පළකල දිනය : Sun, Jul 8th, 2018

“ඔහු තමයි රියෑලිටි කලාවේ පුරෝගාමී තරුව – එතකොට මම තීරණය කළා යන්නේ නැහැ කියලා”

රියෑලිටි වැඩසටහන්වලට ආයේ අඩිය තියන්නේ නැහැ කියපු නිරෝෂා විරාජනී ඔන්න ආයෙමත් රියෑලිටි විනිසුරුවරියක්‌ වෙලා. ඒ වෙන කවුරුවත් එක්‌ක නෙමෙයි නිරෝෂාම තෝරපු ශිහාන් මිහිරංග එක්‌ක. ඇත්තම නිරෝෂා එපා කියපු දෙයක්‌ ආපහු භාරගෙන. ඇයි එහෙම කළේ. නිරෝෂගෙන් අහලා බලමු. නිරෝෂා ඒවාට උත්තර දෙනකොට ශිහාන් නිරෝෂා එක්‌ක වාඩිවෙන එකට නිරෝෂා කැමැති වුණාද?. ඒක දන්නේ ශිහාන් මිහිරංග.

ඔබ තෝරපු ශිහාන් එක්‌ක එකට වාඩිවෙන්න ලැබීම ගැන මොකද හිතන්නේ?

මේ තේමාව සම්පූර්ණයෙන්ම වෙනස්‌නේ. ඒක හින්දා මේ තේමාවත් එක්‌ක අපි සම්පූර්ණයෙන් සමහර දේවල් වෙනස්‌ කරගෙන තියෙනවා. විනිසුරුවරියකගේ භූමිකාවට වඩා වෙනස්‌ම භූමිකාවක්‌ තමයි කරන්න සිද්ධවෙලා තියෙන්නේ.

මෙවර ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරද?
හිරු ස්‌ටාර් කියන්නේ මේ වෙනකොට ඉතා ජනප්‍රියවුණ වැඩසටහනක්‌ බවට පත්වෙලා තියෙනවා. අනිත් එක විනිසුරු මඩුල්ලක ඉඳීම මට නුපුරුදු දෙයක්‌ නෙමෙයි. හැබැයි මට මේ වේදිකාවේ අලුත් බයක්‌ තියෙනවා. ඒක හින්දා තවම මම ආධුනිකයි කියලයි හැඟෙන්නේ.

පසුගිය කාලේ කිව්වා නේද ආපහු රියෑලිටි වේදිකාවල ඉඳගන්නේ නැහැ කියලා ?

ඔව්. ඇත්තටම මම එහෙම දැඩි ප්‍රකාශයක්‌ කළා. ආපහු කවදාවත් රියෑලිටි වැඩසටහනක ඉඳගන්නේ නැහැ කියලා ප්‍රසිද්ධ ප්‍රකාශයක්‌ කළා.

එහෙනම් ඇයි ඒ තීරණය වෙනස්‌ කළේ ?

ඒකට ඒකාකාරීත්වය තමයි ප්‍රධාන වශයෙන් බලපෑවේ. ඒකාකාරී රටාවකට අපි ඇඳුම මාරු කරගෙන, කොණ්‌ඩේ මාරු කරගෙන මේකප් එක මාරුකරගෙන ඉඳගත්තාට අපිට කරන්න වෙලා තිබුණේ එකම දේ. එතකොට මට හිතුණ දේ තමයි කාලයක්‌ යනකොට මිනිස්‌සුන්ට මේ දේ එපාවීම. රියෑලිටි මිනිස්‌සුන්ට එපාවෙන තත්ත්වයකට පත්වුණා. ඒ තරම් රියෑලිටි වැඩසටහන් ගණනාවක්‌ මේ රටේ හැම නාලිකාවක වගේම විවිධාකාරවූ රියෑලිටි වැඩසටහන් නිර්මාණය වෙමින් පවතින නිසා. එතකොට මම තීරණය කළා යන්නේ නැහැ කියලා.

මම යළිත් අහනවා ඇයි එහෙනම් මේ වැඩේ භාරගත්තේ. කෙලින් උත්තරයක්‌ දෙන්න?

හිරු ස්‌ටාර් වැඩසටහනේ මගේ පළමු රැස්‌වීම් තිබ්බේ තනියෙන්. නිලේන්ද්‍ර දේශප්‍රිය මහත්තයත්, විරාඡ් වැලිවත්ත මහත්තයත් වගේම තවත් කිහිපදෙනෙක්‌ ඊට එකතුවුණා. මට තේරුණා මේ වැඩසටහන වෙනස්‌ම තලයක තියෙන වැඩක්‌ කියලා. එහාට ගිය යමක්‌ තියෙනවා කියලත් තේරුණා. ඒක නිසසි මේ වැඩසටහන භාරගත්තේ. මේ වෙනකොටත් වෙනත් නාලිකාවලින් වැඩසටහන් ගණනාවකට ආරාධනා ලැබිලා තියෙන්නේ. මේ වැඩසටහනට කැමැත්ත පළකරන්න ප්‍රධානම හේතුව මේ වැඩසටහනේ තිබෙන සුවිශේෂත්වය සහ අපි මේක තත්ත්වය කියන එක මොන මට්‌ටමකද තියෙන්නේ කියලා මම හොඳට දන්නවා.

ශිහාන් බිලී දෙන තීන්දු ගැන මොකද හිතන්නේ ?

හරිම ස්‌වාධීනයි. අපි එකිනෙකාගෙන් අදහස්‌ විමසලා නෙමෙයි. අපි හැමෝගෙම හිතට දැනෙන දේ කියන්න නිදහස දීලා තියෙනවා. මම හිතනවා ඒ නිදහසත් එක්‌ක ඔවුන්ගේ තීන්දු තීරණ ගැන අදහසක්‌ කියන්න මට අවශ්‍ය නැහැ. මොකද ඔවුන්ගේ නිදහස ස්‌වාධීන තීරණයක්‌ සහ මම මගේ තීරණය ගැන විතරයි මට කියන්න පුළුවන්. එහෙම ප්‍රශ්න නැහැ.

ශිහාන් ඔබ තෝරපු තරුවක්‌. අද ඔබත් එක්‌ක එකට වාඩිවෙලා ඉන්නවා ?

ඒක තමයි මම හිතන්නේ විය යුත්තේ. මම ආධුනික ගායිකාවක්‌ විදිහට සිත හඬයි ගීතය ගායනා කරනකොට මම කවදාවත් හිතුවේ නැහැ ආචාර්ය පණ්‌ඩිත් අමරදේවයන් එක්‌ක, ආචාර්ය වික්‌ටර් රත්නායකයන් සමග මේ රටේ ඉන්න ප්‍රබලයන්, විශිෂ්ටතමයන් එක්‌ක ඔවුන්ගේ සංගීතයට ඔවුන් එක්‌ක යුග ගායනා කරන්න පුළුවන් වේවි කියලා කවදාවත් හිතුවේ නැහැ. මම හිතනවා ඒ අවස්‌ථාව මට උදාවුණේ ඉතා කෙටි කාලයක්‌ ඇතුළත.

එවැනි දැවැන්තයෝ එක්‌ක වැඩකරලා නවකයන් දෙදෙනෙක්‌ එක්‌ක වැඩකරන එක සුදුසු නැහැ කියලා කවුරු හරි චෝදනා කළොත් ?

නවකයන් කියලා ගන්න බැහැ. බිලී කියන්නේ මටත් කලින් මියුසික්‌ කරන්න පටන්ගත්තු චරිතයක්‌. බිලී මට වඩා වයසින් බාලයි තමයි. හැබැයි මටත් කලින් සංගීතය පසුබිම් කරගත් පවුලකින් එන දරුවෙක්‌. ඔහු බටහිර වේදිකාවේ යමක්‌ කරපු චරිතයක්‌. ශිහාන් කියන්නෙත් ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු දාහතරක්‌ වෙන චරිතයක්‌. නවකයෙක්‌ කියන්න බැහැනේ. ඔහු තමයි රියෑලිටි කලාවේ පුරෝගාමී තරුව. රියෑලිටි වැඩසටහන්වලින් අපි මේ රටේ ගොඩක්‌ තරු බිහිකරලා තියෙනවා. එතකොට අදටත් අපි කතා කරන්නේ ශිහාන් මිහිරංග ගැන.

ඔබ හදිසියේ විදෙස්‌ගත වුණා කියලත් ආරංචියි ?

මේ කතා කරන මොහොතේ තමයි සෙනසුරාදා තමයි ලංකාවට ආවේ. මම විදෙස්‌ගතවුණේ පෞද්ගලික වැඩකටයුතු කිහිපයක්‌ සඳහා.

අලුත් ගීත කිහිපයක්‌ එළිදක්‌වන්න සූදානම් වෙනවා කියන්නේ ඇත්තද?

අලුත් ගීත කිහිපයක්‌ කළා. මේ දවස්‌වල රූප රචනා කිහිපයක්‌ සම්බන්ධයෙන් වැඩකරගෙන යනවා. ඒකට බරපැන දරන්නන් හොයනවා. හැබැයි ගීත ටික එළිදක්‌වලා ඉවරයි. ගීත හතරක්‌ ලැහැස්‌ති කරලා තියෙනවා එකටම එළිදක්‌වන්න. තව මාස දෙකක්‌ ඇතුළත් ඒ කටයුත්ත සිද්ධවේවි.

ඔබේම ප්‍රසංගයක්‌ කරන්න අදහසක්‌ නැතිද?

නැහැ. ඇත්තටම මේ අවුරුද්දේ ප්‍රසංගයක්‌ කරන්න වෙලාවක්‌ නැහැ. මොකද ඉතාම කාර්යබහුලයි. සෙනසුරාදා ඉරිදා ඔක්‌කොම හිරු ස්‌ටාර් වෙනුවෙන්දීලා ඉවරයි. මේ දෙසැම්බර් වෙනකම් මගේ ප්‍රසංගයක්‌ කරන්න වෙලාවක්‌ නැහැ.

දිනේෂ් විතාන

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button