පළකල දිනය : Tue, Jun 12th, 2018

රුපියල් 3500 කට මාලය උකස් කර කජු ලොව රජ ගමනක් ගිය රෝයල් කජු නිර්මාතෘ වෛද්‍ය රුවන්

අහස ගුගුර ගුගුරා මහා වැස්සක් ඇදහැලෙන්නට විය. සුළි සුළඟක් මෙන් හමා ආ කුණාටුව නිසා ගස් අතු ඉතිද කඩා වැටෙන්නට විය.

මේ ​ෙමාහොතේ පාරේ කිසිදු වාහනයක් හෝ ධාවනය නොවුණි. මේ වහින්නේ කල්පාන්ත වරුෂාවද? මඳකට ඔහු කල්පනාවේ නිමග්න වී සිට මෝටර් සයිකලය පණ ගැන්වූයේය.

‘මොන වැස්සක් ඇදවැටුණත් මම මේ ගමන යනවාමයි.’ යනුවෙන් ඔහු දැඩි තීරණයකට එළැඹිණි. නිවහන පිහිටියේ ගම්පහ කිරිඳිවිට පාරට නුදුරිනි. අහස් ගඟේ ජල කඳ මහ පොළොවට ඇද හැලෙන්නේ මහ මුහුද ගොඩගලන්නා සේය. ඒ නොපෙනෙන මාවත ඔස්සේ හුරුපුරුදුවට ඔහු මෝටර් සයිකලය ධාවනය කරමින් ඉදිරියටම ගියේය.

ඥානාන්විත කිසිවෙකු හෝ මෙවැනි මොහොතක මෝටර් සයිකලයෙන් තියා පයින්වත් ගමන් නොකරයි. එහෙත් යා යුතුව තිබූ ගමනාන්තය වූ පානදුරය බලා නොනවත්වාම ඔහු ධාවනයේ යෙදුණේය.

ඒ වන විට වයස අවුරුදු 22 ක් පමණ වූ ඔහු කටයුතු කළේ වෛද්‍ය ශිෂ්‍යයකු ලෙසිනි. ගම්පහ දිස්ත්‍රික්කයේ ඉහළින්ම ලකුණු ලැබූ සිසුවකු ලෙස කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත්ව සිටි මේ තරුණයා විසේකාර තරුණකමේ හයිය පෙන්වමින් කිසිදු බියක් නැතුව මෙලෙසින් මෝටර් සයිකලයෙන් පානදුරයට ගියේ තමාගේ අධ්‍යාපනයට අවැසි දෙයක් සඳහා නම් නොවීය.

නවතාවයකින් කජු අසුරා වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමේ අභිප්‍රායෙන්, ඇසුරුම් සඳහා අමුද්‍රව්‍ය ලබා ගැනීම වෙනුවෙනි. ‘වෛද්‍යවරයෙක් වෙන්න තියෙන මේ මිනිසාට මොන කජු බිස්නස්ද?’ සමහරු එලෙසින් සිතන්නට ඇත. එහෙත් ඔහු එසේ නොසිතීය.

එදා ඒ වැස්ස පටන් ගත්තෙ උදේ 8 ට විතර. පානදුරයට ගිහින් ආයෙත් මම ගෙදර එන විට හවස පහමාරට විතර ඇති. ඒ වෙනකනුත් දිගටම වැස්ස. හැබැයි එදා මම ඒ ගමන වැස්සට බිය වී නොගියේ නම් අද මේ ව්‍යාපාරය නැහැ. වෛද්‍යවරයෙක් විතරක්ම වෙන්නට ඉඩ තිබුණා.’

අද මෙසේ පවසන්නේ කජු අලෙවි ක්ෂේත්‍රයේ දිවයිනේ ප්‍රකට සහ ජාත්‍යන්තර වශයෙන්ද අලෙවි කටයුතු ව්‍යාප්තව ඇති ‘රෝයල් කජු’ සමාගමේ නිර්මාතෘවරයා වන වතුගල ගමගේ රුවන් චින්තක හෙවත් බොහෝ දෙනා දන්නා හඳුනන වෛද්‍ය රුවන් වතුගලය.

එදා ඔහු මෙම කජු ව්‍යාපාරයට අත ගැසුවේ මුදල් පොදි බැඳීමට තිබූ ආසාවකට නොවූ අතර තමාගේ අධ්‍යාපනය හා එදිනෙදා කටයුතු වෙනුවෙන් වියදමට කීයක් හෝ උපයා ගැනීම වෙනුවෙනි. නමුත් ගෙවෙන සෑම තත්ත්පරයකදීම, ගෙවන සෑම දිනයකදීම ඒ මොහොතේ කළ යුතු වූ දේ වෙනුවෙන් ඔහු වඩාත් අවංක විය. ඒ නිසා කරන දේ හරියට කිරීමත්, එයින් ඵල නෙළා ගැනීමටත් රුවන් උත්සාහ ගත්තේය. ඒ නිසාම වත්මනෙහි වෘත්තියෙන් වෛද්‍යවරයකු ලෙස කටයුතු කරන අතරේ දෙස් විදෙස් වශයෙන් සම්මාන හිමිකර ගත් ව්‍යාපාරයක හිමිකරුවකු ද වෙයි.

අපේ කජු ලොව ඉස්තරම්ම කජු ලෙස ලෝකයට ගෙන ගිය නිර්මාණශීලිත්වයක් මෙන්ම දැක්මක් ඇති අභියෝග ජයගත් ඵලදායි ව්‍යවසායකු ලෙස හැඳින්වීම වඩා හොඳය.

ඒ දැවැන්ත චින්තනයක් ඇති මිනිසාගේ කතාවද ඔබ කියවිය යුතුම යැයි අපි සිතුවෙමු. අපි ඔහුගේ පවුලේ විස්තර සමඟ මේ කතාවට අවතීර්ණ වෙමු.

‘අපේ තාත්තාගෙ ගම දෙණියාය. තාත්තාගේ පවුලේ ඔක්කොම 9 දෙනයි. එයින් අට දෙනෙක්ම උපාධිධාරින්. උපාධිධරයකු වූ තාත්තා රාජකාරි ආරම්භ කළේ මිනින්දෝරු නිලධාරියකු ලෙසයි.

අපේ අම්මා ගෘහණියක්. තාත්තා රැකියාව කරන නිසා අම්මා අපිව බලා කියාගෙන ගෙදරට කැපව සිටියා. මට අක්කලා දෙදෙනයි. දෙදෙනාම උපාධිධාරිනියන්. ලොකු අක්කා වරලත් ගෘහනිර්මාණ ශිල්පිනියක්. පොඩි අක්කා වෛද්‍යවරියක්. ලොකු අක්කා සහ පොඩි අක්කා විවාහ සිටින්නෙත් වෛද්‍යවරු එක්කයි. මම පවුලේ තුන්වැනියා. මල්ලි ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලයක් දරනවා.

අසූව දශකයේදී කොළඹට ඇවිත් පදිංචිය සඳහා ගම්පහ මේ පළාත තෝරාගෙන තිබෙනවා. අක්කලා දෙන්නයි, මායි, මල්ලියි මුලින්ම ගියේ ගම්පහ ගෝතමි විද්‍යාලයට. හතර දෙනාම ශිෂ්‍යත්ව කඩඉම සමත් වූ නිසයි අපට කොළඹ පාසල් ලැබුණෙ. මායි මල්ලියි කොළඹ රාජකීයට ඇතුළත් වූ අතර අක්කලා දෙදෙනා සිරිමාවෝ සහ දේවි බාලිකාවට​ තේරුණා.’

එලෙසින් රාජකීය විද්‍යාලයට ඇතුළත් වීම නිසා රුවන් සහ පවුලේ අයගේ දෛනික කටයුතුවල ද වෙනසක් සිදුවිණි. එනම් පාසල් සඳහා කොළඹ ඒමට සිදුවූ බැවින්, පාන්දර හතරට පමණ අවදි වීමට සිදුවිය. හිමිදිරි උදෑසන කොළඹ බලා පැමිණෙන ඔවුන් නැවත ගෙදර එනවිට සවස තුනහමාර පමණ විය. සමහරදාට සවස හතර ද පසුවී තිබිණ. මෙකී දිනවල ඔවුනගේ තාත්තා සිටියේ විදෙස්ගතවය. ඒ නිසාම පුංචි රුවන් හට පවුලේ කටයුතු ගැන සොයා බැලීමේ උනන්දුව තිබූ බව පවසයි.

‘මම පොඩියි. ඒත් පවුලේ වැඩවලට දායක වෙන්න පටන් ගත්තා. පාසල් යන කාලයේදීම තමයි කුඹුරක් ගත්තෙ. මේ කුඹුරෙ වැඩ නිසා තමයි මුලින්ම මට කළමනාකරණයේ අත්දැකීම් ලැබුණෙ. මිනිස්සු දම්මලා කුඹුරෙ වැඩ ටික කරවා ගැනීමටත්, හරක් පට්ටියේ වැඩ ගැනත් සොයා බැලුවා. එකතකට ඒක බොහෝම සුන්දර ළමා කාලයක්. කුඹුරෙ මඩේ බැහැගෙන වැඩ කළේ ලොකු උනන්දුවකින්. ඇළ් දොළේ දුව පැන කෙළි දෙළෙන් ගතකිරීම වගේම ඉරිදාට දහම් පාසලටත් ගියා. චිත්‍ර අඳින්නත් හොඳ දක්ෂතාවක් තිබුණා. චිත්‍ර තරගවලින් ජයග්‍රහණත් ලැබුවා.’

ළමාවිය සුන්දර ලෙසම එලෙසින් ගෙවූ රුවන් රාජකීයයට ගිය නමුත් රාජකීය බව ඇඟට අරගෙන කටයුතු කළේ නැහැ. ගමේ සාමාන්‍ය දරුවකු ලෙස ගැමි අසිරිය රිසි සේ විඳිමින් හැදී වැඩුණු ඔහු පොත පතේ වැඩද නියමිත පරිදි සිදු කළේය.

ඔහු සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත් වූ අතර ඊළඟ කඩඉම වූ උසස් පෙළද සමත් වූයේ දිස්ත්‍රික්කයේ ​ඉහළම ලකුණු ලැබූ සිසුන්ගේ නාම ලේඛනයට ඇතුළත් වෙමිනි. ඉංජිනේරුවකු වීමේ ආසාවක් ඔහුට තිබිණි. නමුත් එ් වනවිටත් පොඩි අක්කා වෛද්‍ය විද්‍යාලයට ඇතුළත්ව සිටීම නිසාත්, ලොකු අක්කාත් සරසවි තේරී සිටි නිසාත් අක්කලා දෙදෙනාගේ මග පෙන්වීම නිසා අවසන ඔහු උසස් පෙළට ලීවේ ජීව විද්‍යා අංශයෙනි.

‘ඉස්කෝලෙ වැඩ ගැන කියාදීම වගේම පොත පතේ වැඩ සියල්ල මටත් මල්ලිටත් කියලා දුන්නේ අක්කලා දෙන්නා සහ අම්මා. ඒ නිසා බාහිර වැඩ කළා කියා ප්‍රශ්නයක් වුණේ නැහැ. තාත්තත් ගෙදර නොසිටි නිසා වාහන පදවන්න පවා පුරුදු වුණා. සමහර විට තාත්තා හිටියා නම් පුංචි වයස නිසා ඒවා කරන්නට ඉඩ දෙන එකක් නැහැ.’

දැක්මක් ඇති මිනිසාට කළ හැකි දේ බොහෝය. රුවන් කොටස් වෙළෙඳපොළ ගැන උනන්දු වී ඇත්තේ උසස්පෙළ කරන සමයේදීමය.

‘ඒ කාලයේ මුලින්ම මම කොටස් සියයක් මිලදී ගත්තා.’ එසේ පවසන රුවන් එයින් විටෙක ලාභ ලැබූ අතර පාඩුද විඳ ගැනීමට සිදුවිණි. නමුත් ඔහු නිතරම දෙයක් උගෙන ගත්තේය. අත්දැකීම් ලැබුවේය.

‘කුඹුරෙන් කොහොමද අගයක් ගන්නෙ කියලා මම කල්පනා කළා. වී ටික අරගෙන නිකම්ම ගබඩා කර තබනවාට වඩා ඊට වටිනාකමක් දෙන්නෙ කොහොමද? කියලයි මම හිතුවෙ. වී වල අගය වැඩි කර ගත්තෙ ඒවා බිත්තර වී ලෙස විකිණීමට කටයුතු කළ නිසයි. වානිජ විෂය කර නොතිබුණත්, අගය එකතු කිරීමේ සංකල්පය ගැන සහ ඒ අත්දැකීම් ලබා ගැනීමට මේ වැඩ නිසා මට පුළුවන් වුණා.’

මෙවැනි චින්තනයක් ඇතිව කටයුතු කළ රුවන්ගේ ඒකායන අරමුණ වී තිබුණේ උසස් පෙළින් පසුව ගෙදරට බරක් නොවී කටයුතු කිරීමටය. සරසවි ජීවිතයේදී අවශ්‍ය සියලු විය පැහැදම් වෙනුවෙන් තමන්ම යමක් උපයා ගෙන ඒවා කළ යුතුය යන්න ඔහු විශ්වාස කළ දහම විය.

‘එතකොට මගේ වයස අවුරුදු 22 යි. වෛද්‍ය ශිෂ්‍ය ජීවිතයේදී වියදම් කිරීමට ඇති සල්ලි මම විසින්ම හොයා ගන්න ඕනෑය කියලා විශ්වාස කළා. ව්‍යාපාර කිරීමේ ආසාවට වඩා මට තිබුණේ ඒ අදහසයි.’
එහෙම නම් ’කජු’ ව්‍යාපාරයේ සංකල්පය ඇති වුණේ කොහොමද? ඔහුගෙන් ඇසිය යුතුම වූ පැනය එයයි.

අපේ පළාතේ කවුරුත් පාහේ නියැලී සිටියේ කජු ව්‍යාපාරයේ. නමුත් එය සාම්ප්‍රදායිකව කෙරෙන යල් පැනගිය ස්වභාවයකින් තමයි පැවතුණේ. කජු එකතු කෙරෙනවා. ඊළඟට ගෝනි මලු වලට පුරවනවා. ගිහින්​ වෙළෙන්දාට දෙනවා. මේ වගේ දෙයක් තමයි සිද්ධ වුණේ.

මගේ මිතුරකුගේ පියා මේ කජු ව්‍යාපාරයේ නිරතව සිටියා. එයාලගෙ ගෙදර යන එන අතරවාරයේදී තමයි ‘කජු’ ව්‍යාපාරයක් කළොත් හොඳය යන්න අදහස ආවේ.

හැබැයි යල්පැන ගිය ක්‍රමයට සහ ගතානුගතික විදියට එය කරන්න ඕනෑ වුණේ නැහැ. අලුත් විදියකට අලුත් හැඩයකට, මීට වඩා වටිනාකමක් ඇතිවන විදියට කළොත් හොඳ බව මගේ අදහස වුණා. අපේ තේ ලෝකයේ ඉස්තරම්ම තේ ලෙස ප්‍රකට වගේම අපේ ‘කජු’ ලෝකයේ හොඳම කජු වගත් මම දැනගෙන හිටියෙ. එ් නිසා මීට වඩා වටිනාකමක් ඇතිව ලෝකයට කජු යවන්න පුළුවන් වග මට තේරුණා.

මේ වැඩේ පුංචියට වුණත් ක්‍රමවත් පිළිවෙළකට කිරීම හොඳ බවයි හිතුවෙ. මුලින්ම මගේ යාළුවාගේ තාත්තාගේ කජු ව්‍යාපාරයෙන් කජු ප්‍රමාණයක් ඉල්ලා ගත්තා. මගේ ඔළුවෙ තිබුණු සංකල්පයට අනුව කජු වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම නම් හොඳ ඇසුරුමක් සහිතව එය කළ යුතුයි. පානදුරේ තැනක හොඳ ඇසුරුම් අමුද්‍රව්‍ය ඇති වග දැනගෙන හිටියා. ගෙනාපු කජු අපේ ගෙදර වී ද‌ාපු කාමරයේ තැන්පත් කළා. මේ වැඩේ වෙනුවෙන් ටිකක් පිළිවෙළකට ඒ කාමරය හදාගෙන තිබුණෙ.

එද‌ා මට ලොකුම අභියෝගය වුණේ ගම්පහ සිට පෙර කී විදියට වැස්ස පැවැති දවසක පානදුරයට යාමට සිදුවීමයි. හැබැයි බැරි වෙලාවත් එදා මම පානදුරයට නොගියේ නම්? අද මේ වගේ ව්‍යාපාරයක් නැහැ. රෝයල් කජු කියලා එකක් කොහෙත්ම ඇති වන්නෙත් නැහැ. මහ වරුෂාවකට බිය වී මා ඒ ගමන නතර නොකිරීම තමයි අද මේ ව්‍යාපාරය බිහිවීමේ රහස වුණේ’

රුවන් ඒ සියල්ල එලෙසින් කළේ කොළඹ වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය සිසුවකු ලෙස උගෙන ගනිමින් සිටියදීමය. මේ කජු වැඩේ නිසා විටෙක ලෙක්චර් පවා ඔහුට මග හැරිණි. එවිට අවශ්‍ය සටහන් වෛද්‍ය විද්‍යාලයේ අනෙකුත් යාළුවන්ගෙන් ඉල්ලා ගෙන පාඩම් කටයුතු වලද යෙදුණේය. පානදුරයෙන් ඇසුරුම් බඩු ගෙනා ඔහුට ඊළඟට ඇතිවූ ප්‍රශ්නය වූයේ ලේබලයක් තනා ගැනීමය.

පාසලේදී බාහිර ක්‍රියාකාරකම්වල යෙදී සිටි සමයේදී ඔහු ඡායාරූපකරණය ගැනද උනන්දු වූවෙකි. ඒ නිසා කජු මිටක් ගෙන එය කුඹුරේ තැනෙක තබා ඔහු ඡායාරූප කීපයක් ගත්තේය. ඉන්පසු ලේබලය සෑදීමට අවශ්‍ය ආකෘතිය නිමැවුණේද ඔහු අතිනි. චිත්‍ර ශිල්පයටද හැකියාවක් තිබීම නිසා ඒ කටයුතු ඔහුට පහසුවක් විණි. ලේබලය මුද්‍රණය කරවා ගැනීම සඳහා තැනකට ගිය පසු අමුතුවෙන් ආට් වර්ක් එකක් කිරීමට අවශ්‍ය නැතැයි මුද්‍රණාල හිමියා කීය.

‘නැහැ. මම මේ ගෙනාවේ සැළසුම විතරයි.’ රුවන් එලෙස කීවද මුද්‍රණාල හිමිකරු පවසා ඇත්තේ ‘මේක මේ විදියට කරමු’ කියාය. ලේබලයේ කටයුතු ද නිම වූයේ එලෙසිනි. එතකොට මේ ‘රෝයල්’ කියන නම ආවේ කොහොමද?’ අපි රුවන්ගෙන් විමසීමු.

‘නමක් හොයාගෙන යද්දී අපේ අක්කා තමයි කිව්වේ ඔයා ඉතින් රෝයල් නෙ. ඉතින් ඒක හොඳනෙ කියලා. ඒ විදියට රෝයල් නාමයත් ආ නිසා මේක රෝයල් විදියටම නැතිනම් උසස් තත්ත්වයෙන්ම කළ යුතුය යන හැඟීම තවත් වැඩි වුණා.’

රුවන්ගේ හිතේ මැවී තිබුණ රාජකීය කජු වෙළෙඳපොළට මුසු කිරීමේ මුලික කටයුතු එලෙසින් නිම වී තිබිණ. නමුත් මේ සියලු කටයුතු කරගෙන යාම සඳහා කිසියම් හෝ ප්‍රාග්ධනයක් වැය කළ යුතුම වේ. ඒ සඳහා මහපොළ ශිෂ්‍යත්වයෙන් ලද රුපියල් 2500 ක මුදලක් ඔහු එකතු කරගෙන තිබිණ.

ඊට අමතරව තවත් මුදල් අවැසිව තිබූ බැවින් ඔහු සතු වූ මාලය උකසට තබා රුපියල් 3500 ක් පමණ ලබා ගත්තේය. මේ කජු ව්‍යාපාරය පුංචියට වුණත් ඉස්තරම්ම රත්තරන්ම විදියට කළ යුතු වූ නිසා විවිධ දේ වෙනුවෙන් මුදල් වියදම් කිරීමට සිදුවූ නිසා තම හිතවත් අයියා කෙනෙකු වූ සුරවීර අයියාගෙන් ද ණයට මුදලක් ලබා ගත්තේය.

‘මල්ලී මේ මුදල අරගෙන ඔයාට කැමැති දෙයක් කරන්න.’ කියා සුරවීර අයියා රුවන් මල්ලීට මුදලක් දුන්නේ බොහොම සත්භාවයෙනි.’

රුවන් අදද එය සිහිපත් කරන්නේ ගෞරවයෙනි. එමෙන්ම තමාගේ මිතුරා සහ ඔහුගේ පියාගෙන් ලද සහයෝගයද කෘතවේදීව සිහිපත් කරයි. එදා වී දාන්න හදපු කාමරය සහ ගරාජය දෙස ද ඔහු ආදරණීයව බලන්නේය. ඒ වෙන කිසිවක් නිසා නොවේ ‘රෝයල් කජු’ පටන් ගත්තේ එකී ස්ථානයේදී වීම නිසාය.

‘ඇත්තම කිව්වොත් එදා මට ලේබල් එක වර්ග හතරකට මුද්‍රණය කරවා ගත යුතු වුණා. ඒත් ඒකට ප්‍රමාණවත් මුදලක් මා ළඟ තිබුණෙ නැහැ. මාලය උකසට තබා සුරවීර අයියත් පසුව උදව් කළ නිසා මට යන්තමින් හිස ඔසවන්න පුළුවන් වුණා.

නියමිත ඇසුරුම්වල නියමිත විදියට කජු අසුරා වර්ග තුනකට වෙන්කර ගත් පසු ඒවා සුපර්මාකට් වෙත යොමු කිරීම අරමුණු කරගත්තා. ඒත් මේ වන විට මට තිබුණු ලොකුම ප්‍රශ්නය වුණේ කාලය පිළිබඳව වූ ප්‍රශ්නයයි. මෙඩිකල් කොලේජ් එකට ඇවිත් එහි ඉගෙනීම් කටයුතු අතරේ පහු පහු වන විට උදෑසන 7 සිට 12 දක්වා අනිවාර්යයෙන්ම රෝහලේ සිටිමින් කටයුතු කිරීම අපට පැවරී තිබුණා. සමහරදාට ලෙක්චර්ස් පවා මට මග හැරුණා. දැන් මම මොකද කරන්නෙ කියලා හිතලා ඊට විසඳුම මමම හොයා ගත්තා.

රාත්‍රී 9 වන විට නින්දට ගිහින් රාත්‍රී 2 කට අවදි වීම කළොත් කාලය හොඳට කළමනාකරණය කරගත හැකියි.’ එහෙම හිතලා පාන්දර 2 කට හැමදාම අවදි වීම පුරුද්දක් කර ගත්තා.

​ෙමා්ටර් බයිසිකලයෙන් තමයි මම වෛද්‍ය විද්‍යාලයට ආවේ ගියේ. උදේ පාන්දර ආවාම නිදිමත වැඩියි. ළඟම තිබුණු රහුමානියා එකට ගිහින් තේ එකක් බීලා නිදිමත නැතිකර ගත්තා. ඇත්තම කිව්වොත් පාන්දර දෙකට අවදි වී පාඩම් කිරීම මට ලොකු පහසුවක් ගෙන දුන්නා. මොකද ඒ වෙලාවට මුළු ලෝකයම නිදි. පරිසරය නිශ්ශබ්දයි.’

රුවන් අදද පාන්දර තුනට අවදි වීමට පුරුදුව සිටී, ඔහු පවසන පරිදි රාත්‍රී දහය එකොළහ වන තෙක් නොසිට කලින් නින්දට ගොස් හිමිදිරියට පෙර අවදිවීම නිසා මිනිසකුට එදිනට නියමිත වැඩ ඉතා හොඳින් කරගත හැකියි. එමෙන්ම කාලය පිළිබඳව ගැටලුවක් තිබෙන සිසුනට කාලය ගැටලුවක් නොවන වගත්, ගැටලු හදාගන්නේ තමුන් විසින්ම බවත් රුවන් ප්‍රකාශ කරන දෙයකි. හැබැයි ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරක් ඇති වගත් ඔහු ප්‍රත්‍යක්ෂ කරයි.

එදා රෝයල් කජු ව්‍යාපාරය සුළුවෙන් අරඹා සෑහෙන කාලයක් යනතෙක් එහි සියලු කටයුතු උදෙසා උරදී වෙහෙස මහන්සි වී කටයුතු කළේ තනිවම වීම ද ඔහු සතු සුවිශේෂත්වයකි.

එද‌ා ඔහුට යම්තාක් හෝ සහනයක් ගෙන දුන්නේ හොඳම මිතුරා තමා සමඟ සිටි බැවිනි. අතීතයේ කිසිවක් ඔහු අමතක කර දමා වර්තමානයේදී රාජකීය තේජස අරගෙන කටයුතු කරන්නෙකු නොවේ. නවතාවයකින් එදා රෝයල් කජු වෙළෙඳපොළට ඉදිරිපත් කළ නිසා කාගිල්ස් සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙතද රෝයල් කජු බෙදා හැරීමේ ඇණවුම් ඔහුට ලැබිණි. විටෙක එක් ආයතනයක් ඔහුගේ නිෂ්පාදන වෙනුවෙන් දුන් වටිනාකම ඔහුට පාඩු ගෙන දුන්නද වෙළෙඳ කටයුතු සඳහා එම සමාගම ප්‍රචාරණයට හොඳ වූ බැවින් පාඩු විඳගෙන පවා ඔහු නිෂ්පාදන ඊට යොමු කළේය.

හැබැයි පාඩුව නැතිකර ගත්​ෙත් පුත්තලම වැනි දුර ප්‍රදේශ වෙත ගොස් ඔහු කජු රැගෙන ඒම හේතුවෙනි. ටිකෙන් ටික දිනෙන් දින රෝයල් කජු ආයතනයට වටිනාකමක් ඔහු ගෙන දුන්නේ වෛද්‍ය සිසුවකුට එහා ගිය ඉංජිනේරු ඥානයක්ද ඔහු සතු වූ නිසාය.

විටෙක පරණ බඩු කඩවලට ගොස් යකඩ අමුද්‍රව්‍ය ගෙනැවිත් තමාගේ කජු ව්‍යාපාරයේ කටයුතු සඳහා අත්‍යවශ්‍ය වූ යන්ත්‍ර තනා ගැනීමේ ඥානය පවා ප්‍රායෝගිකව ඔහු සතු විණි.

සහතික වශයෙන්ම මේ වෛද්‍ය රුවන් ගැන ලිවීමට කියවීමට ඇති දේ නම් බොහෝම වේ. ඒ අතරින් ඔහු වෛද්‍ය ක්ෂේත්‍රයට ආ මුල් දිනවල මුහුණ දුන් සිදුවීම් ගැන ද සඳහන් කළ යුතුමය. කජු ව්‍යාපාරයේ කටයුතු පණ ගසා එද්දී ඔහුට පත්වීම ලැබුණේ යාපනය වෙතය. එවකට උතුරේ යුද්ධය දරුණුවට පැවැති සමය විය. ඇමතුමක් පවා ගැනීමේ පහසුකම් මග හැරී තිබිණි. ඒත් මේ මිනිසා ඔහුගේ ඈත දුර දන්නා නුවණ අනුව ඒ සියල්ලට මුහුණ දුන්නේය.

මම මගේ රටට සේවය කළ යුතුමයි. ඒ නිසා යාපනයට යාමට මට සිදුවුණේ පළමු වතාවේදී මම කජු ව්‍යාපාර වැඩ නිසා වසරකට සේවය සඳහා අයදුම් කර නොතිබීම නිසයි. ඒ නිසා ලිස්ට් එකේ අන්තිමට මගේ නම ගියා. එහෙම වුණාම දුෂ්කර පළාතකට යා යුතුමයි.

යාළුවෝ එදා මාව වළක්වන්න හැදුවත් මුල් වතාවෙ මා මගේ පහසුව උදෙසා කටයුතු කළේ නැහැ. මගේ මිතුරන් මට හරි ආදරෙයි. ‘ඇයි ඔයා මේ සැරේ අයැදුම් නොකරන්නේ.’ කියලා එයාලා මට කිව්වේ ආදරයටයි. හැබැයි මම යාපනයට ගිහින් එදා ඒ සේවයත් ලබා දුන්නා. ඊළඟ වසරේ අම්පාරටත් මගේ සේවය ලබා දුන්නා.

මෙසේ පවසන මේ වෛද්‍ය රුවන් වතුගල අද සේවය ලබා දෙන්නෙ සීදුව විජය කුමාරතුංග අනුස්මරණ රෝහ​ලේ සිටයි. ඒ නිසා අද තමාගේ මේ ව්‍යවසායකත්වයේ ගමනට පහසුවක් වී තිබුණද ඒ පහසුව ඔහුට ලැබී ඇත්තේ එදා කළ අප්‍රමාණ වූ කැපකිරීම් ගොන්න නිසාය. හදිසි අනතුරු අංශයේ වෛද්‍යවරයකු ලෙස කටයුතු කරන නිසා රැයක් දවාලක් නොමැතිව ඔහු ඔහුගේ සේවය යහගුණයෙන්ම ලබා දීමට අදද වග බලා ගනී.

මේ වන විට රෝයල් කජු රාජකීය ගමනකට අවතීර්ණව සිටී. එනම් ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, යුරෝපයේ රටවල් කීපයක් ද සමඟ මැලේසියාව ඇතුළු ආසියාතික රටවලට ද අපනයනය කෙරෙන නිසාය. ඒ කටයුතු සිදු කෙරෙන්නේ කජු නිෂ්පාදනය සහ ආහාර නිෂ්පාදන සඳහා ගත යුතු අන්තර්ජාතික තත්ත්ව සහතිකය ද ඇතිවය. සරලව කිවහොත් ​ෙරා්යල් කජු යනු ආසියාවේ උසස් ප්‍රමිතියෙන් යුතුව ආහාර නිෂ්පාදනය කරන ආයතනයකි. ඒ වෙනුවෙන් දේශීය සහ අන්තර්ජාතික වශයෙන් ලද සම්මාන සහතික බොහෝය.

‘අපි දෙයක් හරියට කරනවා නම් අපනයන මණ්ඩලය අපට අවංකවම උදව් කරනවා. එදා මට මැලේසියාවට ප්‍රථම වරට අපේ නිෂ්පාදන යැවීම සඳහා කජු සංස්ථාවත්, අපනයන මණ්ඩලයත්, ශ්‍රී ලංකා ඇසුරුම් ආයතනයේ හිටපු සභාපති ජේ.ඩී.සී. පෙරේරා මහතා ඇතුළු තවත් ආයතන කීපයකුත් උදව් කළා. ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයත් වෙසෙසින් උදව් කළා. දයා ගමගේ මහතාගේ නාමයත් එහිදී සිහිපත් කළ යුතුමයි. ලෝක බැංකු ආධාර සඳහා නිර්දේශ වූ පළමු සමාගම් හත අතරට අපේ රෝයල් කජු ආයතනයත් ඇතුළත්.’

විටෙක සමහරු පවසන්නේ යමක් ලෙහෙසි පහසු වූ විට එය ‘කජු කන්නා’ වාගෙ වැඩක් යනුවෙනි. එමෙන්ම කජු යනු කන තරමට තවත් කෑමට රුචියක් ඇති කරවන දෙයකි. නමුත් මේ වෛද්‍ය රුවන්ගේ වඩාත් ප්‍රායෝගික වූ ව්‍යවසායකත්වයේ ගමන නම් කජු කන තරමට ලෙහෙසි නොවීය. අද දරු දෙදෙනෙකුගේ ආදරණීය පියකු වන ඔහු බිරිඳට ආදරණීය සැමියෙකි.

ඔහුගේ එකම මල්ලී කළ යෝජනාවකට අනුව නගර පුරා ‘කජු සල්’ විවෘත කිරීමටද ඔහුට හැකිවිණි. එදා ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙත පාර කියූ මිනිසකු ගැන ද ඔහු වඩාත් නිහතමානීව සිහිපත් කරයි. උදව් කළ සියලු දෙනා සිහිපත් කරවමින් යහගුණයෙන් සපිරි ගමනක යෙදෙමින්, කජු ලොව ජයගත් රාජකීය ගමනේදී වෛද්‍ය රුවන් වතුගලට ජීවිතය දෙස ආපසු හැරී බලද්දී ඇතිවන හැඟීම කුමක් විය හැකිද?

‘ජීවිතයේ ආපස්සට හැරිලා බලද්දී මට හරි සන්තෝෂයි. සෑහෙන පිරිසකට රැකියා විවර කර දෙන්න වගේම රටට වි​ෙද්ශ විනිමය ගෙනැල්ලා දෙන්නත් හැකි වුණා.

අදටත් සරසවිවල උගෙන ගන්නා ළමුනට මම කියන්නෙ අපට අවස්ථා ඕනෑ තරම් තියෙනවා. එය හඳුනාගෙන නියමිත දේ නියමිත වෙලාවට කරන්න කියලයි. කාලය බෙදාගෙන ඒ සෑම තත්පරයකටම අපි අවංක විය යුතුයි. එදා මම මුලින්ම මේ කටයුත්තට මුල පිරුවෙ මාලය උකස් කරලා රුපියල් 3500 ක් අරගෙන. මම අවස්ථා සොයා ගත්​ෙත මේ පරිසරයෙන්මයි. ඒවා සොයා ගෙන ඊට ආදරය කළා.

එදා මෝටර් සයිකලයේ තෙමී ගෙන ගියේ ආසාවෙන්, පාන්දර නැගිට්ටේ ආසාවෙන්. පාඩම් කළේ ආසාවෙන්. අද මම රෝගීන්ට වෛද්‍ය සේවය ලබා දෙන්​ෙන් ආසාවෙන්.

බිරිඳ දරුවෝ යාළු මිත්‍රයින් එක්ක කටයුතු කරන්නේ ආසාවෙන්. අභියෝග රැසක් මා ඉදිරියේ තිබුණා. ඒවා මග හැර පලා ගියේ නැහැ. මොකද ජීවිතයේ කෙටි මාර්ග නැහැ. අභියෝගවලටත් මම මුහුණ දුන්නෙ ආසාවෙන්.’

උපුටාගැනීම – ලංකාදීප

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button