පළකල දිනය : Mon, Jun 4th, 2018

අපේ නැටුමෙන් මැලේ රට හොල්ලන දයානි ! (Photos)

ඔබ නර්තනය ඔබේ ආත්මය කරගෙන සිටින කෙනෙක්. මම හිතන්නෙ ඒ විදිහට ඔබව හඳුන්වාදෙන එකේ වැරුද්දක් නෑ?

ඔව් ඒක හරි. නර්තනය ඒ තරම්ම මගේ ජීවිතයට අතිශයින්ම සමීප දෙයක්. මගේ කලා ජීවිතයේ තීරණාත්මක ඇරඹුමක් වුණේ බෙල්වුඩ්වල ඉගෙන ගන්න මට ලැබුණු අවස්ථාව. මට මතකයි බෙල්වුඩ් ගිය අලුතම 86 යොවුන්පුරය වෙනුවෙන් නිස්කෝ ඉදිරිපත් කළ රූපවාහිනී දැන්වීමකටත් මාව තෝරාගත්තා.

නිදහස් උළෙල, යොවුන්පුරය, ගම්උදාව, යෞවන සම්මාන උළෙල ආදී විශේෂ උත්සව අවස්ථාවල තූර්ය වාදක සංදර්ශන හා නැටුම් සංදර්ශනවලටත් මම සහභාගි වුණා. ඒ වගේම බෙල්වුඩ් වොලිබෝල් කණ්ඩායමෙත් මම සාමාජිකාවක් වුණා.

ඒ වගේම නිවේදන කටයුතුවලත් නිරත වුණා. ජාතික තරුණ සේවා සභාවේ තුන්වන පෙරදිග තූර්ය වාදක කණ්ඩායම් නායිකාව බවටත් පසුව මම පත්වුණා. තරුණ සේවා සභාවේ මුල්ම බටහිර නැටුම් පුහුණුවේ විසිහතර දෙනාගෙන් එක්කෙනෙක් වෙන්නත් මට හැකිවුණා.

1988 මගේ පාඨමාලාව අවසන් වෙන්නටත් පෙර මට තරුණ සේවා සභාවේ ශිල්පී තනතුර ලැබුණා. 1991 මම විවාහවන තෙක් මම එහි සිටියා. සමුගනිද්දී මම නැටුම් කණ්ඩායමේ නැටුම් උපදේශිකාව හා සහකාර තරුණ සේවා නිලධාරිනියක් විදිහට කටයුතු කරමින් හිටියේ.

1988 තමා ඔබ මුලින්ම විදේශීය ප්‍රසංගයකට සහභාගි වුණේ?

ඔව්… ජපන් යන ප්‍රසංගයකට අපි පුහුණුවීම් කළේ මහරගම තරුණ මධ්‍යස්ථානයේ. ඒ මුල්ම ප්‍රසංගයට. පසුව මට හතර වතාවක් ජපානයට යන්න අවස්ථාව ලැබුණා. නෙදර්ලන්තය, බෙල්ජියම, ජර්මනිය, ඩෙන්මාර්ක්, ඔස්ට්‍රේලියාව, මැලේසියාව, මේ හැම රටකම මම ප්‍රසංගවලට ගියා.

ජීවිතේ ලස්සනම තරුණ කාලය බෙල්වුඩ්වල ගෙවද්දී ලැබුව සුන්දර අත්දැකීම් බොහොමයක් ඔබට ඇති. මතකද ඒ සැහැල්ලු සුන්දර අතීතය?

ඔව්… එදා මාත් එක්ක හිටිය යාළුවෝ, ගුරුවරු මම නම්වලින් මතක් කරන්නෙ නැත්තෙ ඒ එක නමක් හරි මට මතක් කරන්න බැරිවුණොත් ඒක අසාධාරණයක් කියලා හිතෙන හින්දා. එක පවුලක් වගේ එකට වැඩ කරන්න පුළුවන් යහළු යෙහෙළියන්, ගුරුවරු බෙල්වුඩ්වලදී මට හම්බවුණා.

බෙල්වුඩ්වල වාර්ෂිකව කොහොඹ කංකාරිය, දෙවොල් මඩු පැවැත්වුණා. විදේශීය සංචාරකයන් ආව අවස්ථාවලත් සංදර්ශන පැවැත්වුණා. හැම දවසකම දවසේ කණ්ඩායමක් හිටියා. උදේ අතුපතුගාලා, සුද්දකරලා උදේ කෑම බෙදන්න, තේ හදන්න, එළවළු සුද්ද කරන්න, ලූනු මිරිස් කපලා තියන්න, මේ ඔක්කොම වැඩ ඒ දවසේ කණ්ඩායමට බාරයි. බෙල්වුඩ් ඉද්දී කලාව වගේම කුස්සියේ වැඩත් අපි දන්නෙම නැතුව ඉගෙන ගත්තා. දවසේ නායිකාවක් ඉන්නවා. ඒ නිසා නායකත්වය ගැනත් ඉගෙන ගත්තා.

හැම සතියටම එක දවසක් අපි වත්ත සුද්ද කළා. මල්ගස්වලට සාත්තු කළා. තණකොළ ඉදිරුවා. නේවාසිකාගාරයේ ඉද්දී අපි කොට්ටඋරවල මල් මහනවා. උපන් දිනවලදී යාළුවන්ට දුන්නෙ එහෙම මහපු කොට්ටඋර. ජීවිතේ කවදාවත් අමතක කරන්න බැරි ලස්සන කාලයක් ඒක. මම බෙල්වුඩ් සම්මුඛ පරීක්ෂණයට එක්ක ආව මගේ නෑදෑ අයියලා දෙන්නෙක් වුණ පුෂ්පකුමාර අයියයි ආරියවංශ අයියයි දෙන්නා අද ජීවතුන් අතර නෑ. ඒ ජීවිතේ හැම සතුටක් මැදම හරිම භක්තියකින් එදා ඒ මගේ ඥාති සොයුරන් මට කරපු උදවුවත් මම මතක් කරනවා.

මට කිව්වා අනේ බබා ලැබුණට පස්සෙ ආයෙම යන්න. එතකල් යන්න එපා. ඔයා නටයි මමයි බැණුම් අහන්නෙ කියලා.

බෙල්වුඩ් එන්න ඉස්සර ගමේ ගෙදර ගෙවපු ජීවිතය ගැන මතකය කොහොමද දැනෙන්නෙ?

මාතර කිරින්දෙ ඒ ගෙවූ ජීවිතේ හරියට කතන්දරයක් වගේ ලස්සනයි. තාත්තා ගොවිතැන් කළේ. මට හිටියෙ මල්ලියි අක්කයි. මගේ මල්ලි තමා කොළඹ ගංගාරාමයේ කිරින්දේ අස්සජී හිමි නමින් පැවිදි දිවියට ඇතුළත් වී සිටින්නෙ. තාත්තා ගොඩවෙදකම්වලට හරි දක්ෂයි.

ගමේ දරුවන්ගෙ ඇස්වහ බිබිලිවලට වතුර මැතිරෙව්වේ අපේ තාත්තා. සර්පයින් දෂ්ඨ කළාම, උලුක්කුවට ඔය හැමදේටම තාත්තා වෙදකම් කළා. සල්ලි ගත්තෙ නෑ. ඉතින් එපා කියද්දී වෙදකම්වලට ගමේ නැන්දලා මාමලා තාත්තට තෑගිබෝග අරන් ආවා. මාර හෙට්ටියාවල බටහිර කනිෂ්ඨයේ ඉගෙන ගන්න කාලේ මම හැමදාම පන්තියේ පළමුවැනියා. ඒ කාලේ අපේ ඉස්කෝලෙට නිලඇඳුමක් තිබුණෙ නෑ. ජනවාරියට අලුත් පන්තියට ගියේ අලුත් ගවුමක් ඇඳලා.

ඉනට චූටි රැලි දාලා බෝරිච්චි අත් දාලා යූ හරි වී හරි හැඩයේ කර දාපු මල් ගවුමක් ඉස්කෝලෙට අඳින්න මහලා දුන්නෙ ගමේ රෙදි මහන නැන්දා. ගමේ ළමයි අපි හැමෝම හරි එකතුයි. ඉස්කෝලෙ ඇරිලා එද්දී බඩගිනි වුණොත් අපි යනවා ළඟම යාළුවෙක්ගෙ ගෙදර. උණු උණුවේ බත් උයලා පොල් සම්බෝල හදලා දුන්නම බඩ පිරෙන්න බත් කාලා තමා ගෙදර ආවේ. කවදාවත් අමතක කරන්න බැරි ලස්සන මතක ගොඩක් ඒ අතීතයේ තියෙනවා.

ඔබ පාසල් කාලයේ ක්‍රීඩාවටත් හුඟාක් දක්ෂකම් දැක්වූ දක්ෂ ක්‍රීඩිකාවක්. මම හිතන්නෙ ඔබට අමතක නැතුව ඇති දවසක් බෝලයක් ගන්න ඒ කාලේ ළිඳට බැස්ස හැටි?

ඔව් හොඳට මතකයි. මාතර සුජාතා බාලිකාවෙන් උසස් පෙළ ඉවර කරනකම්ම ක්‍රීඩාවට තිබුණු ආසාව එහෙමම තිබුණා. නෙට්බෝල්, වොලිබෝල්, බැඩ්මින්ටන්, එල්ලේ, දුර පැනීම, මේ හැම ක්‍රීඩාවක්ම මම කළා. මේ සිද්ධිය වුණේ පුහුල්වැල්ල මහා විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ. අපේ ඉස්කෝලෙ ඉස්සරහ ළිඳක් තිබුණා. අපි ගොඩක් වෙලාවට වතුර ඉවර වුණාම බෝතලේට වතුර පුරවාගත්තෙත් ඒ ළිඳෙන්.

මේක උඩට බැඳපු ටිකක් ගැඹුරු ළිඳක්. දවසක් වොලිබෝල් සෙල්ලම් කරද්දී බෝලය ළිඳට වැටුණා. මම ගහපු ඩෑෂ් පහරක්. ඒ වෙලාවේ සර්ලා අනික් පිට්ටනියේ ළමයි පුහුණුවට දාන්න ගිහින්. බෝලය ගමු කීවම කවුරුත් බයයි ළිඳට බහින්න. බෝලය වැටුණේ මම අතින් නිසා මම ළිඳට බැස්සා.

ළිඳ වටේට කට්ට තියෙනවා. අනිත් අයත් උදව් කළා. මම බෝලයත් අරන් ගොඩට ආවා. ඕක දැකපු වෙන ළමයෙක් සිද්ධිය විදුහල්පතිතුමාට කියලා. විදුහල්පතිතුමා ආවා වේවැලත් අරගෙන. ළිඳට බැස්සේ කවුද ඇහුවා. අපි ඇත්තම කීවා. පීනන්න පුළුවන්ද ඇහුවා. මම කීවා දන්නෙ නෑ කියලා. ළිඳට වැටුණානම් මොකද වෙන්නෙ ඇහුවා. එතකොටයි මටත් වැඩේ බරපතළකම තේරැණේ. එදා සර්ගෙන් මට වේවැල් පාර වැදෙද්දීනම් ඇස් දෙකට කඳුළු ආවා.

ඔය විදිහෙ දඟ වැඩ කරලා අම්මගෙන් ගුටිකාලා නැද්ද?

එක වතාවක් ගුටිකෑවා. මට මතක ඒ මම තුනේ පන්තියෙ ඉද්දී. මගේ ගාව තිබුණා දහම් පාසල් තරගවලින් දිනලා තෑගි හම්බවුණු පොතක්. ඒ පොතේ පිටුවක්වත් ලියලා තිබුණෙ නෑ. අපි තුනේ පන්තියේ ඉද්දී අපේ පන්තිය තිබුණ ගොඩනැගිල්ලේ වැස්ස වෙලාවට කාණුවේ වතුර පිරෙනවා. එක දවසක් හොඳටම වහිනවා. පන්ති බාර ගුරුතුමී ආවෙත් නෑ. අපි ඔක්කොම පන්තියෙන් එළියට ඇවිත් අර චූටි කාණුවේ වතුරේ හොඳට සෙල්ලම් කර කර නැටුවා.

මම අර මගේ ළඟ තිබුණු පොතේ මුල පිටුවයි අග පිටුවයි ඇරෙන්න අනිත් පිටු ඔක්කොම කඩලා දුන්නා යාළුවන්ට බෝට්ටු හදන්න. එදා කාණුවෙන් එකයි බෝට්ටු. අම්මා හැමදාම ගෙදර ආවම පොත් බලනවා. ඒ පොතේ එක පිටුවක්වත් නෑ. අම්මා ඇහුවා කෝ මේ පොතේ පිටු කියලා. මම ඇත්තම කීවා. ආයේ කවදාවත් පොත්වල පිටු කඩන්නෙ නෑ, තේරුණාද? කියලා අම්මා ගුටියකුත් දුන්නා. අදටත් කවුරුහරි පොතක පිටුවක් ඉරන සද්දය ඇහුණත් මගේ ඇඟ නිකම් හිරිවැටිලා යනවා.

බෙල්වුඩ්වල නර්තන තාරකාවක් වුණු ඔබට, නර්තනය විතරක් නොවෙයි තවත් බොහෝ අංශවල කැපීපෙනෙන දක්ෂතා ප්‍රකට කළ ඔබට, ලංකාව දාලා යද්දී ඇත්තටම දුක හිතුණේ නැද්ද?

මගේ අම්මා ජ්‍යොතිෂ්‍යය හුඟාක් විශ්වාස කළා. මම පුංචි කාලේ ලාම්පු තෙල් බීලා අම්මා මාව මාසයක් රෝහලේ තියාගෙන ඉඳලා. ඒ කාලෙ මගේ හඳහන බලවලා අම්මා බයටම. හඳහන බලලා ගමේ හාමුරාළහාමි කීවලු, බයවෙන්න එපා හාමිනේ මේ දරුවා ගලේ ගැහුවට මරන්න බෑ.

විදේශයක ජීවත් වෙන්න වාසනාව තියෙන දරුවෙක් කියලා. අවුරුදු 24 වෙද්දී හිටිහැටියේම ඒ කටයුතු සිද්ධවෙනවා. ඒ කාලේ වෙනකොට ඒකට කැමතිවෙන්න කියලා. ඒ හින්දම මැලේසියාවෙන් විවාහ යෝජනාව එද්දීම අම්මා ඒකට කැමති වුණා. දැන් අවුරුදු 27 ක් මම මැලේසියාවේ පදිංචියි. දුකක් දැනුණත් මම මැලේසියාවට ඇවිල්ලත් හුඟාක් කලාවට සම්බන්ධ සමාජ වැඩ කටයුතු කළා. අදටත් කරනවා.

මොනවද ඒ කරපු වැඩ සහ කරන වැඩ?

මම මැලේසියාවට ආව ගමන්ම මගේ මහත්තයා කළේ මාව ඉංග්‍රීසි සහ පරිගණක විෂයන් හදාරන්න යොමුකරපු එක. නැටුමත් එක්කම හිටපු මට එක තැනක වාඩිවෙලා ඒවා ඉගෙන ගන්න අපහසුවක් දැනුණත් මම ඒ හැමදේම ඉගෙන ගත්තා.

මම මැලේසියාවට ආවම තානාපති කාර්යාලයෙන්, විශ්වවිද්‍යාලවලින් හා Association වලින් ලැබුණු ආරාධනා අනුව ශාස්ත්‍රීය නැටුම් ඉදිරිපත් කළා. ඒ හැමදේම කළේ නොමිලේ. ඔය අතරේ තමා ශාසන අභිවෘද්ධි වර්ධන සමිතියේ සභාපතිතුමා මට නැටුම් පන්තියක් විහාරස්ථානයේ පටන් ගන්න ලෙස ඉල්ලීමක් කළේ. මගේ මහත්තයාත්, එවකට බ්‍රික්ෆීල්ඩ් විහාරාධිපතිව සිටි අපවත් වී වදාළ සිංගප්පූරුවේ හා මැලේසියාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය කිරින්දේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේත් කැමති වුණා.

දුවට මාස 6 ක් වෙද්දී මම ඒ පන්තිය විහාරස්ථානයේ පටන් ගත්තා. මා උගත් දේ දරුවකුට නොමිලයේ ඉගැන්වීමටයි අපි දෙන්නම කැමති වුණේ. සෑම ඉරිදාවකම පන්ති කළා. මුල් කණ්ඩායමේ දරුදැරියන් 24 ක් හිටියා. දුව ලැබෙන්නට මාස පහකටත් කිට්ටුයි. ඊට කලින් අවුරුද්දේ මලාම් වෙසක් වැඩසටහනට (වෙසක් වෙනුවෙන් තිබූ ලොකු වැඩසටහනක් බෞද්ධ රටවල් සහභාගිවන) Buket Jalel (බ්‍රෙකෙට් ජලෙල්) ස්ටේඩියම් එකේ තිබුණේ.

බෞද්ධ රටවල් පහක නැටුම් අතරට ලංකාවෙන් පූජා නැටුම මගෙන් තිබුණේ. ඉතින් එදාත් පුරුදු විදිහට ලෑස්තිවෙලා පන්සලේදී සංදර්ශනයට යාමට පෙර නාහිමියන් හමුවී උන්වහන්සේට වැඳ අවසර ගත්තා. ආ.. කොහේ යන්නද? කියලා පුදුමයෙන් මගේ දිහා බැලුවා. මම කිව්වා වෙසක් වැඩසටහනට යන්න කියලා. දහස් සංඛ්‍යාත පිරිසක් එදාට ඒ ස්ටේඩියම් එකට එකතුවෙනවා. නටන්න හොඳ නෑ නේද? අසනීපව ඉද්දී ඇහුවා.

මම කිව්වා හිමින් නටන්න පුළුවන්. ගිය අවුරුද්දෙ බාරගත්තේ. මම නොගියොත් ලංකාව නියෝජනය කරන්න කවුරුත් නෑ කියලා. මහත්තයා මාව එක්ක ගියා. මේ හැම සංදර්ශනයටම මාව එක්ක ගියේ මහත්තයා. මගේ ඇඳුම්වල කටු ගහනවා පමණක් නොවේ, CD මම බාරදෙන්නෙත් මහත්තයාට. හොඳින් ඒ වැඩ කරලා දෙනවා. මමත් පූජා නැටුම හිමින් වුණත් ලස්සනට නැටුවා. ආවට පස්සෙ නාහිමියන් මහත්තයාට අවවාද කරලා තිබුණා අසනීප නිසා දරුවා ලැබෙනකල් මේවට යවන්න එපා කියලා. මහත්තයා මට කිව්වා අනේ බබා ලැබුණට පස්සෙ ආයෙම යන්න. එතකල් යන්න එපා. ඔයා නටයි මමයි බැණුම් අහන්නෙ කියලා.

මහත්තයා ඒ වනවිට ගණකාධිකාරීවරයකු වුණත් මට මේ දේට පුදුම සහයෝගයක් දුන්නෙ. එදා පටන්ගත් සිංහල සංස්කෘතික කණ්ඩායම අදටත් තියෙනවා. දරුදැරියන් එනවා අවුරුදු 8න් ඉහළ උසස් පෙළ. පාසලේ හෝ College එකකින් කරනකල් එනවා. ඉන්පසු අලුත් කණ්ඩායමක් ආයෙ එනවා. විශ්වවිද්‍යාලයට යන කාලය වනවිට බාහිර ක්‍රියාකාරකම් වෙනුවෙන් අපි සහතිකයක් නිකුත් කරනවා. සිංහල වචනයක් කතා නොකරපු දරුවන් අද සිංහල කතා කරන්න, ලියන්න පමණක් නොවේ, කියවිය හැකි මට්ටමකට අරන් තියෙනවා.

නොමිලේ ලබාදුන් මේ අධ්‍යාපනයෙන් ඵල ලැබූ දරුවන් දකින විට ඇතිවන්නේ පුදුම සතුටක්. වෙසක් පුන් පොහොය, බෞද්ධ කොඩිය ඔසවද්දී ජයමංගල ගාථා ගායනා කරන්නෙත් මේ පන්තිවල දරුදැරියන්. වචනයෙන් වචනය උගන්වලා පුරුදු කරන්න අමාරු වුණත් ලස්සනට ජයමංගල යාථා, භක්ති ගීත ගායනා කරනකොට හරි සතුටක් දැනෙන්නෙ.

ඔබේ දියණිය හා පුතු ගැනත් අපි කතා කරමු?

මගේ දුව නිරෝෂණී රංගනාව මම භරත නැටුම් හා හින්දුස්ථානි සංගීතය ඉගෙන ගන්න යැව්වේ අවුරුදු පහේදී. ඒ ඉන්දියාවෙන් පැමිණ සිටි ගුරුවරියක් ළඟට. ඇයට වෛද්‍ය විද්‍යාව හදාරන්න සම්පූර්ණ ශිෂ්‍යත්වයක් ලැබුණා. ජාත්‍යන්තර වෛද්‍ය විද්‍යාලයේ අවුරුදු 3ක පුහුණුවක් ලැබ ඉන්පසුව ස්කොට්ලන්තයේ එඩිම්බරෝ වෛද්‍ය විද්‍යාලයේ අවසාන අවුරුද්ද තමයි ඇය දැන් ගත කරන්නෙ මේ වසරේ.

මගේ පුතා ධනින්ද ලක්රුවන් මැලේසියාවේ තාවකාලික පැවිද්ද සති 3ක වැඩසටහනට හතර වතාවක්ම සහභාගි වුණා. දැනට උසස් පෙළ හදාරමින් සිටිනවා. පුතා තාවකාලික පැවිද්ද ලැබුවේ සෙන්ට්‍රල් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයෙන්.

මගේ දියණියද විදෙස්ගතවන තෙක්ම එම විහාරස්ථානයේ නොමිලයේ පැවැත්වෙන Clinic එකට පැමිණෙන අයගේ ලේ හා සීනි පරීක්ෂා කිරීමට බෙහෙත් දීමට ඇය උගත් වෛද්‍ය විද්‍යාලයේ දොස්තරවරුන් නොමිලේ ලබාදුන් සේවයට උදව් කළා මෙන්ම භාෂා පරිවර්තනය (English, Malay සහ Sinhala) කළා. දරුවන් දෙදෙනාම පොඩි කාලයේ පටන් බුද්ධාගම පැත්තට ඉබේම යොමුවුණා.

ඔබ ලේඛිකාවක්… මම එහෙම කිව්වොත් හරිද?

මගේ සහෝදරයා වන ගංගාරාමවාසී ආචාර්ය කිරින්දේ අස්සජී හිමියන්ගේ 50 වැනි උපන් දිනය වෙනුවෙන් මම සම්භාවනා නමින් පොතක් ලීවා. මගේ අම්මට වයස අවුරුදු 80 පිරෙද්දී මම අම්මා වෙනුවෙන් මව්ගුණ අගයමින් ඔබ මහමෙරක් සේමැයි කියලා පුංචි පොතක් ලීවා.

ජීවිතයට ආදරයෙන් පාර කියපු අය අතරේ මතක් නොකරම බැරි පිරිසකුත් ඇති?

ඔව්… මගේ සහෝදරයා ගංගාරාමවාසී ආචාර්ය කිරින්දේ අස්සජී හිමි, මගේ අම්මා, තාත්තා… මගේ තාත්තා ජීවතුන් අතර නෑ. අක්කා, ඒ දරුවන් නෑදෑයෝ, පාසල්වලදී, බෙල්වුඩ්වලදී, තරුණ සේවා සභාවේදී හමුවුණු හැම ගුරුවරයෙක්ම, යාළුවෙක්ම අදටත් මම හුඟාක් භක්තියෙන් ගෞරවයෙන් මතක් කරනවා.

ඒ වගේම මාව තේරුම් අරගෙන ඉතාමත් ආදරණීය වාසනාවන්ත ජීවිතයක් මට දීපු මගේ මහත්තයා ඒ. හේමදාස, මගේ ජීවිතයට අලුත් බලාපොරොත්තු සතුට අරන් ආව මගේ දුව නිරෝෂණී, පුතා ධනින්ද මේ හැම කෙනෙක්ම හදවතින්ම මතක් කරනවා.

උපුටගැනීමකි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button