පළකල දිනය : Tue, Jun 19th, 2018

“චන්දිමාල් නිතරම කියනවා මම නිසා මේ තැනට ආවේ කියලා”

හිමාලි සයුරංගි කියන්නේ ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංග ශිල්පිනියක්. මේ දිනවල ඇය ජනප්‍රිය චරිතයක් වෙලා. ඒ දෙවැනි ඉනිමේ උදේනිගේ චරිතය හරහා. මේ ඇය සමග කළ සුහද කතාබහක්.

හිමාලිට වඩා දෙවැනි ඉනිමේ උදේනි ජනප්‍රියයි. කොහොමද ලැබෙන ප්‍රතිචාර?
හොඳයි. කතාවේ කොටස් සීයෙන් සීයට වෙනස්කම් වෙනවා. රවිගේ මරණය තමයි මෙවර ඇති වුණ වෙනස. මෙගා නාට්‍යයක ඒකාකාරී බවෙන් මිදෙන්න තමයි කතාවේ විවිධ වෙනස්කම් කරන්නෙ. ඉස්සරහට නාට්‍යයේ තවත් වෙනස්කම් ප්‍රේක්ෂකයන්ට බලාගන්න පුළුවන් වෙයි.

මේ නාට්‍යයට අමතරව වෙනත් නාට්‍යවලට ආරාධනා ලැබුණද?
චරිත් අබේසිංහගේ නාට්‍යයකට සම්බන්ධ වුණා. ඒ නාට්‍යයේ හරිම සංවේදී චරිතයක් මම නිරූපණය කරන්නේ.

මෙගා නාට්‍යවලට රංගනයෙන් සම්බන්ධවීම වෙහෙසකර නැද්ද?
‍පොඩ්ඩක්වත් වෙහෙසකර නැහැ. දෙවැනි ඉනිමේ රූගත කිරීම්වලට යන්නෙ ලොකු සතුටකින්. ඒ කාර්ය මණ්ඩලයේ හෝ නළු නිළියන් එක්ක වැඩ කරද්දී ලොකු සතුටක් තියෙනවා. නමුත් වෙනත් නාට්‍යවල වැඩ කරද්දී වෙහෙසකරයි. ඒ වගේම කට්ටිය එක්ක වැඩ කරද්දී කිසි සතුටක් නැහැ.

දෙවැනි ඉනිමේ රූගත කිරීම්වලට පුදුමාකාර ආසාවකින් තමයි මම හැමදාම සහභාගි වෙන්නේ. ඒ අය මට ලොකු සහයෝගයක් දෙනවා. අනිත් නාට්‍යවල වගේ එපා වෙනකම් රූගත කිරීම් තියෙන්නෙ නැහැ. කතාබහ කරගෙන හැමදේම හොඳට කළමනාකරණය කරගන්න පුළුවන්.

ටෙලි නාට්‍ය අතරමැද නොසිතූ වෙලාවක රංගන ශිල්පීන් ඉවත් වෙද්දී ඒ නාට්‍යයට අසාධාරණයක් වෙනවා කියලා හිතෙන් නැද්ද?
කෙනා අනුව මතිමතාන්තර වෙනස් වෙනවා. හැමෝම එකම අදහසක ඉන්නෙ නැහැ. ඒ අයගේ වෘත්තීය මට්ටම අනුව වෙනස් වෙනවා. අපට ඒ දේට මොකුත් කියන්න බැහැ. ඒක ඒ අයගේ කැමැත්ත වගේම පුද්ගලිකත්වය.
අත්‍යවශ්‍ය නළු නිළියෝ ඉවත්වීම දුකක්. නමුත් ඒකෙන් අසාධාරණයක් නාට්‍යයට වෙන්නෙ නැහැ.

මේ වෙනකොට නිර්මාණ කීයකට විතර දායක වෙලා තියෙනවාද?
නිර්මාණ හැටකට විතර දායක වෙලා තියෙනවා.

හිතෙන් නැද්ද හිමාලිගෙන් සිනමාවට දායකත්වය අඩුයි කියලා?
දායකත්වය ලබාදෙන්න මට ලැබෙන අවස්ථාව අඩුයි. හොඳ චරිත ලැබුණා නම් මටත් සිනමාවට දෙයක් කරන්න පුළුවන් කියලා විශ්වාසය තියෙනවා. එදා සිනමාවේ හිටපු ප්‍රවීණයන්ට ලැබුණු දේවල් දැක්කහම අනේ අපටත් එහෙම අවස්ථාව තිබුණා නම් කියලා හිතෙනවා. එහෙම අවස්ථාව ලැබෙන්නෙම නැති තරම්. මම හිතන්නෙ මට ගැළපෙන්නෙ කලාත්මක සිනමාව.

ඒ කියන්නේ සිනමාවට ඔබට ආරාධනා ලැබෙන්නෙ නැහැ කියලද?
බොහොම අඩුවෙන් තමයි මට ආරාධනා ලැබෙන්නේ. දෙයක් කරන්න පුළුවන් චිත්‍රපට ලැබෙන්නෙම නැති තරම්. ඒ නිසා මට සිනමාව ගොඩක් මගහැරිලා තියෙනවා.

දුකක් නැද්ද හිමාලිට?
ගොඩක් දුකයි. මගේ මේ කාලය අපරාදේ කියලා හිතෙනවා. මගේ දක්ෂතාව සිනමාවෙන් එළිදක්වන්න තිබුණා නම් කොච්චර හොඳද කියලා හිතෙනවා. ඒකට වාසනාව ඕන. තවම වාසනාවේ දොර මට විවර වෙලා නැහැ.

අලුත් පරම්පරාව ගැන මොකද හිතෙන්නෙ?
අපි කාලයක් තිස්සේ ලබපු පුහුණුව ඇතැම් වෙලාවට ඔවුන්ට සහජයෙන්ම පිහිටලා තියෙනවා. සමහර ළමයි රංගනයට ආධුනිකයන් කියලා හිතෙන් නැහැ කැමරාව ඉස්සරහට ආවහම. අද දක්ෂයෝ ගොඩක් ඉන්නවා. රංගනය විතරක් නෙමෙයි ගායනය, සංගීතය පැත්තෙනුත් එහෙමයි.

හිමාලි රංගන ශිල්පිනියක් ලෙස කොහොමද විලාසිතා තෝරාබේරා ගන්නෙ?
මම මට ගැළපෙන විදිහට විලාසිතා කරන්නේ. චාම් විලාසිතා විතරයි මට ගැළපෙන්නේ. මම ආසයි චාම් විදිහට අඳින්න.

චන්දිමාල් ජයසිංහ ක්ෂේත්‍රයේ බොහෝ දෙනා දන්නේ ඔබේ විවාහ උත්සවය නිසා කියන්නේ ඇත්තද?
ඔව්. මගේ හැම විශේෂ අවස්ථාවකදීම මාව හැඩගැන්නුවේ චන්දිමාල්. ඒ නිසා මම හිතුවා මගේ විවාහ උත්සවය ඔහුට භාර දෙන්න. ඔහු ජනප්‍රිය කෙනෙක්ගේ විවාහ උත්සවයක් මීට කලින් කරලා තිබුණේ නැහැ. නමුත් ඔහු ඉතාම ලස්සනට මාව හැඩගැන්වූවා.

ඉහළට යද්දී බොහෝ දෙනාට මුල අමතක වෙනවා. නමුත් චන්දිමාල් නිතරම ඔබව මතක් කරනවා නේද?
ඔහු නිතරම කියනවා මම නිසා මේ තැනට ආවේ කියලා. නමුත් ඔහුගේ තියෙන හැකියාව, කැපවීම නිසයි මෙතැන ඉන්නේ. මම නිසා ඔහුගේ හැකියාව හැමෝටම බලන්න පුළුවන් වුණා විතරයි. ඇත්තටම මට ලොකු සතුටක් තියෙන්නේ ඔහු ඉන්න තැන ගැන.

– තිළිණි කරුණාරත්න

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button