පළකල දිනය : Wed, Jun 20th, 2018

“නදීක කරුණානායක කියන නිවේදකයාව අමුඅමුවේ මරා දමන්න පිරිසක් සූදානම් වෙනවා “

නදීක කරුණානායක කියන්නේ අපේ රටේ සිටින රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට අමතක නොවන රුවක්. ඒ වගේම අමතක නොවන කටහඬක්. ස්වර්ණවාහිනී නාලිකාව හරහා රටම හඳුනාගත් නදීක අද කෝ? මොකද හොරුවත් අරන් ගිහින්ද?

ඔබ කියපු කථාව හරි. කවුද හොරෙක් අරන් ගිහින් තමයි. හැබැයි මම යහතින් ඉන්නවා. මාස අටකින් කැමරාව ඉදිරියට ආවේ නැහැ. ප්‍රවෘත්ති කිව්වෙත් නැහැ.

මට ඉදිරිය ගැන පැහැදිලිත් නැහැ. නදීක කරුණානායක කියන ප්‍රවෘත්ති නිවේදකයාව අමු අමුවේ මරලා දාන්න කිසියම් පිරිසක් පෙළ ගැසෙනවා.

ඒ නිසා තමයි මට මේ හැටියට කරදර කරන්නේ. වද දෙන්නේ. හැබැයි නදීක කරුණානායක කියන්නේ ග‍ලේ ගහලවත් මරන්න බැරි කෙනෙක් කියලා අදාළ පුද්ගලයෝ හිතා ගත්තොත් හොඳයි.

ඔබ තරහින් වගේ කතා කරන්නේ?
නැහැ. මගේ හිත සංසුන්. මම කරන්නේ උදේ හවස ඒ අයට මෛත්‍රී කරන එකයි. කවදාහරි දවසක මම ඒ අයගෙන් අහන්නේ ඔබට සතුටුයිද දැන් … කියලයි. අහලා තියෙනවාද මේ කවිය

අමිත ගුණ නුවණ ඇති උතුමෝ පබඳ
අනත වෙහෙස ලදුවත් නොමවෙති දුහද
දිගත පතල සුවඳැති සොඳ සඳුන් කඳ.
සිඳිත මඩිත එකලෙස පැතිරෙයි සුවඳ …

සඳුන් රුක කොපමණ කැපුවත් කෙටුවත් එහි සුවඳ මඩින්න බැහැ. ඒක තමයි මේ කවියේ තේරුම.

ඔබ පුදුම විදියට මානසික ආතතියකින් පෙළෙන බවයි අපට නම් දැනෙන්නේ?
මට කිසිම මානසික ආතතියක් නැහැ. හොඳට කාලා බිලා, විනෝද වෙලා, හැම සතියකම රට වටේ, ලෝකේ වටේ ඇවිදලා පුදුමාකාර මානසික සැහැල්ලුවකින් ජීවත් වෙන්නේ.

මම මොකටද සිත් තැවුලක් ඇතිකර ගන්නේ. මාසේ අන්තිමට ගෙඩිය පිටින් පඩිය එනවා නම්, අවුරුදු 19ක් දිනපතාම පාහේ රූපවාහිනියේ මුහුණ පෙන්නපු මට මේ ගවෛන දවස් ටික දෙවියන් දීපු විරාමයක් කියලයි මම හිතන්නේ.

අපි කරන කියන දේවල් දෙවියන් උඩ ඉඳන් බලාගෙන ඉන්නවා. මට කැපිලි කෙටිලි දාන අයට ඊළඟ ආත්මයේ වෙන දේ එයාලා දන්නේ නැහැ.

ඔබ මෑතකදී තිබුණු රයිගම් සම්මාන උළෙ‍ලේදීත් වසරේ හොඳම ප්‍රවෘත්ති නිවේදකයා වුණා. මම දන්න විදියට ඔබ තමයි රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදකයකු ලෙස වැඩිම ගණනක් සම්මාන දිනූ නිවේදකයා. මම හරිද?
රයිගම් සම්මානය විතරක් නමෛයි, සුමති සම්මාන පහක්, රාජ්‍ය සම්මාන හතරක් ඇතුළුව සම්මාන 10ක් මම හොඳම නිවේදකයා ලෙස ලබාගෙන තිබෙනවා.

මේ තරම් සම්මානලාභී ඔබට, ඔබ ඔය කියන තරම් ගැටලු ඇති වුණේ ඇයි?
මටත් තේරුම් ගන්න බැරි ඒකම තමයි. අපි මේ ජීවත් වෙන්නේ ලංකාවෙනේ. ඒක තේරුම් ගන්නකෝ. මේ රටේ වැඩක් කරන්න පුළුවන් දක්ෂයාට තැනක් තියෙනවද? හැම තැනම ඉන්නේ බොරුකාරයෝ.

මේක අපේ රටේ සිස්ටම් එකේ අවුලක්. අද අපේ රටේ හැම ක්ෂේත්‍රයේම දක්ෂයාට තියෙන ‍පොදු ප්‍රශ්නයක් තමයි තමන්ගේ හැකියාවෙන් යමක් කරන්න අවස්ථාවක් නොලැබිම. ඔවුන්ගේ හැකියාවෙන් ප්‍රයෝජන නොගැනීම. අනිත් කාරණය තමයි තමන්ගෙන් වැඩ ගන්න කිය කියා හැකියාව තියෙන කෙනා කිසිවෙකුගේ පස්සෙන් යන්නේ නැහැ.

ලෝකේ අනිත් බොහෝ රටවල දක්ෂයන් රකිනවා. අත්දැකීම් ලබන්න ලබන්න වටිනාකම් වැඩියි. නමුත් අපේ රටේ ඒකේ අනිත් පැත්ත. දක්ෂයා කොහොම හරි ඇදලා පැත්තකට දාලා නිකම් සූකිරි බටිල්ලන් ඒ තැන්වල ඉන්දවනවා. දැන් බලන්න හේම නලින් අයියාගෙන් කවුද වැඩක් ගත්තේ. මියයනතුරුම එළවලා පැත්තකට දාලා තිබ්බේ.

ඔබේ දක්ෂතාවයන් හැකියාවන් පිටුපස තවත් ආදරණීය චරිතයක් ඇති කියලා අපිට හිතෙනවා.
ඇත්තම ඇත්ත. ඒ ආදරණීයම චරිතය තමයි මගේ අම්මා. මාව හදන්න මගේ අම්මා තරම් මේ ලෝකේ දුක් විඳපු තවත් අම්මා කෙනෙක් නැති තරම්. මම ජීවිතය දිනන තැන්වලත් අම්මා හිටියා. වැටෙන තැන්වලත් අම්මා හිටියා. ඒ එකම සෙනෙහසින්.

අම්මා හැරුණම වෙන ආදරණීය චරිතයක් ඔබේ ජීවිතය ළඟ නැද්ද.? කෙළින්ම ඇහුවොත් ප්‍රේමවන්තියක් වගේ ?
අම්මෝ.. මම ආදරය කරන්න බයයි. ආදරය කරලා අනිත් අයට වෙලා තියෙන දේ මම දැක්කා. ලෝකෙට පේන්න ආදරය කළාට ඒ අය විඳවන තරම කොච්චර ද කියලා හොඳට හොයලා බලන්නකෝ. ඇත්තටම ඊට වඩා මගේ මේ තනිකඩ ජීවිතයට මම කැමැතියි. ඒක හරිම සුන්දරයි.

– පද්මිණී මාතරගේ
– ලක්බිම

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button