පළකල දිනය : Sun, Jul 8th, 2018

ගැහැනු ළමයින්ට චිත්‍රපට ක්‌ෂේත්‍රයේ අලුත් අධ්‍යක්‌ෂවරු කරන වැඩ “ශෂී” කියයි !

ඇගේ සුන්දරත්වය සහ දක්‌ෂතාව නිසාම ඇයට රූප රචනා සඳහා ලැබෙන ආරාධනා නම් එමටයි.

ඇය රූපවාහිනී තිරයේ දක්‌නට නොලැබෙන දවසක්‌ නැති තරම්. නමුත් පහුගිය කාලයේ එතරම් දකින්නට නොලැබුණ නිසා මීවිත ඇයට කතා කළා.

ශෂී ඇන්ජලිනා…මොකද කරන්නේ මේ දවස්‌වල?

වැඩ කරගෙන ඉන්නවා ඉතිං.

ඔබේ ටෙලි නාට්‍ය දෙකක්‌ විකාශය වෙනවා නේද?

ඔව්…දෙකම රූපවාහිනියේ. අවසන් ඉනිම සහ අළු.

චිත්‍රපටවලට සමබන්ධ වුණේ නැද්ද?

මේ දවස්‌වල චිත්‍රපටයක වැඩ කටයුතු කරගෙන යනවා. ඉස්‌සරහදී දකින්න පුළුවන්.

මේ දවස්‌වල මියුසික්‌ වීඩියෝ සඳහා ඔබේ සහභාගිත්වය කොහොමද?

මියුසික්‌ වීඩියෝ කිහිපයකටම සම්බන්ධ වුණා. ඒ අලුත් නිර්මාණ මාධ්‍ය ඔස්‌සේ දකින්න ලැබෙයි.

මේ වෙද්දී මියුසික්‌ වීඩියෝ කීයකට විතර ඔබ සම්බන්ධ වෙලා තියෙනවද?

මතක විදිහට 167 කට විතර.

ඒත් පහුගිය කාලයේ ඔබ වැඩිය දකින්න හිටියේ නැහැ?

ඉස්‌සර තරම්ම මියුසික්‌ වීඩියෝවලට දැන් සම්බන්ධ නැහැ. මොකද ඒ බොහොමයක්‌ රූප රචනා ටිකක්‌ එක වගේ. ඉතිං වෙනස්‌ විදියේ මියුසික්‌ වීඩියෝවලට වැඩි අවස්‌ථාවක්‌ දීලා කටයුතු කරන එක හොඳයි කියලා හිතුන ඒකාකාරීත්වයෙන් මිදිලා. අනික ටෙලි නාට්‍ය වැඩකටයුතුත් ඊට ටිකක්‌ බලපෑවා.

ඔබ වරක්‌ ප්‍රකාශ කළා ක්‌ෂේත්‍රයේ ලිංගික අල්ලස්‌ ප්‍රශ්නය ඔබටත් බලපෑවා කියලා?

එවකට චිත්‍රපට ක්‌ෂේත්‍රයේ අලුත් අධ්‍යක්‌ෂවරු සම්බන්ධ කතාවක්‌ ඒක. නමුත් හැමෝම එහෙම නැහැ. මියුසික්‌ වීඩියෝ සම්බන්ධ වැඩවලදී නං කවදාවත් එහෙම යෝජනාවක්‌ මට ඇවිල්ලා නැහැ. එහෙම යෝජනාවක්‌ ආව වෙලාවක කළ සඳහනක්‌ ඒක.

මේක පොදු ප්‍රශ්නයක්‌ද?

හුඟක්‌ වෙලාවට ක්‌ෂේත්‍රයේ ගැහැනු ළමයින්ට මෙවැනි යෝජනා එනවා. ඒ නිසා පරිස්‌සමෙන් කල්පනාවෙන් කටයුතු කරන්න ඕනෑ. හැම කෙනෙක්‌ම කැමතියි ක්‌ෂේත්‍රයේ හොඳට ලස්‌සනට වැඩකරගෙන ඉන්න. නමුත් මෙවැනි දේවල්වලට නතු වෙන්නේ නැතුව වැඩකටයුතු කරන්න අපි පරිස්‌සම් වෙන්න ඕනෑ. එතකොටයි දිගු ගමනක්‌ යන්න පුළුවන්.

ඔබේ පෙම්වතා කවුද?

මට පෙම්වතෙක්‌ නැහැ.

එතකොට විවාහය?

බොහෝ විට මම විවාහ වෙන එකක්‌ නැහැ. විවාහ වෙන්න මගේ කැමැත්තක්‌ නැහැ. අම්මයි, මල්ලියි බලාගෙන එයාලත් එක්‌ක සතුටින් ඉන්නයි මට ඕන.

අම්මා කියන්නේ නැද්ද විවාහ විය යුතුයි කියලා?

කියනවා. ළඟදිත් යෝජනාවක්‌ ඇවිල්ලා අම්මා ඒ ගැන කතා කළා. නමුත් මම ඒ යෝජනාවත් ප්‍රතික්‌ෂේප කළා, විවාහ වෙන්න අදහසක්‌ නැති නිසා.

හිතනවද තනියෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා?

හරි. විවාහ වුණා කියමුකෝ. හදිස්‌සියේවත් විවාහයෙන් පස්‌සේ ඒ කෙනා වෙන් වුණොත් ඒත් තනියෙන් ජීවත් වෙන්න ඕනෑනේ. ඉතිං මෙහෙම ඉන්න එක හොඳයි.

ආදරේ නිසා කලකිරිලද?

කලකිරුනු අවස්‌ථා තියෙනවා. හිත රිදුණු දුක හිතුණ වෙලාවල් තියෙනවා. මානසිකව වැටිලා හිටපු අවස්‌ථා තියෙනවා.

කාට ආදරේ කරලද ඔයතරං කලකිරුණේ?

හ්ම්… මම ගොඩක්‌ ආදරේ කරපු දෙන්නෙක්‌ හිටියා. ඒ දෙවතාවේදීම සිද්ධ වුණේ මගේ හිත රිදුනු එක.

ඒ කලා ක්‌ෂේත්‍රයේ කෙනෙක්‌ද?

දෙන්නගෙන් එක්‌ කෙනෙක්‌ කලා ක්‌ෂේත්‍රයේ. ඒ ගැන ක්‌ෂේත්‍රයේ බොහෝ දෙනෙක්‌ දන්නවා.

ඔබ බොහෝ ලෙස ආදරේ කළ මේ අයව ඇයි ඔබ අත් හැරියේ?

නැහැ. මම ආදරේදී අත් ඇරලා යන කෙනෙක්‌ නෙමෙයි. ගියේ ඔවුන්.

ආයෙත් දවසක ඔබව හොයාගෙන ආවොත්?

මාව දාලා ගිය කෙනෙක්‌ව මම කවදාවත් මගේ ජීවිතේට ආපහු ළංකර ගන්නේ නෑ.

ඔබ ඒ දෙදෙනාගෙන් කාට හෝ තවමත් ආදරේ කරනවද?

අපෝ නැහැ… පිළිකුලක්‌ විතරයි තියෙන්නේ. ඒ අය ඉන්න තැනක සතුටින් හිටපුදෙන්. එච්චරයි.

මේ ගෙවෙන ජීවිතේ තනිකමක්‌ පාලුවක්‌ දැනෙන්නේ නැද්ද?

එහෙම වෙලාවල් නැතුවමත් නෙමෙයි. ඒත් මම එච්චර හිතන්නේ නෑ ඒ ගැන. ගෙදර අය එක්‌ක සතුටින් ඉන්නයි මට ඕන. මගේ වැඩ එක්‌ක මම කාර්යබහුලයි. මට යාළුවෝ ඉන්නවා. ඒ අය එක්‌ක එළියට යනවා. එයාලා එක්‌ක කතා කරනවා. ඒ නිසා ඒ ගැන හිතන්න වෙලාවක්‌ නෑ ඉතිං.

මනාලියක්‌, මවක්‌ කියන්නේ හැම තරුණියකගේම සිහිනයක්‌?

ඒ හීන මටත් ඉස්‌සර තිබුණා. දැන් නං මම ඒ දේවල් ගැන හිතන්නේ නෑ. ආදරේ කියන්නේ බොරුවක්‌ කියලයි මට හිතෙන්නේ.

තනියම ජීවත් වෙද්දී මේ වෘත්තියෙන් විතරක්‌ ජීවත් වෙන්න පුළුවන්ද?

මම කොහොමත් ව්‍යාපාරයක්‌ ගැන සැලසුම් කරලයි තියෙන්නේ. ඉස්‌සරහට ඒ ගැන වැඩි විස්‌තර කියන්නම්. කොහොම වුණත් ළඟදීම ඒ කටයුතු ආරම්භ කරනවා.

– යුගන්ති යශෝධරා

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button