පළකල දිනය : Sat, Jun 2nd, 2018

වකුගඩු රෝගය ගැන පර්යේෂණ කළ ශ්‍රී ලාංකිකයන්ට පහර දෙන්න කුමන්ත්‍රණයක් !

ශ්‍රී ලංකාව ඇතුළු ඝර්ම කලාපීය රටවල කෘෂිකාර්මික ජනප්‍රජාව අතර පැතිර යන වකුගඩු රෝගයට ඇමරිකාවේ මොන්සැන්ටෝ සමාගම නිෂ්පාදනය කරන කෘෂිරසායන හේතුවන බව පෙන්වා දුන් ශ්‍රී ලාංකික පර්යේෂකයන්ට සහ ඔවුන්ගේ පර්යේෂණවලට අපහාස කිරීමට මොන්සැන්ටෝ සමාගම 2014 වසරේ සිට ව්‍යාපෘතියක් දියත් කළ බව “කැරේ ගිලාම්” නම් ගවේෂණශීලී ජනමාධ්‍යවේදිනියක් පළ කල “ වයිට් වොෂ්” නම් කෘතියෙන් හෙළි කර ඇත. මේ සම්බන්ධයෙන් අනාවරණයක් කරන මහාචාර්ය චන්න ජයසුමන මහතා සිය ෆේස්බුක් පිටුවේ තබා තිබු සටහන පහත දැක් වේ.

බිංකුන්ඩෝ, බිංකුන්ඩෝ, මොන්සැන්ටෝ මොන්සැන්ටෝ…

මාගේ ආචාර්ය උපාධියේ අධීක්ෂකවරයෙක් වූ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය සරත් ගුණතිලක මහතා මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ගුණතිලකයෝ බෝධිසත්ව ගුණ ඇති සත්පුරුෂයෙකි.

හෙතෙම පුරුද්දක් වශයෙන් වසර අවසානයේ සති කිහිපයකට ලංකාවට පැමිණේ. පවුලේ කටයුත්තක් සඳහා එතුමා දින කිහිපයකට මෙවර වසර මැද පැමිණ ඇත. පැමිණි දිනම ඇමතුමක් ගත් එතුමා මා හමුවන්නට අවශ්‍ය බවත් “වටිනා බඩුවක්” රැගෙන ආ බවත් පැවසීය.

එතුමා ලංකාවට පැමිණෙන සෑම විටකම ඉස්තරම්ම වර්ගයේ චොක්ලට් එකක් නොවරදවා මා වෙනුවෙන් රැගෙන එයි. මෙවර එතුමා බැහැ දැක ගැනීමට ගිය මට සුපුරුදු චොක්ලට්වලට අමතරව වටිනා බඩුවක් ලැබිණ. ඒ මෑතකදී ඇමරිකාවේ පළ වූ පොතකි. පොතේ නම “වයිට් වොෂ්” ය. කතුවරයා “කැරේ ගිලාම්” නම් කන්සාස් හි වෙසෙන ගවේෂණශීලී ජනමාධ්‍යවේදිනියකි. ඇය විකිලීක්ස් නිර්මාණය කළ ජුලියන් අසාන්ජ් පන්නයේ මාධ්‍යවේදිනියක ලෙස ප්‍රකටය.

පොත ලොව කෘෂිරසායන දැවැන්තයකු වන ඇමරිකාවේ මොන්සැන්ටෝ සමාගම ගැනයි, ග්ලයිපොසේට් නිෂ්පාදකයා ගැනයි; ඔවුන්ගේ නොපෙනත් කම් ගැනයි; විද්‍යාඥයන් නමින් පෙනී සිටින ඇතැමුන් පාවිච්චි කරන ආකාරය ගැනයි, විද්‍යාවේ නාමයෙන් කරන තුප්පහි වැඩ ගැනයි.

වැදගත්ම කරුණ නම් පොතේ 6 වන පරිච්ජේදයේ සහ තවත් තැන් ගණනාවක අප ගැනත් සඳහන් වීමයි. පොතේ හැටියට මෑත කාලයේ මොන්සැන්ටෝ සමාගමට වැඩිම අභියෝගයක් වූ පර්යේෂණ පත්‍රිකා 2 කි. එකක් ප්‍රංශයේ මහාචාර්ය සෙරලිනි ඇතුළු කණ්ඩායමේ පත්‍රිකාවයි.

අනෙක අප 2014 වර්ෂයේ ස්විට්සර්ලන්ත සඟරාවක පළ කළ පත්‍රිකාවයි. මහාචාර්ය සෙරලිනිගේ පත්‍රිකාව පළ වූ පසු මොන්සැන්ටෝ සමාගමේ ඉහල නිලධාරීන් එක්ව කුමන්ත්‍රණය කළ ආකාරය ඔවුන්ගේ විද්‍යුත් තැපැල් පණිවිඩ හොර රහසේ කියවා ගිලාම් එකෙන් එක හෙළිදරව් කර ඇත. අන්තිමට මහාචාර්ය සෙරලිනිගේ පත්‍රිකාව එම මුල් සගරාවෙන් ඉවත් කෙරුණි (පසුව එය වෙනත් සඟරාවක පළ විය).

මේ කටයතු මොන්සැන්ටෝ වෙනුවෙන් මෙහෙයවා ඇත්තේ රිචඩ් ගුඩ්මෑන් නමැති පුද්ගලයෙකි. පොතේ පිටුවේ සඳහන්වන පරිදි අපේ පත්‍රිකාව පළ වූ පසු ගුඩ්මෑන් නිකම් සිට නැත. ඔහු මොන්සැන්ටෝ සමාගමේ ආහාර ආරක්ෂණය පිලිබඳ අංශ ප්‍රධාන “ජෝන් විසිනි” නැමැත්තාට අපට පහර දීම පවරා ඇත. ගිලාම් ලබා ගත් ඊ මේල් පණිවිඩ අනුව ගුඩ්මෑන් අපේ පත්‍රිකාව හඳුන්වා ඇත්තේ “anti-paper” යනුවෙනි.

පොතේ කියවෙන අයුරට අපේ අධ්‍යයනයට අවලාද නැගීමට, එය පහලට දැමීමට, අපහාස කිරීමට, වකුගඩු රෝගයට ග්ලයිපොසේට් රසායනයේ සම්බන්ධයක් නැතිබව පැවසීමට මොන්සැන්ටෝ සමාගම සක්‍රීය ලෙස ව්‍යාපෘතියක් දියත් කර ඇත. ඒ සඳහා විවිධ පුද්ගලයන් මොන්සැන්ටෝව යොදා ගත් බව ද පොතේ දැක්වේ.

කොටින්ම මොන්සැන්ටෝව අපට හොඳින් සලකා ඇත. දැන් වසර කිහිපයක සිට ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල මහාචාර්යවරු තිදෙනෙක්, කැනඩාවේ වාසය කරන සිංහල නම් ඇති මහාචාර්යවරයෙක්, උසස් පාසලක ගුරුවරයෙක් කියා ගන්නා පුද්ගලයෙක් සහ තවත් කිහිප දෙනෙක් මට සහ අප පර්යේෂණයට දායක වූ උදව් උපකාර කළ අයට නොසෑහෙන්න බැන වදී; පුවත්පත්වලට ලිපි පිට ලිපි ලියයි, රැස්වීම් සංවිධානය කර බැන බැන යයි.

කොටින්ම උපාධි ප්‍රධානෝත්සවයක කතාවක් ලැබුනත් එය හෝ යොදා ගෙන හීන් නූලේ අපට රිදවන්නට බලයි. මගේ උපාධියට, ආචාර්ය උපාධියට එහි අධීක්ෂකවරුන්ට පට්ටපල් බොරු ගොතමින් අපහාස කරයි. ලංකාවේ සිටින හිමිජ්ජන් පිරිසක් “බේස් කෑම්ප්” නම් අට මගුලක් අටවා අපට පහර නින්දා කිරීමට අවශ්‍ය වේදිකාව සකසා දී ඇත.

මොන අපහාස කළත් ග්ලයිපොසේට් නැතුව ශ්‍රී ලංකාව ට පැවැත්මක් නැතැයි හඟවන අපේම අපේ මහාචාර්යවරු මොන්සැන්ටෝව සමග සම්බන්ධයැයි මම නම් නොසිතමි. අපේ රට ගැන ඇති අවංක ආදර කැක්කුම මිසක වෙනත් හේතුවක් ඔවුනට වේයැයි මමනම් සිහිනෙකින්වත් නොසිතමි.

අපට පහර ගසන්නට මොන්සැන්ටෝව යොදා ගත් බත්බැලයන් කවුද යන්න පොතේ නම්වලින් දක්වා නැත. එහෙත් කැරේ ගිලාම් මහත්මිය සතු ඊ මේල් පණිවිඩවල ඒ පුද්ගලයන් කවුදැයි සහ ඔවුන්ට ගෙවීම් කල ආකාරය, පර්යේෂණ අරමුදල් නමින් සන්තෝෂම් පිරි නැමූ ආකාරය සඳහන් වන බව අපි දැනුවත් වීමු.

අපට ඒ ගැන තොරතුරු හෙළි කිරීමට හදිසියක්ද නැත. දැන් රටේ මිනිසුන් බලා සිටින්නේ ඇලෝසියස්ගෙන් මුදල් ගත් 118 දෙනා හෙළිදරව් වන තෙක්ය. ඊට පසු හොඳ වෙලාවක් බලා මොන්සැන්ටෝ බිංකුන්ඩන්ව හෙළි කරමු. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටය.

– චන්න ජයසුමන

Comments පලකිරීමට පහතට යන්න


Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Back to Top Button