පළකල දිනය : Wed, Jul 4th, 2018

“මගේ පළවෙනි ආදරේ එයා වුණාට මම එයාගේ දොළොස්වෙනි ආදරේ”

හැම අවුරුද්දකම ජුනි මාසේ නිරෝෂාට විශේෂයි කියන්නේ ඇත්තද?

ඇත්තටම ඔව්. හැම අවුරුද්දකම ජුනි මාසේ උදාවෙනකම් මම බොහෝම ආශාවෙන් ඇඟිලි ගැන ගැන මග බලාගෙන ඉන්නේ. ඒ මොකද දන්නවද ජුනි 20 වැනිදා තමයි මගේ උපන් දිනේ. ඒ වගේම ජුනි 16 තමයි අපේ විවාහ සංවත්සරය.

මේ අවුරුද්දට අසේලයි මමයි විවාහ වෙලා හරියටම අවුරුදු දහයක් වෙනවා. ඒ නිසා මේ අවුරුද්ද මට තවත් විශේෂයි.

මට අසේලව මුණගැහුණේ පාසල් යන කා‍ලේදී. පාසල් නිල ඇඳුම ඇදලා පාසලට යනකොට තමයි අපි එකිනෙකා ගැන දැනගත්තේ. ඒත් පාසල් දිවිය නිමා වෙන්න ළං වෙද්දියි එයා මට ආදරේ ප්‍රකාශ කළේ. ඒ වෙනකොට දෙමව්පියන්ගේ ආදරේ හැරෙන්න පිරිමි ළමයෙකුගේ ආදරේ කියන දේ ගැන මට දැනිලා තිබුණේම නැහැ.

අසේල නිසා තමයි ඒ ආදරේ ගැන මට හැඟීමක් ඇති වුණේ. අසේල කියන්නේ් මගේ පළවෙනි ආදරේ. ඒත් මම නම් එයාගේ දොළොස් වෙනි ආදරේ. (සිනා) ඒත් එයා මට හරිම අවංකයි. මට ආදරේ කරන්න කලින් එයාගේ අතීතේ හැමදෙයක්ම මාත් එක්ක කිව්වා.

ඒ අවංකකම තමයි එයා ගැන මට ආදරයක් ඇති කළේ. මගේ පාසල් කා‍ලේදී අපි හොරෙන් හොරෙන් ආදරේ කළාට කවදාවත් එයා ඒ ආදරේ මගේ අධ්‍යාපනයට බාධාවක් වෙන්න ඉඩ දුන්නේ නැහැ. එයා හැම වේලාවේම මගේ අධ්‍යාපන කටයුතුවලටයි මුල් තැන දුන්නේ. ඇත්තම කිව්වොත් එයා මගේ දවෛනි තාත්තා.

කොහොමද දෙන්නා මෙදා පාර විවාහ සංවත්සරය සැමරුවේ?

ඇත්තටම අපි දෙන්නා ලොකුවට සාද පවත්වලා මේ පාර විවාහ සංවත්සරේ සැමරුවේ නැහැ. දෙන්නම එකම විදියේ ටී ෂර්ට් ඇඳලා පවු‍ලේ අයත් එක්ක එකතු වෙලා ලස්සන කේක් එකක් කැපුවා.

මගේ ගෙදර අයයි සැමියගේ ගෙදර කට්ටියයි අපි දෙන්නයි එකතු වෙලා සමරපු ඒ දවස ලොකුවට පාටි දාලා සමරනවාට ගොඩාක් සතුටින් ගෙවන්න පුළුවන් වුණා. සතුට රැඳෙන්නේ සමරන විදිහ එක්ක නමෛයි, අපි සතුටු වෙන විදියත් එක්කයි.

ඔබේ රංගන දිවියට අසේලගෙන් ලැබෙන්නේ මොන වගේ සහයෝගයක්ද?

අපි දෙන්නා විවාහ වුණ අලුතම එයා රට ගියා. අවුරුදු නවයක්ම එයා හිටියේ රට. ඒ විදිහට අපි දෙන්නම තැන් දෙකක හිටියත් මේ විදිහට සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න පුළුවන් වුණේ එයත් කලාවට බොහෝම ළෙන්ගතු කෙනෙක් නිසා.

මම හැම වේලාවේම ඔහුගේ විශ්වාසය කඩ නොවන විදිහට ඒ විශ්වාසයත් රැකගෙන තමයි මගේ වෘත්තියේ නියැළෙන්නේ.

නිරෝෂයි අසේලයි විවාහ ගිවිසගෙන දැනට අවුරුදු දහයක් ඉතින් එකොළොස්වන විවාහ සංවත්සරය පුංචි දරු පැටියෙකුත් එක්ක සැමරුවොත් නේද දෙන්නගේ ජීවිතේ තවත් ලස්සන වෙන්නේ?

ඔය ප්‍රශ්නෙ මගෙන් තව ගොඩ දෙනෙක් අහනවා. දරු පැටියෙක්ගේ හුරතල් බලන්න දැන් කා‍ලේ හරි තමයි. අපි දෙන්නත් පුංචි බබාලට හරිම ආදරෙයි. ඒත් හැම දෙයක්ම විසඳන්නේ කාලය කියලා අපි දෙන්නත් පුංචි දරු පැටියෙක් ගැන හීන දකිනවා.

– සමන්මලී නැලිගම

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button