පළකල දිනය : Thu, Jun 14th, 2018

පොලිස්‌ කාන්තාවන්ගේ “ආදරයට” වහවැටුණු ස්‌ත්‍රි දූෂකයා දැලේ !

දෙමාපියන් සමග අමනාප වී නාවලපිටියේ සිට කොළඹ පැමිණි රූමත් නිවුන් දැරියන් දෙදෙනා දූෂණය කොට වසරක්‌ පුරා සැඟව සිටි බව කියන ප්‍රධාන සැකකරු පොලිස්‌ කාන්තාවන් දෙදෙනකුගේ උපක්‍රමශීලී ක්‍රියාමාර්ගයකින් පේරාදෙණිය ප්‍රදේශයට ගෙන්වාගෙන අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මාතර වලස්‌මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවන් දෙදෙනකු ලෙස පෙනී සිටි පොලිස්‌ කාන්තාවන් වූ නාවලපිටිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති උ.පො. පරීක්‌ෂිකා ශ්‍යාමලි සහ කාන්තා පොලිස්‌ කොස්‌තාපල් (3660) සමන්මලී යන දෙදෙනා මෙම සැකකරුට ඉමෝ තාක්‌ෂණයෙන් සම්බන්ධ වී දැඩි ලෙස ආදරයක්‌ දක්‌වා මෙසේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය අසල ගලහ මංසන්ධියට ගෙන්වා ගෙන තිබේ.

ළමා හා කාන්තා අංශයේ ස්‌ථානාධිපතිනි මුලින්ම ඔහුට ආදරය කරන බව පෙන්වා ඇති අතර ඇයගේ විශ්වවිද්‍යාල යෙහෙළිය ලෙස පෙනී සිටි සමන්මලීද ඇයට හොරෙන් මොහුට ආදරය කරන බව පෙන්වා ඇත.

නාවලපිටිය වෙරළුගස්‌හින්න ප්‍රදේශයේ පදිංචිකාරියන් වූ 15 හැවිරිදි වියේ පසුවූ මෙම නිවුන් දැරියන් දෙදෙනා නිවසේ අය සමග අමනාප වී කාටවත් නොකියා හොර රහසේ කොළඹට පැමිණ තිබේ.

ඔවුන් දෙදෙනා පිටකොටුව බස්‌ නැවතුම්පළේ සිටියදී මෙම සැකකරු ත්‍රිරෝද රථයකින් පැමිණ මෙම දැරියන් දෙදෙනාට රැකියාවක්‌ දෙන බව පවසා ලියගම ප්‍රදේශයට රැගෙන ගොස්‌ බෝඩිම් කාමරයක තබාගෙන දූෂණයට ලක්‌ කොට ඇතැයි වාර්තා වේ.

මේ අතර දැරියන් දෙදෙනා අතුරුදන් බවට නාවලපිටිය පොලිසියට ලැබුණු පැමිණිලි පරීක්‌ෂා කරද්දී ඔවුන් කොළඹ ප්‍රදේශයේ සිටියදී සොයාගෙන උසාවි මාර්ගයෙන් පරිවාස ගතකොට තිබේ.

මෙම සැකකරු පිළිබඳව දැරියන් නිසි තොරතුරක්‌ නොදන්නා බව හෙළිවීම මත ලැබී තිබූ සාමාන්‍ය තොරතුරකට අනුව ඔහු සොයා පරීක්‌ෂණ සිදුකර ඇත.

ඉමෝ තාක්‌ෂණය ඔස්‌සේ ඔහු සම්බන්ධ කරගත හැකි බව දැනගත් පොලිස්‌ කාන්තාවන් ඔහුට ව්‍යාජ ආදරයක්‌ පෙන්වා මෙම අත්අඩංගුවට ගැනීමට සූක්‍ෂමව සිදුකර ඇත.

සැකකරු මාතර වලස්‌මුල්ල ලියගම ඇඟලුම් කම්හලක සේවය කරන්නකු බව හෙළිවී ඇත. ඔහු ඊයේ (13දා) දින නාවලපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබිණි.

ගම්පොල කොට්‌ඨාසභාර පොලිස්‌ අධිකාරි විකුම් ගිනිගේ, සහකාර පොලිස්‌ අධිකාරි චන්ද්‍රසේන බණ්‌ඩාර, නාවලපිටිය පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍ර.පො.ප. සුජීව ද සොයිසා යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත කාන්තා උ.පො.ප. ශ්‍යාමලී, කාන්තා පො.කො. සමන්මලී පො.කො. (37426) ජයසේකර යන නිලධාරීහු පරීක්‌ෂණ සිදු කළහ.

ගම්පොල – සුරංග දිල්හාන්

Comments පලකිරීමට පහතට යන්න


Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Back to Top Button