පළකල දිනය : Tue, Jul 10th, 2018

“මට දැන් චිත්‍රපටවල රඟපාන්න ආරාධනා ලැබෙන්නේ නැහැ”

වසන්ති චතුරානි කියන්නේ අපි කවුරුත් ආදරේ කරන ප්‍රවීණ රංගන ශිල්පිනියක්.

කාලයක් නිහඬ වෙලා හිටපු වසන්තිගේ රංගනය නැවතත් මේ දවස්වල දකින්න පුළුවන්.

ඒ, සිරස ටී.වී. නාලිකාවේ රාත්‍රී 8.30ට විකාශය වෙන “මිණිගංදෑළ” ටෙලි නාට්‍යයෙන්.

කාලෙකට පස්සේ නිර්මාණයකට සම්බන්ධ වුණ හේතුව ගැන වගේම, මිණිගංදෑළේ ඇය පණ ‍පොවන චරිතය ගැනත් දැන ගන්න අපි ඇයට කතා කළා.

මෑත කාලයේ ඔබේ රුව පුංචි තිරයෙන් හෝ රිදී තිරයෙන් අපට දැකගන්නට ලැබුණේ අඩුවෙන්. නමුත් දීර්ඝ කාලයකට පස්සේ ඔබ ආයෙමත් පුංචි තිරයට ඇවිත්. මොකක්ද මේ නිහැඩියාවට හේතුව?

මම රඟපෑමට සමුදීලා නැහැ කියන එක මුලින්ම කියන්න ඕනෑ. හැබැයි මාව නිර්මාණවල දකින්න ලැබෙන්නේ කලාතුරකින් කියන කතාව නම් ඇත්ත. ඇත්තටම නිර්මාණවලට අඩුවෙන් යොමු වෙලා ඉන්නේ හොඳ තිර රචනා නැති නිසා.

මට අඬගහන සමහර තිර රචනාවල ගොඩක් දුර්වලකම් තියෙනවා. මම ක්‍ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු හතළිහක් වෙනවා. ඒ නිසා මට හොඳ තිර රචනා ගැන “හොඳ ඉවක්” තියෙනවා. පසුගිය කා‍ලේ නම් සෑහෙන්න ආරාධනා ලැබුණා. ඒත් මම ඒ ලැබුණු සෑම ආරාධනාවක්ම ප්‍රතික්‍ෂේප කළා.

මොකද ඒ තිර රචනා මගේ රංගනයට කිසිසේත් ගැළපෙන්නේ නැති ඒවා. කා‍ලේකට පස්සේ මම බලා‍පොරොත්තු වෙන විදිහේ තිර රචනාවක් තමයි මේ දවස්වල සිරස ටීවී නාලිකාවේ විකාශය වෙන “මිණිගංදෑළ” ටෙලි නාට්‍යය තුළ තිබුණේ. ඒ නිසා දෙවරක් හිතන්නේ නැතිව මම ඒ ආරාධනාව භාර ගත්තා.

“මිණිගංදෑළ” ටෙලි නාට්‍යයේ ඔබ නිරූපණය කරන චරිතය ගැන කතා කළොත් ?

වලව්වක ජීවත්වෙන මුදලාලි මහත්තයාගේ බිරිඳක් විදිහට තමයි මම මිණිගංදෑළේ රඟපාන්නේ. ඒ චරිතේ නම් කරලා තියෙන්නේ “පුරන්සිනා” විදිහටයි. ගමක ජීවත් වෙන කුල කාන්තාවක් විදිහට තම දියණියගේ අනාගතය ගැනත් “පුරන්සිනා” හරි වගකීමෙන් වැඩ කරනවා. ඇය ගාම්භීර කාන්තාවක් වගේම දරුවන් වෙනුවෙන් කැප වූ මවක්.

කලාතුරකින් රඟපෑවත් ඔබේ රංගනයට අපේ රටේ ප්‍රේක්ෂකයෝ හැමදාමත් ආදරෙයි. ඉතිං මිණිගංදෑළේ රඟපෑම ගැන ප්‍රේක්ෂකයෝ මොකද කියන්නේ?

මගේ රඟපෑම ගැන එදා වගේම අදත් අපේ රටේ මිනිස්සුන්ට ලොකු පැහැදීමක් තියෙනවා. ගොඩක් දෙනෙක් කියපු දෙයක් තමයි “අපිට හරි සතුටුයි, කාලෙකට පස්සේ හරි ඔබතුමිය රඟපාන නිර්මාණයක් බලන්න ලැබිම” ගැන කියලා.

මේ වගේ කතාවලින් මට දැණුනු දෙයක් තමයි “මිණිගංදෑළ” ගොඩක් දෙනෙක් බලනවා කියන එක. අපිටම ආවේණික චර්යාවන් හා පුරුදු ගැනත් මේ නාට්‍යයේදී කියැවෙනවා. මේ කියන “අපේකම” ට මිනිස්සු තවමත් කැමතියි.

ඉන්දියාවෙන් ජරා කතා ගෙනල්ලා මිනිස්සුන්ගේ ඔළුගෙඩි පුරවන්න හැදුවත් අපේකමට ගැළපෙන හොඳ චිත්‍රපටයක් හරි ටෙලි නාට්‍යයක් හරි හැදුවොත් මිනිස්සු හරි ආශාවෙන් ඒක බලනවා.

වසන්ති මාධ්‍යය ඉස්සරහට එන්න කැමති නැහැ කියන්නේ ඇත්තද?

ඒක මගේ හැටියක්. මට නිකම් මාධ්‍ය ප්‍රචාර වැඩක් නැහැ. මම ආසයි යම් දෙයක් කළාට පස්සේ ඒ ගැන කතා කරන්න. ඒකයි මේ විදිහට නිහඬව ඉන්නේ. දැන් අපට කරන්න පුළුවන් දේවල් මේ රටේ නැහැනේ. අපිට දැන් චිත්‍රපටත් නැහැ. ආරාධනා ලැබෙන්නෙත් නැහැ.

දැන් හදන චිත්‍රපටවල අපිට ගැළපෙන චරිත නැති නිසා වෙන්න ඇති එහෙම වෙන්නේ. ඒත් හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් අනිවාර්යයෙන්ම මම එය භාර ගන්නවා.

“ගැහැනු ළමයි“ කියන්නේ ඔබේ රංගන ජීවිතයේ සුවිශේෂීම අවස්ථාවක්. “ගැහැනු ළමයි“ හරහා ඔබව සිනමාවට රැගෙන ආ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ වියෝවත් මේ නිසාම ඔබට තදින්ම දැනෙන්න ඇති.

ඇත්තටම ඔව්. ලෙස්ටර් සර් කියන්නේ විනයගරුක අධ්‍යක්ෂවරයෙක්. එදා සර් එක්ක වැඩ කරපු විදිහ මට අද වගේම හොඳට මතකයි. එතුමා නැතිවෙනකොට අවුරුදු 99යි. ඒත් සර් තවත් හිටියා නම් හොඳයි කියලා හිතෙන වාර අනන්තයි.

මට හරිම ලෝබයි සර් වගේ කෙනෙක් අපිට අහිමි වීම ගැන. ලෙස්ටර් සර්ගේ මරණේ තරම් මගේ හිතට තදින්ම දැනුණු මරණයක් තවත් නැහැ. ඒ වගේ දුර්ලභ මැණික් අපෙන් වෙන්වෙනකොට පුදුම දුකක් දැනෙන්නේ.

– සමන්මලී නැලිගම

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button