පළකල දිනය : Fri, Jun 8th, 2018

හැමෝම කතාවෙන පුංචි නිළි පැටික්කි කරපු වැඩක් !

මේ දිනවල “හිරු ටීවී” ඔස්සේ විකාශය වන “කිරුළි” ටෙලි නාට්‍යයේ “කිරුළි” ලෙසින් අපේ ආලින්දයට ගොඩවදින පුංචි නිළිය ගැන අද වනවිට බොහෝ අය කථාබහ කරති.

ඇය සිතුම්ලි රුහන්සා මෙන්ඩිස්ය. මාස 11 දී කැමරාවක් අබියසට එන්නට වරම් ලද සිතුම්ලි මේ වනවිට වෙළෙඳ දැන්වීම් රැසකටද එක්ව ඇත.

මෙවර කතාබහට මේ පුංචි නිළිය පිළිබඳ තොරතුරු ටිකක් එක්කර ගන්නට අප සිතුවේ ඇයට ආදරය කරන අපේ පාඨක පිරිස වෙනුවෙනි.

මුලින්ම අපි කැමතියි සිතුම්ලිගේ උපන්දිනය දැනගන්න..

2011 – 01 – 11 වැනිදා

ඉගෙන ගන්නේ..?
සිරිමාවෝ බණ්ඩාරනායක විදුහ‍ලේ 3 ශ්‍රේණියේ ඉගෙන ගන්නවා.

සිතුම්ලි පදිංචිවෙලා ඉන්නේ කොහෙද..
අපේ ගම නුගේගොඩ දෙල්කඳ.

සිතුම්ලිගේ අක්කත් නිළියක් කියන්නේ ඇත්තද ..?
මගේ අක්කා අසේන්ද්‍රි මෙන්ඩිස් .. අක්කා වෙළඳ දැන්වීම්වල රඟපාන්න එකතු වුණේ මොන්ටිසෝරි යන කාලෙදි. දවසක් අක්කලගෙ මොන්ටිසෝරි එකට මාමල වගයක් ඇවිල්ල තියෙනව වෙළඳ දැන්වීමකට ළමයෙක් තෝරාගන්න.

ඊට පස්සේ අක්කව තමයි තෝරාගෙන තියෙන්නේ. ඒ විදියට අක්කා වෙළඳ දැන්වීම්වලට එකතුවුණේ.

සිතුම්ලිගේ අක්කා වෙළඳ දැන්වීම් වලින් පස්සෙ ටෙලි නාට්‍ය රඟපාන්න එකතුවුණේ නැද්ද.. ?
නැහැ.. අක්කා දැන් සිරිමාවෝ බණ්ඩාරනායක විදුහ‍ලේ 8 ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. අක්කා දැන් රඟපාන්න එන්නේ නැහැ..

සිතුම්ලි නිළියක් වුණේ අක්කාගේ තනියට ගිහින්ද …. ?
ඔව් .. අක්කා රඟපාන්න යද්දි අම්මයි මමයි දෙන්නත් යනවා.. ඒ ගියාම තමයි මටත් වෙළඳ දැන්වීම්වලට රඟපාන්න ලැබුණේ.. හැබැයි මම මුලින්ම වෙළඳ දැන්වීමකට එකතු වුණේ ගොඩක් චූටි කා‍ලේ එතකොට මගෙ වයස මාස එකොළහලු. “ජොන්සන්ස් බේබි” දැන්වීමට පුංචි බබෙක්ව හොයනකොට අම්මල මගේ ෆොටෝ එකක් දාලා..

මාව තමයි ඒකට තේරුනේ.. ඒක තමයි පළවෙනි දැන්වීම.. ඊට පස්සේ ආයෙත් වෙළඳ දැන්වීමකට ගියා. එතකොට මං ටිකක් ලොකුයි. එතකොට මගෙ වයස අවුරුදු 2ලු. ඒ අක්කත් එක්ක ගිහින් ලැබුණු අවස්ථාවක්..

මේ වෙද්දි වෙළඳ දැන්වීම් කීයක විතර රඟපාලා තියෙනවද ..?
විස්සක විතර රඟපාලා තියෙනවා..

කොහොමද කිරුළි ටෙලි නාට්‍යය් රඟපාන්න අවස්ථාව ලැබුණේ..?
ප්‍රදීප් ධර්මදාස මාමා කිරුළි ටෙලි නාට්‍යයට මට කතා කළේ මාව වෙළඳ දැන්වීම්වලින් දැකලා.. මීට කලින් ටෙලි නාට්‍ය කීපයකටම කතා කළා. ඒත් දුර පළාත්වල රූපගත කරන්න වුණ හිංදා අම්මයි තාත්තයි කැමතිවුණේ නෑ.. “කිරුළි” නාට්‍යය කරන්නේ දුර ‍නෙවෙයි. ඉස්කෝ‍ලේ නිවාඩු දවස්වල ෂූටින් තියෙන්නේ.. ඒ හින්දා අම්මයි තාත්තයි කැමති වුණා..

“කිරුළි” හැර වෙනත් ටෙලි නාට්‍යවලට එකතුවෙලා නැද්ද..?
නැහැ..

ටෙලි නාට්‍ය බලන ගුරුවරු යාළුවෝ මොකද කියන්නේ..?
හොඳයි කියනවා.. එක දෙක වසරේ පුංචි පන්තිවල නංගිලා මට කතාකරන්නේ “කිරුළි” අක්කි කියලා.

“කිරුළි” රඟපාන්න ගිහින් වෙච්ච අමතක නොවන සිදූවීම් තියනවද … ?
ටෙලි නාට්‍යයට ට්‍රේලර් හතරක් කළා. එකක මට තිබුණා “රතු කාරෙකේ රවුමක් යන්න” කියලා දෙබසක්. පළවෙනි පාර මට ඒක වැරදුනා.. දෙවැනි පාරත් වැරදුනා.. ඊට පස්සේ බයටම එක දිගට වැරදුනා.. ටෙලි නාට්‍යයේ දෙබස් නම් වෙනස් කරල කියන්න පුළුවනි…

ඒත් ට්‍රේලර් එකකදි පිටපතේ තියෙන දෙබස ඒ විදියටම කියන්න ඕනනේ .. මට දිගින් දිගටම වැරදුන හින්දා පැය දෙකක් විතර ඒ කොටසම කරන්න වුණා.. ටෙලි නාට්‍යයේ තේමා ගීතය රූපගත කරද්දිත් ඔය වගේම දෙයක් වුණා..

ඒ මොකක්ද .. ?
ඒකේ එක ජවනිකාවක මම මල් මිටියක් අරගෙන ගහක් වටේ කැරකිලා දුවගෙන ඇවිල්ලා ටෙලි නාට්‍යයේ මගේ අම්ම විදියට රඟපාන මේනකා පීරිස් නැන්දිට ඒ මල් මිටිය දෙනවා.. ඔය වෙලාවේ මල්මිටිය දෙනකොටම කඩියෙක් මගේ කකුල කෑවා.. මට ගොඩක් රිදිලා ඇඬුවා.. ඒ වෙලාවෙත් ප්‍රදීප් මාමා මං හින්දා ඒ කොටස කරන එක ටිකකට නතර කරල හිටියා..

සිතුම්ලි ඉගෙන ගන්න කැමතිම විෂයය මොකක්ද.. ?
ගණන්වලට ගොඩක් ආසයි

හොඳට ඉගෙනගන කවදහරි කවුරු වෙන්නද කැමති ?
ගොඩක් ජනප්‍රිය නිළියක් වෙන්නද?
මං ආස ලොකු වුණාම පයිලට් කෙනෙක් වෙන්න.

– ආරියවංශ කුලතිලක

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button