පළකල දිනය : Tue, Jun 19th, 2018

ඉතාලියේ පුරවැසියෙක් වෙන්න ඕනි නම් මෙන්න ක්‍රමය !

ලක්‍ෂ දෙකකට අධික ශ්‍රී ලාංකිකයන් පිරිසක්‌ ඉතාලියේ ස්‌ථිරව පදිංචි වී රැකියාවල නිරත වෙති.

මොවුන් අතරින් අතිබහුතරයක්‌ ඉතාලි පුරවැසිභාවය ලබාගත් ශ්‍රී ලාංකිකයන් වන අතර පවතින නීතිමය තත්ත්වය මත මෙරට තුළ පදිංචි අපේ ශ්‍රමිකයන්ට ඉතාලි පුරවැසිභාවය ලබාගැනීමට ඇති අවම සුදුසුකම සහ පහසුම ක්‍රමවේදය පිළිබඳව ශ්‍රමිකයන් දැනුවත් කිරීම සහ නීතිමය ස්‌වභාවය විමසා බැලීම කාලෝචිතය.

ඉතාලි පුරවැසිකමට සුදුසුකම් ලැබීම යනු අයිතිවාසිකම් සහ වගකීම් රැසක්‌ අයෑදුම්කරුවන්ට නිර්මාණය කර දෙන අවස්‌ථාවකි.

මෙහිදී වඩාත්ම වැදගත් සාධකය වන්නේ පුරවැසිභාවය බලාපොරොත්තුවන අපේ ශ්‍රමිකයන් පුරවැසිභාවය සහ ජාතිකත්වය අතර ඇති වෙනස පැහැදිලිව හඳුනා ගැනීමයි.

ඉතාලිය තුළ අන්තර්ගත නීතිය අනුව ඊට අදාළ සුදුසුකම් සපුරාලීම මත පුරවැසිභාවය ලබාගත හැකි වුවත් ජාතිකත්වය වෙනස්‌ වීමට නම් පරම්පරා ගණනාවක්‌ ගතවීම ද පෙන්වාදිය යුතුය.

ඉතාලි පුරවැසියන් යනු තමන් ජීවත්වන ප්‍රදේශයේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පූර්ණ වශයෙන් හිමි පුරවැසියන් වන අතර ජාතිකත්වය යනු තම ඉතිහාසය ආගම, සංස්‌කෘතිය සහ භාෂාව හරහා නිර්වචනය වන්නකි. ජාතිකත්වය යනු ජාත්‍යන්තර නීතිය මගින් පිළිගත් මූලික මිනිස්‌ අයිතිවාසිකමකි.

ඉතාලිය තුළ නිර්මාණය වී ඇති නීති පද්ධතිය මත පුරවැසිභාවය නිරායාසයෙන් ලබාගත හැකි අවස්‌ථා වන්නේ එරට තුළ උපදින දරුවකුගේ දෙමවුපියන්ගෙන් අවම වශයෙන් එක්‌ අයකු හෝ ඉතාලි ජාතිකයකු නම් උපත ලබන දරුවා ඉතාලි පුරවැසියෙකි.

ඉතාලි දේශ සීමාවේ උපත ලබන දරුවකු යම් හේතුවකින් දෙමවුපියන් හැරගියොත් හෝ අහිමිවුවහොත් එම දරුවාට වෙනත් කිසිදු රටක පුරවැසිභාවය නොමැති නම් උපන් භූමියේ අයිතිය මත එම දරුවාට ඉතාලි පුරවැසිකම හිමි වේ.

යම් ඉතාලි පුරවැසියකු තමන්ගේ අවශ්‍යතාව මත වෙනත් රටක දරුවකු හදාවඩා ගැනීමට අවශ්‍ය වූ විට රට තුළ ඒ සඳහා පවතින නීතිමය පැතිකඩ සපුරාලීම මත එම දරුවා ඉතාලි පුරවැසියකු වේ.

රට තුළ අන්තර්ගත නීතියට අනුව පුරවැසිභාවයට ඉල්ලුම් කළ හැකි අවස්‌ථා මෙසේය.

ඉතාලි ජාතිකයකු සමඟ විවාහ වූ විදේශිකයකුට මාස 24 ගතවීමෙන් පසු පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කළ හැකිය.

රට තුළ උපන් විදේශිකයකු නම් වයස අවුරුදු 18 සම්පූර්ණ වීමත් සමඟ තමන් පදිංචි ප්‍රදේශයේ නගර සභාව වෙත යොමුවීමෙන් පුරවැසිභාවයට ඉල්ලුම් කළ හැකි අතර මෙම අයෑදුම් කිරීම වයස අවුරුදු 19 ට පෙර සිදුකළ යුතු වන අතර ඒ සඳහා ඒ රට තුළ අධ්‍යාපනික සහතිකය, එන්නත් ලබාගත් වෛද්‍ය සහතිකයන්, ඉතාලියේ ස්‌ථිර පදිංචිය ද නිසියාකාරව සනාථ කළ යුතුය.

ඉතාලියේ උපන් අයකු වයස අවුරුදු 18 සම්පූර්ණ වීමත් සමඟ පුරවැසිභාවය සඳහා ඉල්ලුම් නොකළේ නම් අවම වශයෙන් අඛණ්‌ඩව වසර තුනක නීත්‍යනුකූල පදිංචිය තහවුරු කිරීමෙන් සහ ආදායම් වාර්තා ඉදිරිපත් කරමින් ඒ සඳහා ඉල්ලුම් කළ හැකිය.

ඉතාලිය තුළ සරණාගත රැකවරණය ලබා ඇති පුද්ගලයන් සඳහා අවම වශයෙන් වසර පහක කාලයක්‌ ගතවීමෙන් පසු පුරවැසිකම සඳහා ඉල්ලුම් කළ හැකිය.

ඉතාලිය තුළ වසර 10 නීත්‍යනුකූල පදිංචි තහවුරු කිරීමෙන් සහ ඊට අදාළ නීතිමය පසුබිම නිසි අයුරින් ලබාදීම මත ඕනෑම පුද්ගලයකුට පුරවැසිකම සඳහා ඉල්ලුම් කිරීමට නීතිමය පදනම නිර්මාණය වී ඇත.

යුරෝපයේ අනිකුත් රටවලට සාපේක්‍ෂව මෙරට තුළදී සේවය කරන හෝ පදිංචි ඕනෑම පුද්ගලයකු සඳහා අවශ්‍ය නීති පටිපාටි සපුරාලීම මත ඊට අදාළ නිසි අයිතිවාසිකම ලබාදෙන ප්‍රථම රට ඉතාලිය බව ද පැහැදිලිව සඳහන් කළ යුතුය.

(ලලිත් හෙට්‌ටිආරච්චි)
(ඉතාලියේ සිට)

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button