පළකල දිනය : Mon, Jun 4th, 2018

වෛද්‍ය විද්‍යාවට අලුත් කවුළුවක් – මරණින් පසු ඔබේ සිරුරත් අති මහත් ප්‍රයෝජනවත් වැඩකට !

මිනිසාට වැළඳෙන විවිධ රෝගාබාධ සඳහා ප්‍රතිකාර කර ඔහු සුවපත් කිරීම වෛද්‍යවරයෙකුගේ ප්‍රධානතම කාර්යභාරයයි.

එය සාර්ථකව සිදු කිරීම පිණිස මිනිස් සිරුරේ අභ්‍යන්තර ව්‍යුහය හා ඒවාහි ක්‍රියාකාරීත්වය පිළිබඳ පැහැදිලි අවබෝධයක් වෛද්‍යවරයකුට තිබිය යුතුය.

ජීවත්ව සිටින පුද්ගලයකුගේ ශරීර අභයන්තර අවයව පිටතට ගෙන ඒවා පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම ප්‍රායෝගිකව කළ නොහැකි අතර ඒ සඳහා පිහිටට එන්නේ මියගිය පුද්ගලයින්ය.

මළ මිනිසුන්ගේ සිරුරු විවෘත කර ඒවා හිහදවත,අක්මාව,අන්ත්‍ර,පෙනහලු,අග්න්‍යාශය,පිත්තාශය,ගර්භාෂය,වකුගඩු ඇතුළු සෑම අවයව කොටසකම ක්‍රියාකාරීත්වය අධ්‍යනය කරමින් පුද්ගලයකුට ජීවිය දෙන්නට වෛද්‍යවරු කටයුතු කරන්නේ කායව්‍යවච්ඡේද විද්‍යාව (Anotomy) තුළින් ලබන දැනුම ඔස්සේය.

ජීවියාගේ දේහ ව්‍යුහය පිළිබඳ විද්‍යාත්මකව අධ්‍යනය කිරීම මෙම විෂය තුළින් සිදු කෙරෙන නිසාම එය වෛද්‍ය විද්‍යාව හා ඓතිහාසිකව බැඳී පවතින විෂයක් බවට පත්ව තිබේ.

වසර 30000 කට ප්‍රථම ගල් යුගයේ විසූ ආදි මිනිසා ගල් ගුහා තුළ ඇඳ තිබෙන සත්ත්ව රූප හා ශරීර කොටස්වල රූප මගින් ඔවුනට ශරීර කොටස් පිළිබඳ තිබූ අවබෝධය මනාව විදහා දැක්වෙයි.පැරණි ඊජිප්තු ශිෂ්ටාචාරයේදී ලියවුණු එඩ්වින් ස්මිත් ශල්‍ය වෛද්‍ය පැපිරසිය (ක්‍රි.පූ 1600) හි හෘදය,රුධිර නාළ, ප්ලිහාව, වකුගඩු,අක්මාව,ගර්භාෂය සහ මුත්‍රාශය වැනි අවයවයන්හි ව්‍යුහය හා ඒවාහි කෘත්‍යයන් විස්තර කර ඇත.

ඊජිප්තු සමය තුළ මෘත දේහ සංරක්ෂණය (මමිකරණය) ඔස්සේ මිනිස් සිරුරේ ව්‍යුහය පිළිබඳව ඔවුන් තුළ වූ දැනුම පෙන්නුම් කෙරෙයි.මේ ආකාර ඉතිහාසයක් ඇති මෙම විෂය පිළිබඳ සාමාන්‍ය ජනතාවද විශාල උනන්දුවක් දක්වයි.විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ මගින් වසර පහකට හෝ දහයකට වරක් සංවිධානය කරනු ලබන වෛද්‍ය ප්‍රදර්ශනවලදී ජනතාවගේ වැඩිම ආකර්ෂනය කාය ව්‍යවච්ඡේද විද්‍යාව සම්බන්ධ අංශය කෙරෙහි යොමු වීමෙන් එය මනාව පැහැදිලි වෙයි.

මිනිස් සිරුරේ අභ්‍යන්තර අවයව හා ඒවාහි ක්‍රියාකාරීත්වයේ ස්භාවය දැක ගන්නට මිනිසා දක්වන උන්න්දුව පිළිබඳව අප පුදුම නොවිය යුත්තේ ඒවා තම ශරීරය තුළ තැන්පත්ව තිබුණත් සියැසින් දැක ගන්නට කිසිවකුට වරම් නොලැබෙන නිසාය.

මිනිස් සිරුරු ඖෂධවල ගිල්වා සංරක්ෂණය කෙරෙන අයුරුත් ශරීර අභ්‍යන්තර අවයවයන්ගේ ස්වභාවයත් පිළිබඳ දැන් ඔබට වෛද්‍ය ප්‍රදර්ශනයක් පැවැත්වෙන තුරු නොසිට දැක ගැනීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය අවස්ථාව උදාකරදී තිබේ.ඒ දේශීය විශ්වවිද්‍යාලයක් සතු කායව්‍යවච්ඡේදය පිළිබද මුල්ම විධිමත් කෞතුකාරය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කාය ව්‍යවච්ඡේද දෙපාර්තුමේන්තු පරිශ්‍රයේදී විවෘත කරමිනි.

මෙම කෞතුකාගාරය වෛද්‍ය සිසුන්ගේ හා පශ්චාත් වෛද්‍ය උපාධි හදාරන සිසුන්ගේ අධ්‍යන කටයුතුවලට මෙන්ම ජීව විද්‍යාව හදාරන සියලුම සිසුන්ටත් ප්‍රයෝජනවත් වෙනවා.සාමාන්‍ය ජනතාවටද මිනිස් සිරුර හා එහි කොටස් සියැසින්ම දැක ගැනීමට හා ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.මෘත දේහ පිළිබඳ ව්‍යවච්ඡේදන නැරඹීම සඳහා සාමාන්‍යය ජනතාවටත් පාසල් සිසුන්ටත් අවස්ථාව සැලසෙන්නේ වෛද්‍ය ප්‍රදර්ශන වලදී පමණයි.

කෞතුකාගාරය විවෘත කිරීමත් සමඟ අවශ්‍යය ඕනෑම අවස්ථාවක අවසරයක් ලබාගෙන කෞතුකාගාරය නැරඹීමේ අවකාශ සලසා තිබෙනවා.ඇත්තටම විශ්වවිද්‍යාලයක් මගින් රටට උගතුන් බිහිකරන අතරම විවිධ පර්යේෂණ ඔස්සේ නව සොයා ගැනීම් ඇතුළු රටේ සුබ සිද්ධියට අදාළ විශාල කාර්යභාරයක් කරනවා.මේකත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් සිදුකරනු ලබන ජනතා මෙහෙවරෙහි එක් කොටසක්…උපකුලපති මහචාර්ය උපුල් දිසානායක මහතා පවසයි.

ව්‍යවච්ඡේද විද්‍යාව හා අන්වීක්ෂීය ව්‍යවච්ඡේද විද්‍යාව වශයෙන් මානව කායව්‍යච්ඡේදවේදය මූලික කොටස් දෙකකට බෙදෙන අතර උසස් පෙළ හදාරන සිසුන් බොහෝ අවස්ථාවලදී සිය අධ්‍යයන කටයුතු සිදුකරනුයේ ප්‍රායෝගික නොව ඡායාරූප හා වීඩියෝ දර්ශන අධ්‍යයනය කිරීමෙනි.උස්ස් පෙළ ජීව විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලබන සිසු දරුවන්ට මින් ලබාගත හැකි ප්‍රයෝජන අතිමහත්ය.

වෛද්‍යවරයකු වීමේ අපේක්ෂාවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුන්ගේ දැනුම ඔප දැමීම පිණිස අවශ්‍ය මළ සිරුරු සතියකට තුනක් පමණ කායව්‍යච්ඡේද දෙපාර්තුමේන්තුවට ලැබෙන බව එහි අංශාධිපති වෛද්‍ය ජයන්ති දිසානායක මහත්මිය පවසයි.වර්ෂ 1962 දී ආරම්භ කරන ලද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ කායව්‍යච්ඡේද අංශය මගින් මේ වන විට යාපනය,නැගෙනහිර,රජරට,සබරගමුව,වයඹ වැනි විශ්වවිද්‍යාල රැසක වෛද්‍ය පීඨ සඳහා මෘත ශරීර සැපයීම සිදුකරයි.

මුල්කාලේ කොළඹ විශ්ව විද්‍යාලයෙන් තමයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන්ට ශරීර අවයව පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබා දෙන්න අවයව ගෙනවිත් තිබෙන්නේ.දැන් ඇත්තටම පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉතාමත් හොඳ මට්ටමකින් මෙම අංශය පවත්වා ගෙන යනවා.

සතියකට මළ සිරුරු සාමාන්‍යයෙන් තුනක් පමණ අපට ලැබෙනවා.දැන් කලක පටන් එම සංඛ්‍යාව එකක් හෝ දෙකක් දක්වා අඩුවී තිබෙනවා.විශ්වවිද්‍යාලවල පවතින වැඩවර්ජන වගේ හේතුන් මෙයට බලපා තිබෙනවා.දැනට මළ සිරුරු 40 ක පමණ සංඛ්‍යාවක් ඒකකයේ තිබෙනවා.මළ සිරුරු සංරක්ෂණය කිරීමේ පහසුක්ම තිබෙන නිසා අවශ්‍යය ඕනෑම අවස්ථාවක මළ සිරුරු බාර ගන්න අපි සූදානම් යැයි වෛද්‍ය ජයන්ති දිසානායක මහත්මිය කියයි.

මියගිය පුද්ගලයාගේ ශරීර කොටස් අධ්‍යන්‍යය කරලා වෛද්‍ය සිසුන් ඉගෙන ගන්නේ ජීවත්ව සිටින අයෙකු මරණයෙන් බේරා ගැනීමටය.කායව්‍යවච්ඡේද අංශයට මළ සිරුරක් බාර දීමට නම් සැපිරිය යුතු කොන්දේසි ගණනාවක්ද තිබේ.මියගිය පුද්ගලයා වයස අවුරුදු 18 ඉක්මවූ අයෙකු විය යුතුය.එසේම ඔහුගේ ශරීරයේ ප්‍රධානතම අවයව සියල්ල මරණයෙන් පසුද ශරීරය තුළ පෙර ආකාරයට පිහිටා තිබීම වැදගත්ය.

කුඩා ළමයිගේ ගේ මළ සිරුරු යම් යම් සලකා බැලීම් මත බාර ගන්නා බව ජයන්ති දිසානායක මහත්මිය ප්‍රකාශ කරයි.විශ්වවිද්‍යාලයට මළ සිරුරක් බාර ගන්නකොට එම්බාම් කරන විශේෂ ක්‍රමයක් තිබෙනවා.ඒ නිසා මියගිය විගස ඒ පිළිබඳ අපට දැනුම් දීම වැදගත්. අපි මේ දෙපාර්තුමේන්තුවෙන් මිනී පෙට්ටියක් සපයලා එම්බාම් එකත් කරනවා.අවුරුදු ගණනාවක් අපි මළ සිරුරක් තියාගෙන ඒකෙන් ගොඩක් දේ ඉගෙන ගන්නවා.නොයෙක් පර්යේෂණ කරනවා.කාලයක් ගියාම අපි මළ සිරුරු කොටස් මහයියාවේ සුසාන භූමියේ වල දානවා.සමහර කොටස් අපි බෙහෙත් වල ගිල්වලා තියා ගන්නවා.

මෙහි හිටපු අංශ ප්‍රධානි මහචාර්ය මල්කාන්ති චන්ද්‍රසේකර මහත්මිය දෙපාර්තුමේන්තුවේ දියුණුවට විශාල කාර්යභාරයක් කළා. මේ කෞතුකාරගාරය ඉදි කිරීමේ සංකල්පයත් ඇගෙයි.මහචාර්ය එම්.ඒ සොමිනන්ද මෙහි සම්බන්ධීකරණය සිදුකළා.මෙහි තිබෙන මළ සිරුරු වල ආත්මයන් සිහිපත් කරලා වසරකට හෝ දෙකකට වරක් ඒ අයට අපි පින් අනුමෝදන් කරනවා පැවසුවාය.

විකිරණවේද, පටක ව්‍යාධිවේද ආදී විශේෂිත රෝග නීර්ණය කිරීමේදී ද මානව කායව්‍යවච්ඡේද පිළිබදව අධ්‍යයනය ඉතා වැදගත්ය.මිනිස් සිරුරේ පද්ධති හා කොටස් පිළිබදව ඕනෑම අයෙකුට මනා අවබෝධයක් ලබා ගත හැකි පරිදි මෙම කෞතුකාරයේ ප්‍රදර්ශන අවයව පිළිබඳ භාෂා ත්‍රිත්වයෙන්ම සදහන් තිබේ.මෙහි ඇති මළ සිරුරු හා ශරීර කොටස් වලින් දැනුම ලත් වෛද්‍යවරයෙකු ලොව කොහේ හෝ සිට මිනිස් ජීවිතයක් බේරා ගැනීමට කටයුතු කරනු නොඅනුමානය.

ප්‍රාණය නිරුද්ධවූ සිරුරින් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව අසත්‍යයක් බව හැඟෙන්නේ මෙහි සැරිසරන විටය.වෛද්‍ය පීඨයේ කායව්‍යච්ඡේද අංශයට නොදුන්නොත් ඇත්තෙන්ම එය ප්‍රයෝජනවත් නොවන දෙයකි.

ඔබගේ ජීවිතයෙන් තවත් ජීවිත දහස් ගණනක් ජීවත් කරවීමට ඔබත් කැමැති නම් මරණින් පසු ඔබේ සිරුර කායව්‍යච්ඡේද අංශයට ලබා දීමට දැන් සිටම කැමැත්ත පල කිරීමට අවකාශ තිබේ.ඒ පිළිබඳ තොරතුරු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කායව්‍යවච්ඡේද දෙපාර්තුමේන්තුවේ 081-2385347 දුරකතන අංකයෙන් විමසා දැන ගත හැකිය.

– අසේල කුරුළුවංශ

Comments පලකිරීමට පහතට යන්න


Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Back to Top Button