පළකල දිනය : Mon, Jun 4th, 2018

“මැරෙන්න කලින් මාර්ග ඵලයක් ලබාගත්තොත් ඇති” ප්‍රවීණ ශිල්පිනිය අලුත් වැඩකට !

ඔබේ අලුත්ම කලා කටයුතු ගැන අපි මුලින්ම දැන ගන්න කැමතියි?
ඒ ගැන කියන්නට තිබෙන අලුත්ම ආරංචිය තමයි අලුත් චිත්‍රපටයක සංගීත අධ්‍යක්ෂණ කටයුතු මට බාර වෙලා තිබෙනවා කියන කාරණය. ඒ චිත්‍රපටයට තවම නමක් නම් යොදලා නැහැ.

සෑහෙන කාලයකට පස්සෙයි මම චිත්‍රපටයක සංගීත අධ්‍යක්ෂණය බාරගත්තේ. මේ වෙන කොටත් මම එහි වැඩ ආරම්භ කරලයි තියෙන්නේ. ඊට අමතරව සංගීත පන්ති පවත්වන එක තමයි මම මේ දිනවල කරන්නේ.

ප්‍රවීණ ගායන ශිල්පිනියක් විදිහට දැන හඳුනාගෙන සිටියාට සංගීත අධ්‍යක්ෂවරියක් ලෙස ඔබව බොහෝ අය හඳුනන්නේ නැහැ කීවොත් නිවැරදියි නේද?
ඒක ඇත්ත. මම මීට කලින් චිත්‍රපට දෙකක විතරයි සංගීත අධ්‍යක්ෂවරිය විදිහට කටයුතු කරලා තියෙන්නේ. ඒ 70 දශකයේ තිරගත වූ සඳ කුමරි සහ හරියට හරි කියන චිත්‍රපටවල. ගීත ගායනයට මුල් තැන දීපු නිසා සංගීත අධ්‍යක්ෂණ කටයුතු මට ටිකක් මගහැරුණා. අනික මම කවදාවත් මට වැඩක් දෙන්න කියලා ඉල්ලලා කාගෙවත් පස්සෙන් ගියපු කෙනෙක් ‍නෙවෙයි.

ඔබ, ලංකාවේ ගීත කලාව ගැන කතා කරද්දී කිසිසේත්ම අමතක කරන්න බැරි ගායන ශිල්පිනියක්. ඒ විතරක් ‍නෙවෙයි ඔබ රට වෙනුවෙන් දිවි පිදු විරෝදාර හමුදා නිලධාරියකුගේ ආදරණීය අම්මා කෙනෙක්. පසුගිය දිනවල පැවැත්වුණු බොහෝ රණවිරු සමරු උළෙලවලත් ඉදිරිපසින්ම ඔබේ රුවත් දැක ගන්නට ලැබුණා?
රටේ කොතැනක රණවිරු උපහාර උළෙලක් පැවැත්වෙනවා කියලා ආරංචි වුණොත් ලෙඩක් දුකක් නැත්නම් මම ඒවාට අනිවාර්යයෙන්ම සහභාගි වෙනවා.

අපේ රටේ පැවැති ත්‍රස්තවාදය මගේ පුතා බිලි ගත්තා. හැබැයි අම්මා කෙනෙක් විදිහට මම මගේ පුතා ගැන විතරක් හිතලා ‍නෙවෙයි මේ රණවිරු සැමරුම් උත්සවවලට සහභාගි වෙන්නේ. ඒ ත්‍රස්තවාදයෙන් රට බේරා ගැනීම ගැන සමස්ත රණවිරුවන්ට අපි හැමෝම ණය ගැති නිසයි.

ඔබට ඒ හැඟීම අන් අයට වඩා තදින්ම දැනෙන්න ඔබේ පුතාගේ අභාවයත් විශාල වශයෙන් බලපාන්න ඇති. එහෙම නේද?
ඔව්. මට හිටියේ පුතාලා තුන් දෙනෙක්. මගේ දෙවැනි පුතා චානක සංජීව අත්තනායක තමයි 1992 වසරේදී කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයකින් මියගියේ. අපේ පවු‍ලේ හුඟක් දෙනා ආරක්ෂක අංශවල සේවය කරපු නිසා පුතා පුංචි කා‍ලේ ඉඳන්ම හමුදා නිල ඇඳුමට හරිම ආසාවෙන් හිටියේ.

මම හිතන්නේ තමන්ගේ රටට පුතාගේ තිබුණු ආදරය එයා උපතින්ම ගෙනාපු දෙයක් වෙන්න ඇති. පුතා හමුදාවට බැඳෙනවට එයාගේ තාත්තාගේ කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. තාත්තාට හොරෙනුයි පුතා හමුදාවට බැඳෙන්න ඉල්ලුම් පත්‍රය දැම්මේ.

1988 දී හමුදාවට බැඳිලා ඉක්මනින්ම දක්ෂතා පෙන්වලා 1992 වෙද්දී පුතා ඉහළම තැනකට ආවා. ජය සිකුරු වගේ මෙහෙයුම්වලත් ඉදිරියෙන්ම හිටපු මගේ පුතා කවදාවත් මරණයට බය වුණු කෙනෙක් ‍නෙවෙයි. 1992 අවුරුද්දේ හමුදාවේ 26 දෙනෙක් මියගිය පුනරින් කොටි ප්‍රහාරයෙන් තමයි මගේ පුතාත් අවසන් හුස්ම හෙළුවේ.

ඒ අනපේක්ෂිත සිදුවීම ඔබේ සංගීත ජීවිතයට බලපෑවේ කොහොමද?
ඒ ප්‍රහාරය වෙලාවේ මම හිටියේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පැවැත්වුණු ප්‍රසංගයක ගී ගයමින්. පුතා කොටි ප්‍රහාරයෙන් තුවාල ලබලා කියලා තමයි මුලින් හැමෝම මට කිව්වේ. ලංකාවට ආවාට පස්සේ මම ගියපු කාර් එක රෝහල පැත්තට නොයා අපේ කැලණියේ ගෙදර පැත්තට හරවපු වෙලාවේ තමයි මම පුතාට ඇත්තටම වෙලා තියෙන්නේ මොකක්ද කියලා දැන ගත්තේ.

ඒ වෙලාවේ මම විලාප දීලා අඬන්නේ නැතුව ඒ මහා දුක මම නිහඬව දරා ගත්තා. එහි ප්‍රතිඵලයක් විදිහට මගේ උගුරේ ආබාධයක් ඇති වුණා. ඇමෙරිකාව, එංගලන්තය, ඉන්දියාව වගේ රටවලට ගිහින් ප්‍රතිකාර කළත්, ඒ වෛද්‍යවරුන්ටත් බැරි වුණා ඒ ආබාධයට හේතුව හොයාගන්න. ඒක මානසිකව ඇති වෙච්ච දෙයක් කියලා තමයි ඒ අය තීරණය කළේ. පස්සේ මට උපදෙස් ලැබුණා භාවනා කරන්න කියලා. මම භාවනා කළා.

භාවනාවෙන් මට තරමක සුවයක් ලැබුණා. පුතාගේ වියෝවෙන් පස්සේ මම අවුරුදු 20ක් ගීත ගායනා නොකර හිටියා. එහෙම ඉඳලා 2013 අවුරුද්දේ තමයි මම මුලින්ම ප්‍රසංගයක් පැවැත්වූයේ. ඒත් ඉස්සර වගේ ගීත දහයක් දොළහක් එක දිගට ගායනා කරන්න අදටත් මට බැහැ. මගේ ගීත මම ගායනා නොකළාට වෙන කොච්චර අය ඒ ගීත අද ගායනා කරනවද?

ඒ විදිහට වෙනත් ගායිකාවක් ඔබේ ගීත ගායනා කිරීම ගැන ඔබට තියෙන්නේ මොන විදියේ හැඟීමක්ද?
මගේ ගීත විකෘති කරනවා මිස කවුරුවත් ඒවා හරියට ගායනා කරනවා කියලා පේන්න නැහැ. හින්දි ගීත පවා අපි ඉස්සර හොඳට අහගෙන ඉඳලයි ගායනා කළේ. ඒත් දැන් ඉන්න ගායිකාවෝ අපේ ගීතවත් හරියට අහලා නොවෙයි ගායනා කරන්නේ. ඇත්තටම කිව්වොත් ඒවා ගායනා කරනවා කියන වචනය භාවිතා කරන්නත් බැහැ.

මම මේ කියන්නේ ගායන ක්ෂේත්‍රයට ආධුනික අය ගැන නොවෙයි. ආධුනිකයෙක් නම් ගායනා තරගයකදී මගේ ගීතයක් ගායනා කළාට මගේ විරුද්ධත්වයක් නැහැ. ඒත් සංගීත ක්ෂේත්‍රයේ දැනට ඉන්නා සමහර ප්‍රසිද්ධ ගායිකාවෝ මගේ ගීත ප්‍රසංගවලදී ගායනා කරලා මුදල් හම්බ කරගන්නවා විතරක් ‍නෙවෙයි ඒ ගීත ඇතුළත් කරලා සී.ඩී. තැටි පවා ගහනවා. කිසිම ගුණ ධර්මයක් නැතිකම සහ විළිබියක් නැතිකම විදිහට තමයි මම ඒ දේවල් දකින්නේ.

ඔබේ ගීත විකෘති කරන අයට විරුද්ධව කිසියම් පියවරක් ගන්න හිතුවේ නැද්ද?
මේ ගැන සඳහන් කරලා මම සංස්කෘතික දෙපාර්තමේන්තුවටත් සෑහෙන ලිපි යවලා තියෙනවා. වෙනත් අය ගායනා කරන මගේ ගීත ප්‍රචාරය කරන්න එපා කියලා මාධ්‍ය නාලිකාවලටත් ලිපි මගින් දැනුම් දීලා තියෙනවා. ඒත් ඒ දේවල් තවම නතර වෙලා නම් නැහැ. මොකද ලංකාවේ ගීතවල අයිතිය සම්බන්ධයෙන් තවමත් හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

මේ කියන ගැටලුව ඔබට හුඟක්ම බලපාලා තියෙන්නේ ඔබ ජනප්‍රිය ගීත රැසක් හිමි ගායිකාවක් නිසා වෙන්න ඇති නේද?
මම ගීත පන්දහසකට වැඩිය ගායනා කරලා තියෙනවා. ඒ සමහර ගීත බොහෝ දෙනා අහලා නැහැ. මාධ්‍ය හරහා ඒවා ප්‍රචාරය නොවෙන නිසා හුඟක් අය දන්නේවත් නැතුව ඇති මම එච්චර ගීත සංඛ්‍යාවක් ගායනා කරලා තියෙනවා කියලා.

අනික මගෙන් මොනවා හරි ඇහුවොත් පිළිතුරු දෙනවා මිස මම මාධ්‍යවලින් වුණත් මගේ නිර්මාණ සඳහා ප්‍රචාරයක් කවදාවත් බලා‍පොරොත්තු වෙන්නේ නැහැ. මගේ සමකාලීන සමහර ගායිකාවෝ හිටියා තමන් කරන හැම ගීතයක් වෙනුවෙන්ම මාධ්‍ය පස්සේ ගිහින් ඒකට ප්‍රචාරය ලබාගත්තු. හැබැයි එහෙම නොකළායින් සමහර වෙලාවට මට අවාසියක් සිද්ධ වුණත් මම මගේ ප්‍රතිපත්ති කවදාවත් වෙනස් කළේ නැහැ.

ඔබ දැන් මිත්තනියක්, ජීවිතයේ ඉදිරි ගමන දිහා ඔබ දැන් බලන්නේ මොන විදියටද?
ඇත්තටම ඉදිරිය ගැන නම් මට වෙන කිසිම බලා‍පොරොත්තුවක් නැහැ. බෞද්ධයෙක් විදිහට මැරෙන්න කලින් කිසියම් මාර්ග ඵලයක් අත්පත් කර ගැනීම විතරයි මගේ දැන් එකම බලා‍පොරොත්තුව විදියට තියෙන්නේ.

– කිෂාන් කනංකෙ

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button