පළකල දිනය : Mon, Jun 11th, 2018

“අපි කසාද බැඳලා තවම සති තුනයි” අලුත බැදපු ඇන්ජලෝ කියපු කතාව !

ඇන්ජලෝ පෙරේරා කියන්නේ ජනප්‍රිය ක්‍රිකට්‌ ක්‍රීඩකයෙක්‌. පසුගිය දවස්‌වල ඔහු යුග දිවියට එළැඹුණා.

ඇන්ජි සමඟ අතිනත ගත්තේ කවුද?. මේ ආදර කතාව පටන්ගත්තේ කොහොමද?.

ඇන්ජිට අපි ප්‍රශ්න පත්‍රයක්‌ යොමු කළා. ඔහුට විතරක්‌ නෙමෙයි ආදර කතාවේ ප්‍රධාන චරිතය වුණ රවින්දිටත් ඒ වගේම ප්‍රශ්න කිහිපයක්‌ ඉදිරිපත් කළා.

ඇන්ජලෝ කොහොමද ඉතිං ?

මේ දවස්‌වල ප්‍රොවින්සියල් ක්‍රීඩා තරග තමයි තියෙන්නේ. ලබන සතියේ අවසන් මහා තරගය තියෙනවා. ඊට පසුව බංගලාදේශ ඒ සංචාරය පැවැත් වෙනවා. මේ මාසයේ එහි පුහුණුවීම් ආරම්භ වෙනවා. ඉතිං බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා.

බංගලාදේශ ඒ සංචාරයට ක්‍රීඩා කරන්න ඔබට අවස්‌ථාවක්‌ හිමිවේවිද?

ඒ ගැන කියන්න දැන්ම බැහැ. කණ්‌ඩායම නම් කරනකම් තමයි බලාගෙන ඉන්නේ.

ගෙවීගිය කාලයේ ක්‍රීඩාවෙන් සුපුරුදු විදිහට දස්‌කම් දක්‌වන්න පුළුවන් වුණාද?

මේ වසරේ සහ ගිය වසරේ අන්තර් සමාජ ක්‍රීඩා තරගාවලියේ හොඳින් ක්‍රීඩා කළා. ප්‍රොවින්සියල් දවස්‌ හතරේ තරගය ක්‍රීඩා කරන්න බැරි වුණා. ආබාධයක්‌ හේතුවෙන් මාසයක්‌ විතර ගෙදර ඉන්න වුණා. වෙඩින් එක හින්දාත් ප්‍රොවින්සියල් මැච් දෙකක්‌ මග හැරුණා.

හදිසියේම නේද විවාහය සිදුවුණේ ?

කිසිම හදිසියක්‌ නැහැ. අපේ සම්බන්ධය පටන් අරගෙන අවුරුදු දොළහක්‌.

කොහේදි ද ඇයව හමුවුණේ ?

බිරිඳගේ අයියයි මායි තමයි එකට ක්‍රිකට්‌ ක්‍රීඩා කළේ. එතකොට තමයි මම ඇයව දුටුවේ. එතකොට මීට අවුරුදු දොළහකට කලින් තමයි අපි දෙන්නා මුණගැසුණේ. අයියාව එක්‌කගෙන යන්න එයයි අම්මයි එනවා. ඉතිං සතියකට දෙතුන් වතාවක්‌ පිට්‌ටනියට එනවා.

කවුද මුලින්ම ආදර යෝජනාව ගෙන ආවේ ?

මම තමයි මුලින්ම ආදර යෝජනාව කළේ.

ඇය මොකද කිව්වේ ?

විරෝධයක්‌ තිබුණේ නැහැ.

ඇය ගැන විස්‌තර ටිකක්‌ කියමුනේද?

නම රවින්දි සමරසේකර. ඇය තවම උසස්‌ අධ්‍යාපනය හදාරනවා.

කොහොමද විවාහ ජීවිතය ?

අපි කසාද බැඳලා තවම සති තුනයි. වරදක්‌ නැහැ. හොඳින් කාලය ගෙවීගෙන යනවා.

ගොඩක්‌ තරුණියන්ට වඩා රවින්දිගේ තිබෙන සුවිශේෂත්වය?

ඇය බොහොම චාම් තරුණියක්‌. එයා ගොඩක්‌ අපේ අම්මා වගේ.

ක්‍රීඩා වැඩකටයුතුවලට ඇයගෙන් මොනවගේ සහයෝගයක්‌ද ලැබෙන්නේ ?

ගොඩක්‌ ලොකු සහයෝගයක්‌ ලැබෙනවා. අපි දෙන්නා අපි දෙන්නා ගැන ලොකු අවබෝධයකින් කටයුතු කරන්නේ.

සුපුරුදු විදිහට පසුගිය දවස්‌වල දස්‌කම් දැක්‌වුවත් ජාතික ක්‍රීඩායමේ ස්‌ථිර තැනක්‌ හිමිවුණේ නැහැනේද?

ජාතික නියෝජනය කරන්න මට හරියට තවම අවස්‌ථාවක්‌ උදාවුණේ නැහැ. මම හිතනවා මගේ මේ දස්‌කම් එක්‌ක ඉදිරියේදී අවස්‌ථාවක්‌ උදාවේවි කියලා. නැවත ජාතික කණ්‌ඩායමට එකතුවෙන්න අදහසක්‌ තියෙනවා.

ඔබේ ජීවිතයේ ප්‍රියතම ක්‍රිකට්‌ ක්‍රීඩාකයා කවුද?

මහේල ජයවර්ධන

ප්‍රවීණ ක්‍රීඩකයන්ගෙන් ඔබට මොනවගේ සහයෝගයක්‌ ලැබෙනවාද?

මම ක්‍රීඩා කරන්න පටන්ගත්තේ එන්සීසී ක්‍රීඩා සමාජය එක්‌ක. එතැනදී මට උපුල් තරංග, මහරුෆ්, මුබාරක්‌, කපුගෙදර වැනි ප්‍රවීණ ක්‍රීඩකයන් මුණගැසුණා. ඔවුන්ගෙන් ලොකු අත්දැකීමක්‌ ලැබුණා.

රවින්දි ඇන්ජලෝව හමුවුණ විදිහ මතක්‌ කළොත්?

ඇන්ජලෝ කියන්නේ අයියාගේ යාළුවෙක්‌. අයියා පුහුණුවීම් අවසන් කරලා ගෙදර එන්න ඉන්න කොට මායි අම්මයි යනවා එයාව එක්‌කගෙන යන්න. එතැනදී තමයි මුලින්ම මට ඇන්ජලෝව හමුවුණේ.

ඇන්ජලෝ ආදර යෝජනාව කරපු වෙලාවේ මොකද හිතුණේ ?

එහෙම මතකයක්‌ නැහැ. හැබැයි ඉතිං මුලින්ම නම් බය හිතුණා.

ඇයි ඒ ?

මොකද අයියාගේ යාළුවෙක්‌ නිසා. මුලින්ම අපි යාළුවෝ විදිහට තමයි ආශ්‍රය කළේ. ඊට පස්‌සේ තමයි ඇන්ජලෝ ආදර යෝජනාවක්‌ ගෙන ආවේ.

ඇන්ජලෝගේ ක්‍රීඩා වැඩකටයුතුවලට ඔබෙන් මොනවගේ සහයෝගයක්‌ද ලැබෙන්නේ ?

මට පුළුවන් උපරිමයෙන් උදවු කරනවා.

ඇන්ජලෝගේ තියෙන විශේෂ ගතිගුණ?

හරිම හිත හොඳයි. මිනිස්‌සුන්ට හරිම ආදරෙයි.

ක්‍රිකට්‌ ක්‍රීඩකයෙක්‌ කියන්නේ හරිම කාර්ය බහුල චරිතයක්‌. ඒක කොහොමද පවුල් ජීවිතයට බලපාන්නේ ?

ඒකේ ප්‍රශ්නයක්‌ නැහැ. අපි සමබරව සියලු වැඩ කරගෙන යනවා.

Comments පලකිරීමට පහතට යන්න


Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Back to Top Button