පළකල දිනය : Wed, Jun 27th, 2018

දොස්තරලා එපා කියද්දී, ඉඩම්ද නොමැතිව ගොවිතැන් කර ලක්ෂ 40 ක් ඉපැයූ දිරිය තරුණයා !

රිය අනතුරක් හේතුවෙන් අවයව අහිමි ව ආබාධිත තත්ත්වයට පත්වූ අවිවාහක තරුණයෙකු ජීවිතය ගොඩ ගත් හැටි සොයා ඉකුත් දා අකරහාඩුව බලා ගියේ ය.

නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අකරහාඩුව, මඩවලඋල්පත ලිපිනයේ පදිංචි නිහාල් රංජිත් අමරසිංහ (41) නමැති මේ තරුණයා ලංකාවේ රැකියා ඉල්ලමින් මහ පාරේ කඳුළු ගෑස් කණ මෝඩ උගතුන්ට මහත් ආදර්ශයක් සපයමින් ජීවිතය ජය ගත්තෙකි.

වසර අටකට පෙර ත්‍රී රෝද රථයක් තමන්ව හප්පා ගෙන යෑම නිසා එක් පාදයකට යකඩ ප්ලේට් එකක් සවි කිරීමට සිදුවනවා පමණක් නොව ආමාශයේ විශාල ශල්‍යකර්මයකට මුහුණ දීමටද ඔහුට සිදුවිය.

ඒ රිය අනතුර ඔහුගේ ජීවිතය විනාශයේ අගටම ගෙනාවේ ය. නමුත් පරාජය බාර ගැනීමට ඔහු සූදානම් නොවින. ශල්‍යකර්මය සුව වුවද කිසිදු බර වැඩක් කළහොත් ඔහුගේ ජීවිතයට තර්ජනයක් වනු ඇතැයි ලැබෙන වෛද්‍ය අවවාද වලින් නොසැලෙන නිහාල් ජීවිතය ජයගන්නට ගොවිතැන තෝරා ගත්තේය.

ඔහු ඊට පෙර අගනුවර විවිධ රැකියා කළ අයෙකි. නමුත් ඒ බර රැකියා දැන් ඔහුට කළ නොහැකිය. ඔහු අපොස සා.පෙල සමත්ව සිටියේ ය. නමුත් ඉන් ලබා ගත හැකි සුදු කර පටි රැකියාවක් ද නැත.

ඔහු අකරහාඩුව කරා පැමිණියේ ය. ඔහු සතුව ඉඩකඩම් ද තිබුනේ නැත. බෝවතැන්න ජලාශයේ වේගයෙන් පැතිරී යන යෝධ නිදිකුම්බා ශාකය වැව් ඉවුරු පසු කර ගම්මානය කරා ද වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා ඔහු දිටීය.

මේ දෙස බලා සිටි නිහාල් තමන් ලඟ තිබු සොච්චම් මුදලින් එක් කම්කරුවෙකුගේ සහාය ඇතිව යෝධ නිදිකුම්බා ගස් විනාශ කරමින් බෝවතැන්න ජලාශය අසබඩ වනාන්තරය ගොවි බිමක් බවට පත්කර ගත්තේ ය.

කුඩා බිම් ප්‍රමාණයකින් ඇරඹුණ ඒ ගොවි බිම අද වන විට අක්කර හයක වගා බිමකි.

කරහාඩුව සමෘද්ධි සංවර්ධන නිලධාරි රුවන් සමරවික්‍රම මහතාගේ දැනුම් දීමක් අනුව මේ සුවිශේෂි හැකියාවන් සහිත තරුණයා අපට හමුවන්නේ ඔහුගේම වගා බිම තුළ දීය.

“අද වෙනකොට අක්කර දෙකහමාරක කෙසෙල් දාලා තියෙනවා. අක්කරයක තනිකරම මෑකරල් වගා කරලා තියෙනවා. මාලූ මිරිස් අක්කර බාගයක වගේම නෝකෝල් අක්කර බාගෙක හදලා තියෙනවා.අද මගේ ලඟ සේවකයෝ 8 ක් 9 ක් ඉන්නවා.

ගිය කන්නේ ගස්ලබු අක්කර දෙකහමාරෙන් රුපියල් ලක්ෂ හතලිහක් ආදායම් ලැබුවා. මේ සැරේ මෑකරල් වලිනුත් ලොකු ආදායමක් ලබන එක තමයි බලාපොරොත්තුව.”

ඒ ඔහුගේ කතාවය. ජීවිතයට පැමිණෙන නොයෙක් දුෂ්කරතා අභියෝග ජය ගත නොහැකිව අනන්තවත් ජීවිතය අවුල් කර ගත් අපේ රටේ තරුණයන්ට නිහාල් රංජිත් අමරසිංහ තරුණයා ආදර්ශයකි.

ආණ්ඩුවෙන් නිකම් දුන් අධ්‍යාපනයෙන් උපාධියක්ද දුන් නමුත් ඉන් ප්‍රයෝජනයක් නොගෙන ආණ්ඩුවේ නිකම් ඉඳන් පඩි කන්න පුළුවන් රැකියාවක්ම ඉල්ලා මහ පාරේ කඳුළුගෑස් කන උගතුන් යැයි කියා ගන්නා මෝඩයන්ට, වගාකරන්නට භූමියක් හෝ නොමැතිව තමන්ගේ ශරීරයේ කොටස්ද අහිමිව එක් තැන්ව සිටිය යුතු වූ නිහාල් රංජිත් අමරසිංහ නම් මේ තරුණයා සපයා ඇත්තේ සැබෑ ආදර්ශයකි.

‘විවාහ වෙලත් නැති නිසා පාළුවක් දැනෙන්නෙ නැත්ද?’ අවසානයේ මා නිහාල්ගෙන් කළ විමසුමට ඔහු මෙසේ පිළිතුරු දුන්නේ ය.

‘ගොවිතැන කියන්නෙ පාළුවක් දැනෙන්නෙ නැති ලස්සන දෙයක්..!’

සේයාරූ සහ වාර්තාව – නාඋල ඉන්දික අරුණ කුමාර

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button