පළකල දිනය : Thu, May 31st, 2018

කහඉර මත පුද්ගලයෙකුට ජීවිතය අහිමි කරමින් පලා ගිය රියදුරා අල්ලා ගත්හැටි !

මහරගම නගර සභාවේ සේවය කල ආරක්‍ෂක නිලධාරියකු නගර සභාව ඉදිරිපිට ඇති පදික මාරුවෙන් පාර මාරු වෙමින් සිටියදී මෝටර් රථයක්‌ ඔහුව හප්පා දමා පළාගොස් තිබෙනවා.

කෙසේ නමුත් එම අදාල මෝටර් රථය පසුපස හඹා ගොස් මාර්ගය හරස් කර සැකකාර රියදුරුව අල්ලා ගැනීමට තවත් රියදුරෙකු සමත් වී තිබෙනවා.

එම අනතුරින් බරපතළ තුවාල ලබා සිටි මහරගම නගර සභාවේ සේවයේ කල ආරක්‍ෂක නිලධාරියා කළුබෝවිල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබූ අතර ඒ වන විටත් ඔහු මියගොස් තිබූ බවයි මහරගම පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කලේ.

සිද්ධියෙන් මිය ගිය පුද්ගලයා බොරලැස්‌ගමුව, අබේරත්න මාවතේ පළවෙනි පටුමගේ පදිංචිව සිටි අලුත්ගේ දොන් සමන් නමැති 50 හැවිරිදි අයෙක්.

මියගිය ආරක්‍ෂක නිලධාරියා මහරගම නගර සභාව ඉදිරිපිට හයිලෙවල් මාර්ගයේ පදික මාරුවෙන් පාර මාරුවන අවස්ථාවේදී කොට්‌ටාව දෙස සිට කොළඹ දෙසට අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක්‌ ඔහු හප්පා දමා පලා යන අවස්ථාවේදී පසුපසින් පැමිණි මෝටර් රථයේ රියෑදුරු පලායමින් තිබූ මෝටර් රථය පසුපස පන්නා ගොස්‌ මහරගම බස්‌ නැවතුම අසල පිහිටි බෝගහ අසලදී පලායමින් තිබූ මෝටර් රථයට වැදෙන ලෙස සිය රථය මග හරස්‌ කර නවතා තිබෙනවා.

ඉන් අනතුරුව පලායමින් සිටි රියදුරුව පිටතට ගත් අනෙක්‌ රියදුරා ඔහුගේ රථයෙන්ම නංවාගෙන ගොස්‌ පොලිසියට භාරදී තිබෙනවා. එහිදී සැකකාර රියදුරා පරීක්ෂා කරන අවස්ථාවේදී ඔහු අධික ලෙස මත්පැන් පානය කර තිබූ බවයි පොලිසිය පැවසූවේ.

සැකකාර මෝටර් රථ රියදුරා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ගංගොඩවිල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙන අතර අනතුර සිදුකර පලාගිය මෝටර් රථ රියෑදුරු අල්ලා පොලිසියට භාරදී ඇති කරුපයියා නිර්ලම්චන්දන් නමැති පුද්ගලයා පොලීසියේ ඇගයීමට ලක්ව තිබුණා.

වර්තමානයේ බොහෝ රියදුරන් අනතුරක්‌ වූ අවස්ථාවක ඒ සම්බන්ධයෙන් සාක්‍ෂි දීමට ඉදිරිපත් නොවන යුගයක මෙම ද්‍රවිඩ ජාතික පුද්ගලයා සිදුකළ එඩිතර මෙහෙය අගය කළ යුතු බවයි මහරගම පොලිසියේ රථවාහන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක බුද්ධික අබේකෝන් එහිදී සඳහන් කලේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button