පළකල දිනය : Mon, Jun 4th, 2018

ආදරය කියන්නේ දෑත් දෙපා නොවන බව පසක් කළ එක් සත්‍ය කතාවක් !

කිසිදු අඩුවක් නොමැතිව මෙලොව ඉපිද, විහින් ඇති කරගත් අඩුපාඩු නිසා ජීවිතයම කඩා වැටෙන්නට ඉඩදී හඬා වැටෙනා අය ඕනෑ තරම් මේ ලෝකය තුළ ජීවත් වෙනවා.

ඒ අතරේ කුරිරු දෛවය විසින් ජීවිතයේ කොටසක් උදුරාගෙන තිබියදීත් ඉතිරිව ඇති පුංචිම දෙයින් වුණත් ලොව දිනූ තවත් පිරිසක්ද මේ ලෝකය තුළ සතුටින් ජීවත් වෙනවා. බුද්ධික ඒකනායක කියන්නේත් එවැන්නෙක්.

මිහිරි ගීයක් අසා ඊට අත්පුඩි ගසන්නට දෑතක් ඔහුට නැහැ. ගීතයක රිද්මයට නටන්න දෙපයකුත් නැහැ. ඒත් ඔහුට සුවිශේෂී හඬක් වගේම දැවැන්ත ආත්ම ශක්්තියකුත් තියෙනවා. මේ නිසාම අද වන විට බුද්ධික තමන්ගේ ජීවිතය ජයගෙන අවසන්.

මේ සුවිශේෂී දක්ෂයාට ලෝකය ජයගන්නට අත්වැලක් වූ තවත් කිහිප දෙනෙකුත් ඉන්නවා. විශ්වාස කළ නොහැකි ආදරයකින් පසු බුද්ධිකගේ අත

ගත් සෙනෙහෙවන්තිය තමා ඉන් පළමු කෙනා. කසුන් පුෂ්පකුමාරත් මේ කිහිප දෙනා අතරේ ඉන්නවා. බුද්ධික සහ කසුන් යන දෙදෙනාට ඉඩක් වෙන් කරන්නට අපි අද කල්පනා කළේ ජීවන යාත්‍රාව හරි ආකාරව පැදගත නොහැකිව හඬා වැටෙනා බොහෝ දෙනෙකුට මේ වගේ චරිතයන්ගෙන් ගත හැකි ආදර්ශයන්ද බොහෝමයක් ඇති නිසයි.

බුද්ධික ඒකනායක අද රටම හඳුනන චරිතයක් වෙලා තියෙන්නේ ජීවිතය අරන් වැඩසටහන තුළින්. මේ දැවැන්ත කටයුත්ත පිටුපස සිටින්නේ කසුන්. ඔහු තමයි මේ දවස්වල බුද්ධිකව ජනතාව අතරට රැගෙන යන්නේ. මුලින්ම අපි අපේ කතා බහට එකතු කරගත්තේ කසුන්වයි.

එක්තරා නාලිකාවක් මගින් ඒ කාලයේ ආබාධිත අයගේ දස්කම් මතු කරන රියැලිටි වැඩසටහනක් දියත් කර තිබුණා. සිහිනය නමැති ඒ වැඩසටහනේ හොඳම ගායකයා වුණේ බුද්ධිකයි. මගේ ක්‍රියේෂන් සංගීත කණ්ඩායමේ ගී ගයන්නත් බුද්ධික ආවා. එතැනදී මම බුද්ධිකගේ ගායන කුසලතාවය වගේම ඉන් එහා ගිය කුසලතාත් දුටුවා.

දෑත් නැති ඔහු වතුර බෝතලයක් රැගෙන වතුර බොන හැටි, ඔක්ටෝ පෑඩ්, කීබෝඩ් වාදනය කරන හැටි, අකුරු ලියන හැටි, චිත්‍ර අඳින හැටි, මම දැක්කා. මම හිතුවා ඔහුව යොදාගෙන සුවිශේෂ ප්‍රසංගයක් කරන්න. ඒ ගැන වැඩි දුර තොරතුරු හොයන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ අවශ්‍යතා ඇති අය සම්බන්ධ වැඩසටහන් ගැන මා දැනුවත් වුණා. ඉන් පසු ඒ අයගේත් අනුග්‍රහය ඇතුව තමයි ජීවිතය අරන් කියන වැඩසටහන පටන් ගත්තේ.

පාසල්, අධ්‍යාපන ආයතන, සුබසාධක සංගම්වල මේ වන විටත් ජීවිතය අරන් කියන වැඩසටහන ක්‍රියාත්මක කරනවා. මේ වන විට වැඩසටහන් 12ක් පවත්වා තිබෙනවා. පසුගිය පළමු වැනිදා කොස්ගම මාජි ආයතනයේදී 13 වැනි වැඩසටහන අපි කළා. 14 වැනි වැඩසටහන ජුනි 5 වැනිදා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වෙනවා.

බෙග් මාස්ටර්, ජෝතිපාල වැනි අයගේ ගීත වගේම චාමර වීරසිංහ, දමිත් අසංක, වැනි අයගේ ගීතත්් බුද්ධික එහිදී ගයනවා. මේක නිකම්ම ගායන ප්‍රසංගයක් නොවෙයි. ගීත ගැයීමට අමතරව බුද්ධික පෙන්වන විශේෂ දක්ෂතා වගේම මම මෙම වැඩසටහන ඉදිරිපත් කරන වෙනස් විලාශය හින්දා පුදුමාකාර ප්‍රතිචාරයක් වැඩසටහනට ලැබෙන්නේ. මෙය ආරම්භ කරලා මාස 3ක් යන්න කලින් වැඩසටහන් 14ක් පැවැත්වීමට හැකි වුණේත් ඒ හින්දා.

බුද්ධික කියන්නේ ආත්ම ශක්තියෙන් ජීවිතය ජයගත් කෙනෙක්. ඔහුගේ ජීවිත කතාවට ඇහුම්කන් දුන්නම එය තවත් පැහැදිලි වෙනවා.

මගේ ගම් පළාත ගම්පහ කොටුගොඩ. සාරානන්ද ප්‍රාථමික විදුහලින් මූලික අධ්‍යාපනය ලබලා පස් වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත් වුණා. මට කොළඹ ආනන්ද විදුහලට යන්න තරම් ලකුණු මට්ටමක් තිබුණත් මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයට ගියේ ගෙදර ඉඳලා යන්න පහසු හින්දා. මම ගොඩක් මිත්‍රශීලී කෙනෙක්.

මට යාළුවෝ ගොඩාක් හිටියා. ඒ අය මගේ එදිනෙදා කටයුතුවලදී ගොඩාක් උදව් උපකාර කළා. පාසල් අධ්‍යාපනය නිමා කරලා මම බෙල්වුඩ් සෞන්දර්යය නිකේතනයට ගිහින් සංගීතය හැදෑරුවා.

නිමාෂි අමරවීර බුද්ධිකට හමුවෙලා තියෙන්නේ බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේදී. අද වන විට බුද්ධිකගේ ජීවිතයට අත්වැලක් වූ නිමාෂි හා බුද්ධිකගේ ආදර කතාවත් ඇත්තටම අපූරු පෙම් කතාවක්.

නිමාෂි සෞන්දර්ය නිකේතනයේ වයලින් වාදනය හැදෑරුවා. අපි අතර බොහොම සමීප මිත්‍රත්වයක් තිබුණා. ඔය විදියට ඇසුරු කරද්දී මට නිමාෂි ගැන ආදරයක් ඇති වුණා. නිමාෂි අඩි 5යි අඟල් 4 ක් උස ලස්සන තරුණියක්. මම අඩි 3 1 1/2 ක් විතර උසයි. අපි නොගැලපෙයිද? මම ආදරේ ප්‍රකාශ කරන්න ගියොතින් නිමාෂි මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද? කියලා මට හිතුණේ නැහැ. යමක් කරන්න හිතුණොත් ඕනෑ දෙයක් වුණාට කමක් නෑ කියලා හිතලා ඒ දේ කරන එක පුංචි කා‍ලේ ඉඳන් මගේ පුරුද්දක්.

දවසක් මම නිමාෂිට කිව්වා දෙයක් කියන්න තියෙනවා. ඒ දේට ඔයා මොන විදියේ ප්‍රතිචාර දැක්වුවත් අපේ යාළුකම නැතිවෙන්න ඒක හේතුවක් කරගන්න එපා කියලා.ඊට පස්සේ මම කෙළින්ම මගේ ආදරය ප්‍රකාශ කළා. ඒ වේලාවේ මටත් දැනුනේ සාමාන්‍ය ප්‍රේමවන්තයෙකුට දැනෙන හැඟීම්.

නිමාෂි සතියක් විතර මගේ මූණවත් බලන්නේ නැතුව හිටියා. ඊට පස්සේ අපි ආයෙම ළං වුණා. ඒ ළංවීම ජීවිත කාලයටම වූ බැඳීමක් වුණා. 2009 ජුනි 01 දා අපි විවාහ වුණා. අද අපිට ලස්සන පුංචි පුතෙක් ඉන්නවා. පුතාගේ නම රුමිත ගයිඳු තනුවර ඒකනායක. මීගමුව මාරිස්ටෙලා විදුහ‍ලේ 3 වසරේ පුතා ඉගෙන ගන්නවා.

මියුරු හඩින් ජනහද ඇමතූ බුද්ධිකගේ කුළුඳුල් ගීතය තමයි තටු සිඳුණු සමනලයෙක්. ඒ ගීතය සඳහා කළ රූප රචනාවේ බුද්ධිකගේ පෙම්වතිය විදියට රඟපාන්නේ නිමාෂි. මේ දෙන්නගේ පුතා විදියට රඟපාන්නේ ඔවුන්ගේ පුංචි පුතා. අන්තර්ජාලයේ අද වන විට තටු සිඳුණු සමනලයෙක් ගීතයට ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

– ආරියවංශ කුලතිලක

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button