු දේ ඉදිරියටම කරනවා”

“මගේ රත්තරං තාත්තා දැන් නැතිවෙලා ඉවරයි. ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් එයා මගෙන් බලාපොරොත්තු වුණු දේ මං ඉදිරියටත් කරගෙන යනවා.

මාත් එක්‌ක සතුටින් වචනයක්‌ හරි කතා කරන්න හිටිය මගේ තාත්තට වෙච්ච දේ මට දරාගන්න බැහැ යෑයි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩක ධනංය ද සිල්වා මහතා දැඩි කම්පනයෙන් යුතුව පැවැසීය.

දෙහිවල – ගල්කිස්‌ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු වූ රන්ජන් ද සිල්වා මහතාගේ (62) ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු සොයන්නට රත්මලාන පිහිටි නිවසට පෙරේදා (26 වැනිදා) ගිය අවස්‌ථාවේ ඒ මහතා එසේ කියා සිටියේය.

අප එහි යනවිට ඝාතනයට ලක්‌වූ රන්ජන් ද සිල්වා මහතාගේ දේහය නිවසට රැගෙනවිත් තිබිණි. රන්ජන් ද සිල්වා මහතාගේ බිරිය වන ශ්‍රියාලතා මහත්මිය, ඒ මහතාගේ වැඩිමල් පුත් සාවිත්‍ර ද සිල්වා, බාල පුතුවන අයේෂ්මන්ත ද සිල්වා ඇතුළු ඥාතීහු ද ඒ මහතාට ආදරය කරන ජනතාව, සහෝදර නාගරික මන්ත්‍රීවරුන්ද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු දේශපාලනඥයන්ද, ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ද පැමිණ සිටි ආකාරය දැකගත හැකි විය.

නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වා මහතා තවත් දෙදෙනකු සමඟ නිවස ඉදිරිපට කතා කරමින් සිටියදී පසුගිය 24 වැනිදා රාත්‍රි 8.45 ට පමණ ඝාතනයට ලක්‌විය.

මෙහිදී තවදුරටත් කථා කළ ක්‍රිකට්‌ ක්‍රීඩක ධනංජය ද සිල්වා මහතා මෙසේද කීය.

“වෙච්ච දේවල් දැන් හැමෝම දන්නවා. පොලිසියේ පරීක්‍ෂණ සිදුකරගෙන යනවා. අපේ ගෙදර තත්ත්වය නම් දුක්‌බරයි. මොකද තාත්තා තමයි ගෙදර හැමදේම කළේ. එයා තමයි මුල ඉඳන්ම මගේ පස්‌සෙන් හිටියේ. එයා අපේ ඉගෙනීමට වුනත් වැඩිය බලපෑම් කරන්න ගියේ නැහැ. මට ක්‍රිකට්‌ පැත්තෙන් ඉදිරියට යන්න පුළුවන් නිසා තාත්තා ඒ පැත්තෙන් තමයි ගොඩක්‌ම හිතුවේ. මාත් එක්‌ක තාත්තා හැම වෙලාවෙම සතුටින් කතා කළේ.

එයා මම ක්‍රීඩාකරන මැච් පවා බලන්න ආවා. හැම තාත්තා කෙනෙක්‌ වගේම මගේ තාත්තත් බොහොම සංතෝෂයෙන් හිටියා. තාත්තා බලාපොරොත්තුවුණු දේ ක්‍රිකට්‌වලින් මං කළා.

තාත්තා බලාපොරොත්තු වුණු දේ මං ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් ඉදිරියටම කරගෙන යන්නය බලාපොරොත්තව. මේ වගේ අවාසනාවන්ත දේවල් ඉදිරියටත් නොවෙන්න පාලකයින් වග බලා ගන්නවා නම් හොඳයි. මගේ රත්තරං තාත්තා නැතිවීම මට ගොඩක්‌ දුකයි.”

දේහය නිවසේ තැන්පත් කර තිබෙන අවස්‌ථාවේ ඥාතීහු පිරිසක්‌ විලාප තබමින් මෙසේ කීය.

“මේක වෙන කවුරුවත් නෙවෙයි කළේ මේක කළේ අංජු. ඌ තමයි මේ අපරාධය කළේ දෙයියනේ. මහතුන් අයියා ගල්කිස්‌ස පොලිසියට පැමිණිල්ලක්‌ කළා. වෙන කවුරුත් මේක කළේ නැහැ. පොලිසිය තාම අපරාධකාරයෝ අල්ලලා නැහැ. මේ අපරාධය කරපු ඔවුන්ට හෙන ගහන්න ඕනේ. රටක්‌ වටින මනුස්‌සයෙක්‌ මුං මේ මරාගත්තේ.”

මෙහිදි කතා කළ නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වා මහතාගේ වැඩිමහල් පුතු මෙන්ම දෙහිවල – ගල්කිස්‌ස හිටපු නාගරික මන්ත්‍රී සාවිත්‍ර ද සිල්වා මහතා මෙසේ කීය.

“මගේ ඉස්‌සරහම තමයි තාත්තට වෙඩි තිබ්බේ. තාත්තගේ ජීවිතය එතනම නැතිවුණා. මේ ගමේ හිටියා කුඩු ලන්සියා කියලා කුඩු ජාවාරම්කාරයෙක්‌. එයා ගල්කිස්‌ස උසාවිය ළඟදි වෙඩි කාලා මැරුණා. ඒ කුඩු ලන්සියාගේ මල්ලි රට ඉන්නවා කුඩු අංජු කියලා. ඒ “කුඩු අංජු” ගේ ගෝලයෙක්‌ සමඟ වෙසක්‌ දවසේ පොඩි ප්‍රශ්නයක්‌ ඇතිවුණා. ඊට පස්‌සේ මට ආරංචියක්‌ ආවා මටයි තාත්තටයි වෙඩි තියන්න කට්‌ටියක්‌ කැරකෙනවා කියලා.

මැයි දිනයෙන් පස්‌සේ දිනයේ අපි මේ ගැන ගල්කිස්‌ස එස්‌. එස්‌. පී ට ගිහින් පැමිණිලි කළා. එතනදි අපිට කිව්වා මේගොල්ලෝ දරුණු කුඩු ජාවාරම්කාරයෝ සල්ලිවලට මිනී මරන්න පුළුවන් ඔබතුමාලා පැමිණිලි කරනවද කියලා. අපි කිව්වා අපි පැමිණිල්ල කරනවා කියලා. මගේ තාත්තා එතනදිත් කිව්වා අනේ සර් මගේ පුතාට මේ අය මොනවා හරි කරයි ආරක්‌ෂා කරලා දෙන්න කියලත්. ඒ පැමිණිල්ල දාලා හරියට දවස්‌ විසි ගාණකට පස්‌සේ තමයි මගේ තාත්තව මැරුවේ.

“මම තාත්තගෙන් රුපියල් 100 ක්‌ ඉල්ල ගත්ත ෆොන් කාඩ් එකක්‌ ගන්න. ඒ කාඩ් එක අරන් ආපු ටිකටයි තාත්තට මේ දේ වුණේ. මේක කළේ කුඩු අංජු. වෙන කවුරුවත් නොවෙයි.

ඝාතනයට ලක්‌වූ නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (28 වැනිදා) සවස ගල්කිස්‌ස පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ එස්‌. පී. ආරියරත්න – රත්මලාන සහ, ධර්මසේන වැලිපිටිය

කාලයක්‌ මුහුණු පොතෙන් ආදර සබඳතාවක්‌ පවත්වාගෙන ගිය දාහතර හැවිරිදි පාසල් දැරියක්‌ මවුපියන්ට හොරෙන් එම දහනම හැවිරිදි පෙම්වතා සමඟ පැනගොස්‌ පෙම්සුව විඳිමින් සිටියදී කුරුණෑගල ගොකරැල්ල ප්‍රදේශයේදී වීරවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස්‌ පරීක්‍ෂණවලට අනුව මෙම සැකකාර තරුණයා සමඟ මුහුණු පොතෙන් ආදර සබඳතාවක්‌ පවත්වාගෙන ගිය තිස්‌සමහාරාම වීරවිල පොලිස්‌ බල ප්‍රදේශයෙහි පදිංචි පාසල් යන ලාබාල සිසුවියට තිස්‌සමහාරාම නගරයට එන්නැයි තරුණයා විසින් ආරාධනා කර තිබේ.

ඒ අනුව ඇය මවුපියන් රවටා පාසල් යන මුවාවෙන් තිස්‌සමහාරාම නගරයට පැමිණ සැකකරු හමුවී තිබේ.

එහිදී ආදරවන්තයාගේ ඉල්ලීමට අනුව ඇය ඔහුත් සමඟ ආදරවන්තයාගේ ගම් ප්‍රදේශය වන කුරුණෑගල ගොකරැල්ල ප්‍රදේශයට ගොස්‌ ඇත.

මේ අතර උදැසන පාසල් ගිය තම දියණිය සවස්‌වන තුරු නිවසට නොපැමිණීම නිසා ඇයගේ පියා විසින් තිස්‌සමහාරාම වීරවිල පොලිසියට පැමිණිලි කර තිබේ.

එම පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ වීරවිල පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක කුමුදු තුෂාර මහතාගේ මූලිකත්වයෙන් පවත්වන ලද විශේෂ පොලිස්‌ පරීක්‍ෂණයේදී අනාවරණය වී ඇත්තේ අතුරුදන් වූ දැරිය කුරුණෑගල ප්‍රදේශයෙහි තරුණයකු සමඟ ප්‍රේම සබඳතාවක්‌ පවත්වාගෙන ගිය බවය.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ වීරවිල පොලිසිය මාතර හා තංගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති විජිත ගුණරත්න මහතාගේ, තංගල්ල පොලිස්‌ කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි ලක්‌සිරි ගීතාල් මහතාගේ හා හම්බන්තොට සහකාර පොලිස්‌ අධිකාරිවරයාගේ උපදෙස්‌ මත වීරවිල පොලිස්‌ ස්‌ථානාධිපති කුමුදු තුෂාර මහතාගේ අධීක්‍ෂණය යටතේ කුරුණෑගල ගොකරැල්ල ප්‍රදේශයට පොලිස්‌ නිලධාරීන් කිහිප දෙනකු යවා අතුරුදන්වූ පාසල් පෙම්වතිය සහ සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගත් ඔවුන් තිස්‌සමහාරාම මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. වීරවිල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

දෙබරවැව – ඒ. ඒ. පේමසිරි

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button