පළකල දිනය : Sun, Jun 17th, 2018

ටෙලි නිළිය පොලිසියට මාට්ටු වුන ලීක් වෙච්ච සම්පුර්ණ කතාව මෙන්න

ගම්පහ, කිඩගම්මුල්ල ප්‍රදේශයේ පසුගිය කාලයේ ප්‍රසිද්ධ සංචාරක හෝටලයක් පවත්වාගෙන යනු ලැබිය.

නමුත් එහි හිමිකරු මියයාමෙන් පසු ඔහුගේ පවු‍ලේ සමාජිකයින් විසින් මෙම හෝටලය ප්‍රදේශයේ පදිංචි අයකුට මාස තුනක කාලයක් සඳහා බද්දට දුන්නේය.

සංචාරක හෝටලය බද්දට ගත් පුද්ගලයා එහි වෙනත් ජාවාරම් කටයුතුද සිදුකරන බවට ප්‍රදේශවාසීන්ගෙන් ‍පොලිසියට වරින් වර තොරතුරු ලැබිම නිසා මෙම ස්ථානය පිළිබඳව ‍පොලිසියේ උකුසු ඇස යොමුවන්නට විය.

කැරෝකේ ශාලාවක් මුවාවෙන් එහි පවත්වාගෙන යන ගණිකා ජාවාරම ගැන ගම්පහ මූලස්ථාන ‍පොලිස් ස්ථානාධිපති ලක්ෂ්මන් බණ්ඩාර මහතාට දැනගන්නට ලැබුණේ ඒත් එක්කමය. ඒ පිළිබඳව මූලස්ථාන ‍පොලිස් ස්ථානාධිපතිවරයා දැඩි විමරම් කළේය.

ඒ ගැන ගම්පහ කොට්ඨාස භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල, ‍පොලිස් අධිකාරී සේනාපති සිල්වා යන මහත්වරුන්ද දැනුවත් කර ඔවුන්ගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ධර්මසූරිය මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සමග ඉකුත් 10 දා අලුයම් කාලයේදී ගණිකා මධ්‍යස්ථානය වැටලීමට ගියේය.

ඒ වන විටත් එහි කොල්ලකරුවෝ විශාල පිරිසක් මත්වී විනෝදවෙමින් සිටියහ. කාන්තාවන් කිහිප දෙනෙකුද එහි විය. මෙම කැරෝකේ මධ්‍යස්ථානයට ඇතුළුවීමේ ගාස්තුව ලෙස රුපියල් පන්සියයක මුදලක් අය කෙරිණි. කැරෝකේ ශාලාව තුළදී ලබා ගන්නා මත්පැන් හා අනෙකුත් දෑ සඳහා වෙන වෙනම ගෙවිය යුතුය. ඒ සඳහා අය කෙරෙන්නේ ඉහළ මිල ගණන්ය. ඔවුන් එහි ඇතුළු වී සිටියේ එකී මුදල්ද ගෙවමිනි.

කැරෝකේ ශාලාව තුළ කුඩා කුඩා කාමර කීපයක්ද විය. කැරෝකේ ශාලාවේ රැඟුම් දක්වන කාන්තාවන්ට වැඩි මුදලක් ගෙවා ඇතමුන් ඔවුන් සමග රාත්‍රිය ගත කරනු ලැබුවේ මෙම කාමර තුළය.

එක් කාන්තාවක් සමග රාත්‍රිය ගත කිරීම සඳහා රුපියල් පන්දහසක් හෝ ඊට වැඩි මුදලක් අය කරනු ලැබිණි. මධු විතෙන් මත්වන බොහෝ දෙනා මෙම කාන්තාවන්ගේ පහස විඳීමට අතදිගහැර මුදල් වියදම් කළේය. ඒ වන විටත් එම කාමර පිරී තිබුණේ මත්වූ තරුණයන්ගෙනි.

කැරෝකේ ශාලාවේ රැඟුම් දක්වන මුවාවෙන් කාන්තාවන් කිහිප දෙනෙකුම මෙහි ගණිකා වෘත්තියේ නිරත විය. මෙහි සේවයේ යෙදීසිටි පිරිස ගණේමුල්ල, වැලිවේරිය, රන්‍පොකුණගම, දාරළුව ආදී ප්‍රදේශවල පදිංචිකාරයෝය.

එම අය කාන්තාවන් අවුරුදු තිහත් හතළිහත් අතර වයස්වල පසුවන්නියන්ය. ඔවුන් සියලු දෙනාම විවාහකය. දරුවන්ද සිටී. නමුත් පවුල් ආරවුල් හේතුවෙන් ඔවුන්ගේ සැමියන් හැරගොස් ඇත. මේ නිසා මෙම කාන්තාවන් පිරිස මෙම කැරෝකේ මධ්‍යස්ථානයට සම්බන්ධවී ආදායමක් ඉපැයූහ. ඒ තම අඟපසඟ විකුණමිනි.

‍පොලිසිය එම කාන්තාවන් අත්අඩංගුවට ගෙන වෙන වෙනම ප්‍රශ්න කළේය. එම පිරිස අතර දැක පුරුදු මුහුණක්ද විය. ඇය දීර්ඝ කාලයක් තිස්සේ රූපවාහිනී නාළිකාවක විකාශනය වන නාට්‍යයක රඟපාන නිළියක් වූවාය. ඇය තවත් නාට්‍ය දහයකට වැඩි ප්‍රමාණයක සහ චිත්‍රපටයකද රඟපා සිටියාය. ඇය කුමන හේතුවක් මත ගණිකා වෘත්තියේ යෙදෙන්නේදැයි ‍පොලිසියේ නිලධාරීන්ටද ප්‍රහේලිකාවක් විය. ‍පොලිස් නිලධාරීන් ඇගෙන් දිගින් දිගටම ඒ ගැන ප්‍රශ්න කරන්නට ගත්තේය.

පසුගිය කාලයේ මෙගා ටෙලි නාට්‍ය රූපවාහිනී නාළිකා ඔස්සේ දීර්ඝ කාලයක් විකාශනය වීමත්, එම ටෙලි නාට්‍ය සඳහා අඩු ලංසුවලට නවක රංගන ශිල්පිනියන් යොදා ගැනීමත් නිසා ක්ෂේත්‍රයම කඩාවැටීමක් සිදුව තිබුණි.

මෙම රංගන ශිල්පිනියට රඟපෑමට ලැබෙන ටෙලිනාට්‍ය ප්‍රමාණය එන්න එන්නම අඩුවිය. ක්‍රමයෙන් වියපත් වෙමින් සිටි ඇය හතළිස් හැවිරිදි වියෙහි පසුවීම නිසා ඇයට ලැබුණු ටෙලිනාට්‍යවල ඇයට හිමිවූයේ කුඩා චරිත නිරූපණය කිරීමටය. ඉන් ප්‍රමාණවත් ආදායමක් ඇයට නොලැබුණාය.

මෙම ටෙලිනාට්‍ය නිළිය සියඹලාපේ ප්‍රදේශයේ පදිංචිකාරියක වූවාය. ඇගේ සැමියා ඇය අතහැර යාමෙන් පසු ජීවත්වීම සඳහා මෙම හෝටලයට දිගු කාලයක සිට සම්බන්ධවී ඇත. ඇය ‍පොලිස් නිලධාරීන් හමුවේ කියා සිටියේ තමා කැරෝකේ ශාලාවේ රැඟුම් දැක්වීමට පමණක් කාලයක සිට පැමිණෙන බවය. නමුත් ඇය ගණිකා වෘත්තියේද යෙදුණු බව ‍පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය. ඇය සමග යහන්ගත වන්නන්ගෙන් පැයකට රුපියල් පන්දහසකට වැඩි මුදලක් අය කෙරිණි. රැය පහන් කරද්දී මේ රංගන ශිල්පිනිය විසි තිස් දහසක් උපයා ගත්තාය.

ප්‍රසිද්ධ මෙම නිළිය සමග ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවන් හත් දෙනෙකු සහ ගණිකා මධ්‍යස්ථානයේ කළමනාකරු, ඔහුගේ ගෝලයාද ගම්පහ මූලස්ථාන ‍පොලිසියේ නිලධාරීන් එම වැටලීමේදී අත්අඩංගුවට ගත්තේය.
උපත් පාලන කොපු රැසක්ද ‍පොලිසිය එම හෝටලයේ කාමරවල තිබි ඒත් එක්කම සොයා ගත්තේය. ඊට අමතරව විවිධ ලිංගික උත්තේජන ද්‍රව්‍යද එහි තිබුණේය.

ගණිකා වෘත්තියේ යෙදුණු ටෙලි නිළිය සහ අනෙකුත් කාන්තාවන් පිරිස ගම්පහ වැඩ බලන මහෙස්ත්‍රාත් පද්මා අමරතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙමස 18 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. ඒ අනුව සමාජ රෝග පරීක්ෂාවකට යොමු කරවීමටද නියෝග කෙරුණේය.

පසුගිය කාලය තුළදී ‍පොලිසිය කොළඹ හා අවට ප්‍රදේශයේ ගණිකා මධ්‍යස්ථාන තුළ කරන ලද වැටලීම්වලදී ගණිකා වෘත්තියෙහි යෙදුණු ප්‍රසිද්ධ නිළියන්, ආධුනික නිළියන් රැසක් අත්අඩංගුවට ගන්නා ලදි.

සිය වෘත්තියට නිඟා දෙමින් ගණිකා වෘත්තියට මෙම රංගන ශිල්පිනියන් රැසක් එක්ව සිටියේ රංගනයේ නිරිත වීමෙන් වැඩි ආදායමක් නොලැබෙන නිසාවෙනි. මෙම නිළියන් සිය පහස ලබා ගැනීමට පැමිණෙන අයගෙන් පැයකට රුපියල් දස දහස, විසි දහස හෝ ඊට වැඩි මුදලක් අය කරනු ලැබුවාය. සිය ගණිකා මධ්‍යස්ථානවලට පැමිණෙන පාරිභෝගිකයින් පිරිස වැඩිකර ගැනීම සඳහාද ඒවායෙහි කළමනාකරුවන් සිය මධ්‍යස්ථානවලට රංගන ශිල්පිනියන්ගේ සහාය ලබා ගත්තේය.

– සාලිය කුමාර ගුණසේකර

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button