පළකල දිනය : Mon, Jun 11th, 2018

මැරෙන්න කලින්ම මිනී පෙට්ටියක් හා ඇත්දළ ගෙදර අරන් ගිහින් වෙච්ච වැඩේ !

තම නිවසට උවමනා බඩු බාහිරාදිය ආදිය කල් ඇතිව ගෙනවුත් තබා ගැනීම බොහෝ දෙනෙකු අනුගමනය කරන සාමාන්‍ය දෙයකි.

එහෙත් තමන් මිය ගිය පසු සුසානයට ගෙන යන තෙක් නිවසේ රදවා තැබෙන මිනී පෙට්ටිය, උඩුවියන, ඇත්දළ ආදී උපකරණ කලින් නිවසට ගෙන ඒමේ සිද්ධියක් වාර්තාවනුයේ ඉතා කලාතුරකිනි.

එලෙස මල් ශාලාවකින් මිනී පෙට්ටියක් හා ඊට අවශ්‍ය කරන උපකරණ කුලියට ගෙනවිත් නිවසේ තබා ගැනීමේ දුලබ සිද්ධියක් පසුගියදා (08) මීරිගම තලාකොලයාය ප්‍රදේශයෙන් වාර්තා වේ.

තලාකොලයාය ප්‍රදේශයේ හෝටලයක් පවත්වාගෙන යන අයෙකු පසුගිය 8දා උදේ ඔහු පදිංචිව සිටින නිවසේ මරණයක් සිදු නොවී තිබියදී මිනී පෙට්ටියක් ඇතුළු ඉහත සඳහන් උපකරණ ගෙන එනු දුටු අසල්වාසීන් මේ ගැන කිසියම් වූ සැකයක් ඇති කරගෙන ඇති අතර සිද්ධිය කටින් කට පැතිර ගොස් ඇත.

පසුව දහවල් මේ බව මීරිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් ‍ පරීක්ෂක පාලිත අමරතුංග මහතාටද දැන ගන්නට ලැබි තිබේ.

මේ ගැන මූලික විමසුම් වලින් පසු උප පොලිස් පරීක්ෂක එදිරිසිංහ මහතා ඇතුළු ‍ පොලිස් කණ්ඩායමක් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත මේ නිවස සහිත හෝටලය පරීක්ෂා කිරීමේදී මිනී පෙට්ටිය හා ඊට අවශ්‍ය කළමනා තබා තිබෙනු දැකීමෙන් අනතුරුව මෙසේ හේතුවක් නැතිව මේවා තබා ගැනීම පිළිබඳව එම නිවස සහ හෝටලයේ හිමිකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පියවර ගනු ලැබිය.

ඔහු තම පවු‍ලේ පිරිස තමන්ට නොසැලකීම නිසා ඔවුන් බියගැන්වීම පිණිස මෙසේ කළ බව ප්‍රකාශ කර ඇතැයි ‍ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ‍ පොලිස් පරීක්ෂක පාලිත අමරතුංග මහතා පැවැසීය. එමෙන්ම මිනී පෙට්ටියක් තබා ගැනීමට නීතිමය තහනමක් නැති වුවත් ප්‍රායෝගික තත්යන් සළකා එය ආපසු ගෙන යාමට පියවර ගන්නා මෙන් උපදෙස් දෙන බවද පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.

මෙම පුද්ගලයා පසුගිය 8වැනිදා මීරිගම ප්‍රදේශයේ මල් ශාලාවකට ගොස් රුපියල් විසිපන් දහසක් වටිනා මිනී පෙට්ටියත් ඇත්දළ ඇතුළු සියලු සැරසිලි කොටස් සහිතව අවමංගල සේවයක් ලබාගෙන මියගිය අයගේ දේහය පසුව නිවසට ගෙනාවිට එය පෙට්ටියේ තැන්පත් කරගත හැකි හෙයින් එම බඩු කට්ටලය නිවසට ගෙනවිත් දෙන ලෙස ඉල්ලා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

ඒ අනුව මෙවැනි දෙයක් පිළිබඳ සැකයක් නොසිතු මල්ශාල හිමියාද ඊට එකඟවී තිබේ.

එමෙන්ම අවසන් කටයුත වලින් පසුව ඉතිරි භාණ්ඩ පසුදා (9) ආපසු බාර දෙන බව පවසා ඇතැයිද මල් ශාලාවෙන් අප කළ විමසීමේදී දැනගත හැකිවිය.

තමන්ගේ මරණයේ කටයුතු සඳහා මිනී පෙට්ටියක් නිවසේ තබා ගැනීම ඉතා කලාතුරකින් සිදුවුවත් මෙසේ සියලු අවමංගල උපකරණ සහිතව මිනී පෙට්ටියක් නිවසකට ගෙන ගොස් තබාගත් අවස්ථාවක් ගැන නොදන්නා බව මේ පිළිබඳව කළ විමසීමේදී මල් ශාලා හිමියෝ කිහිපදෙනෙක් කීහ.

මනෝප් එදිරිසිංහ – මීරිගම

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button