පළකල දිනය : Sat, Jul 14th, 2018

සල්ලි දුන්නොත් වෙඩි පිට වෙඩි තියන නාඳුනන තුවක්කුකරු “කෙනඩි” ගේ වතගොත !

අළු යට සැඟවුණු ගිනි පුපුරු මෙන් කොළඹ පාතාලය යළි හිස එසවීය.

ඉකුත් සතියේ පමණක් කොටහේන සහ පිටකොටුව යන ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයන් තිදෙනකු ඝාතනයට ලක්වී තවත් දෙදෙනකු බරපතළ තුවාල ලැබීය.

දිනය ඉකුත් 8 වැනිදාය. වෙලාව රාත්‍රි 8.15ට පමණය. ජම්පටාවීදිය, සෙල්විගේ වත්ත ප්‍රදේශයේ සැරිසැරූ නාඳුනන තුවක්කුකරුවකු ක්‍රියාත්මක විය.

තුවක්කුකරු නිකුත් කළ වෙඩි වරුසාවෙන් සෙල්විගේ වත්තේ ජීවත් වූ සිවුදෙනකු වෙඩි වැදී බිම ඇද වැටිණි.

අසල්වැසියන් එක්ව තුවාලකරුවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ ඇත. එහිදී තුවාල ලබා සිටි එළිසබට් පෙරේරා (50) සහ සෙල්වයියා සෙල්වරාජ් (58) යන දෙදෙනා ජීවිතක්ෂයට පත් විය.

ඝාතනයට ලක්වූ ඔවුන් දෙපළ අඹු-සැමියෝය. මෙම ඝාතනයේ ඉලක්කය වූයේද ඔවුන් දෙදෙනාය.

කොළඹ පාතාලයේ කල්ලි දෙකක් අතර දිගු කාලයක සිට හටගෙන ඇති ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුවූ බවට පාතාල මර්දන ඒකකයන් සැක පළ කරයි.

කොටහේන, ජම්පටාවීදිය, 137 වත්ත ප්‍රදේශයේ මේ ආකාරයට වෙඩි තැබීමක් සිදු වූයේ ඉකුත් ජූලි මස 24 වැනිදාය.

යතුරුපැදියක පැමිණි වෙඩික්කරුවන් දෙදෙනකු විසින් එදින රාත්‍රි 9.15ට පමණ ‘ගනේෂ්’ ලෙස හැඳින්වෙන හෙරොයින් ජාවාරමට සම්බන්ධ අයකු ඉලක්ක කරගනිමින් වෙඩි තැබීම සිදු කර තිබිණි.

වෙඩි වැදුණු ගනේෂ් දින කිහිපයක් ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයක ජීවිතයත් මරණයත් අතර සටනක නියැළුණේය. නමුත් ඔහුගේ ජීවිතය නූලෙන් බේරිණි.

කොළඹ කුඩු පාතාලයේ ප්‍රධාන සාමාජිකයකු ලෙස ගනේෂ්ව පොලිසිය විසින් හඳුන්වනු ලබයි. නමුත් ඔහුට වඩා හෙරොයින් ජාවාරමට ප්‍රසිද්ධ වූයේ ඔහුගේ බිරිය ‘කුඩු සෙල්වි’ නමින් හැඳින්වූ ඇයව 2015 වසරේ සැප්තැම්බර් මාසයේදී කොටහේන ප්‍රදේශයේදී අබිරහස් ලෙස වෙඩි තබා ඝාතනය කෙරුණේය.

එම ඝාතනය කෙනඩි නොහොත් ‘බුම්මා’ නමැති පාතාල නායකයකු විසින් සිදු කළ බවට පොලිසිය වෙත තොරතුරුද ලැබී තිබිණි.

එසේම ගනේෂ් ඝාතනය කිරීමේ අරමුණින් ජූලි 24 වැනි දින 137 වත්තට පැමිණ ඇත්තේ ‘කෙනඩි’ නොහොත් ‘බුම්මා’ බවටද පාතාල මර්දන ඒකකයන් හෙළි කරගත්තේය.
කුඩු සෙල්වි ඝාතනය කිරීමත් ගනේෂ්ට වෙඩි තැබීමත් නිසා ඔවුන්ගේ පාර්ශ්වය කෙනඩි සමඟ සිටියේ දැඩි වෛරයකිනි.

කුඩු සෙල්විගේ පාර්ශ්වයට හිසරදයක් වී සිටින කෙනඩිව අවසන් ගමන් යැවීම සඳහා නිරන්තර සැලසුම් දියත් කළහ.

නමුත් කුඩු සෙල්විගේ පාර්ශ්වයට කෙනඩි සිටිනා තැනක් සොයා ගැනීමට නොහැකි විය. ඒ අතර ඔවුන්ට තොරතුරක් ලැබුණේ ගනේෂ් ඝාතන තැතට එළිසබට් පෙරේරා සහ සෙල්වයියා සෙල්වරාජා යන අඹු-සැමි යුවළ ඔත්තු බලා ඇති බවටය.

එම සැකය මුල් කරගනිමින් මෙලෙස ඔවුහු ඉකුත් 8 වැනිදා රාත්‍රියේ ක්‍රියාත්මක වූහ.
අවසානයේ කෙනඩි වෙනුවට බිලිවීමට සිදුවූයේ එළිසබට්ට සහ සෙල්වයියාටය.
මෙම ද්විත්ව ඝාතනය සිදුවී ගතවූයේ හෝරා කිහිපයකි.

පිටකොටුව, ආදිවාල්වීදිය ප්‍රදේශයෙන් තවත් වෙඩි තැබීමක් වාර්තා විය. එම වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්වූයේ කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකි.
හතළිස් හැවිරිදි ක්‍රිෂ්ණපිල්ලේ තිරුබානන්දන් හෙවත් ‘ක්‍රිෂ්ණා’ නමැත්තා නාඳුනන තුවක්කුකරුවකුට මෙලෙස බිලි විය.

ඔහු ඝාතනයට ලක්වූයේ ඔහුට අයත් පලතුරු වෙළෙඳසලක් තුළ සිටියදීය. ඉකුත් සඳුදා (09දා) පෙරවරුවේ නාගරික මන්ත්‍රිවරයා සුපුරුදු පරිදි වෙළෙ¼දාම ආරම්භ කිරීමට මත්තෙන් වෙළෙඳසලට සුවඳ දුම් අල්ලමින් සිටියේය.

ඒ මොහොතේ හිස්වැසුමක් පැලඳ පලතුරු ගැනීමට පැමිණි නාඳුනන තුවක්කුකරු නාගරික මන්ත්‍රිවරයා ඉලක්ක කර ගනිමින් වෙඩි වරුසාවක් තබා පලා ගියේය.

ක්‍රිෂ්ණා යන නාමයෙන් හැඳින්වෙන මොහු කොළඹ මහ නගර සභාවට තේරී පත්වූයේ පසුගිය පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමෙනි.

ඔහු ඊට ප්‍රථමව ප්‍රධාන පක්ෂයකින් නාම යෝජනා සඳහා ඉල්ලීම් කර තිබුණේය. ඒ කොළඹ පාතාලයේ නායකයකු වන දැනට විදෙස්ගතව සිටින කුඩු ලාල්ගේ පුත්‍රයා සමඟය.
නමුත් ඔවුන් දෙදෙනාට එම ප්‍රධාන පක්ෂයෙන් නාම යෝජනා හිමිවූයේ නැත.

පසුව ඔවුන් දෙදෙනා ස්වාධීන කණ්ඩායමකින් මැතිවරණය සඳහා ඉදිරිපත් වුණි.
ක්‍රිෂ්ණාට ප්‍රධාන පක්ෂයකින් තරග කිරීමට නාම යෝජනා නොලැබුණේ ඔහු කේරළ ගංජා ජාවාරම සම්බන්ධයෙන් දෙවතාවක් අත්අඩංගුවට පත් වූවකු නිසාය.

එම නඩුවලට අදාළව ඔහු වවුනියාව සහ කොළඹ බන්ධනාගාරවලද සිරබත් කා තිබුණේය.
දේශප්‍රේමියකු, සමාජ ක්‍රියාකරුවකු ලෙසද පෙනී සිටින ක්‍රිෂ්ණා ඔහුට අයත් පලතුරු වෙළෙඳසලෙන් හොඳ ආදායමක් උපයා ගත්තේය.

ඔහු ඝාතනයට ලක් වීමට දින හතරකට ඉහතදී කොළඹ පිහිටි ඔහුගේ නිවෙස පරීක්ෂා කිරීමට විශේෂ පොලිස් කණ්ඩායමක් ගොස් තිබුණේ ලැබුණු බුද්ධි තොරතුරුවලට අනුවය.
අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත එම නිවෙස පරීක්ෂාව සිදු කළද එදින පොලිසියට හිස් අතින් ඒමට සිදු විය.

නමුත් අවසානයේ ක්‍රිෂ්ණාට එරෙහි කල්ලියක් ඔහුව කොටු කර ගත්තේ ඔහුගේ ජීවන ගමන නතර කරමිනි.

කේරළ ගංජා ගනුදෙනුවකට අදාළ ආරවුලක් මත කොන්ත්‍රාත් මුදලකට ක්‍රිෂ්ණාව ඝාතනය කර ඇති බවටද පාතාල මර්දන ඒකකයන් වෙත තොරතුරු ලැබිණි.

ක්‍රිෂ්ණා ඝාතනයේ වෙඩික්කරුවා කවුරුන්ද යන්න පාතාල මර්දන ඒකකයන් මේ වන විට අනාවරණය කරගෙන තිබේ.

ඔහුද කුඩු සෙල්විට වෙඩි තැබූ කෙනඩි බව පාතාල මර්දන ඒකකයන් විසින් අනාවරණය කර ගත්හ.
කෙනඩි ලෙසද, බුම්මා ලෙසද පාතාලයේ නම දිනා ගත් ඔහුගේ උප්පැන්නයේ සඳහන් වන්නේ ‘ස්ටැන්ලි කෙනඩි ෆර්ඩිනැන්ස්’ ලෙසටය.

ඔහු දැන් වැඩ කරන්නේ පාතාලයේ ගෝඩ් ෆාදර් ලෙස නම් දිනාගෙන ඇති ‘මධූෂ් ලක්ෂිත’ නොහොත් ‘මාකඳුරේ මධූෂ්’ගේ කීමටය.

මධූෂ්ගේ ප්‍රබලතම ගෝලයන් පසුගිය දිනවල පොලිස් අත්අඩංගුවට පත්වීමත් පොලිස් ප්‍රතිප්‍රහාරවලින් ඝාතනය වීමත් හේතුවෙන් මධූෂ්ගේ පාතාල ක්‍රියාකාරකම් කර ගැන්මට දක්ෂයකු ඔහු සොයමින් සිටියේය.

මීට මාස දෙකකට පමණ ඉහතදීත් කෙනඩි සිටියේ වැලිකඩ බන්ධනාගාරය තුළය.
කෙනඩි දක්ෂ වෙඩික්කරුවකු බව මධූෂ් දැනගෙන සිටියේය. ඒ නිසාම කෙනඩිව කුමන හෝ අයුරකින් බන්ධනාගාරයෙන් පිටතට ගැනීමට මධූෂ්ට අවශ්‍ය විය.

නීතිඥවරුන්ට මුදල් වියදම් කරමින් මධූෂ් කෙනඩිව අධිකරණ ඇප මත බන්ධනාගාරය තුළින් පිටතට ගත්තේය.

කෙනඩිගේ උපන් ගම කොළඹ 13 ජම්පටාවීදියයි. ඔහු මුල් කාලයේ කොළඹ මාළු අලෙවි සැලෙහි සේවකයකු ලෙස කටයුතු කළේය.

එකල ඔහුට කිලිනොච්චි ප්‍රදේශයේ ද්‍රවිඩ මිතුරකු හමු විය. එම මිතුදම වර්ධනය වූයේ කෙනඩි එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ කරවමිනි.

එල්ටීටීඊ යුද පුහුණුවද ලබා ගත් කෙනඩි ‘චාල්ස් ඇන්තනී බළකායට එක්වද කටයුතු කළේය.
එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් හට ආරක්ෂාව සැපයීම සඳහා බිහි කළ චාල්ස් ඇන්තනී බළකායේ ප්‍රබල සාමාජිකයකු බවට කෙනඩි පත් විය.

වසර පහක පමණ කාලයක් කෙනඩි එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස කටයුතු කළේය.

යුද ගැටුම්වලින්ද කෙනඩි කිහිප වතාවක් තුවාල ලැබීය.

2009දී ඊළාම් යුද්ධය අවසන් වනවාත් සමඟම යුද හමුදා භාරයට පත්වූ කෙනඩි පසුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ප්‍රශ්න කිරීම සඳහා රැගෙනවිත් තිබිණි.

මාස 21ක් රැඳවුම් නියෝග මත එහිදී කෙනඩිගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට ත්‍රස්ත විමර්ශන නිලධාරීහු කටයුතු කළහ.

පසුව ඔහුව පුනරුත්ථාපනය වීම සඳහා යොමු කෙරුණේ බූස්ස කඳවුර තුළය.

එහිදී ඔහුට දකුණේ පාතාලය සමඟද සබඳතා ඇති විණි. දකුණේ පාතාල නායක කොස්ගොඩ සුජී සහ කෙනඩි අතර මිත්‍රත්වයක් ගොඩනැඟෙමින් එම සබඳතා වර්ධනය විය.
ඉන්පසු කොස්ගොඩ සුජීගේ සියලු ප්‍රතිවාදීන් ඝාතනය කිරීමේ මෙහෙයුම භාර වූයේ කෙනඩිටය.

2016 පෙබරවාරි මස 16 වැනි දින බළපිටිය අධිකරණය ඉදිරිපිටදී සිදුවූ ද්විත්ව ඝාතනයේ සැඟවුණු වෙඩික්කරු වූයේද කෙනඩිය.

සුජීගේ ප්‍රතිවාදියකු වූ පාතාල නායක පියරත්න සහ ඔහුගේ සගයකු එම වෙඩි පහරින් ඝාතනය විණි.

සුජීගේ තවත් ප්‍රතිවාදියකු එම වසරේම අප්‍රේල් 11 වැනි දින කෙනඩි විසින් ඝාතනය කෙරුණේ උෟරගහ පොලිස් වසමේදීය.

දකුණ භීතියට පත් මෙම සැඟවුණු වෙඩික්කරු 2016 වසරේ අප්‍රේල් මස 17 වැනි දින දකුණු පළාතේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
කොන්ත්‍රාත් මුදලට මිනීමැරීම කෙනඩිගේ රැකියාව වී තිබේ.

බළපිටිය අධිකරණය ඉදිරිපිට වූ ද්විත්ව ඝාතනය ඔහු විසින් සිදු කර තිබුණේ රුපියල් දස දහසක කොන්ත්‍රාත් මුදලකටය.

කලක් දකුණ හෙල්ලූ මෙම සැඟවුණු වෙඩික්කරු මේ වන විට කොළඹ ප්‍රදේශය භීතියට පත් කරමින් කොළඹ සැඟවුණු වෙඩික්කරු ලෙස කටයුතු කරන්නේය.

පොලිසියේ මීළඟ අභියෝගය වන්නේ කෙනඩි අත්අඩංගුවට ගෙන කොළඹ නැඟිටිමින් තිබෙන පුද්ගල ඝාතන රැල්ල අවම කිරීමය

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්ගේ අධීක්ෂණය යටතේ කණ්ඩායම් කිහිපයක් සහ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසාගේ අධීක්ෂණය යටතේ තවත් පොලිස් කණ්ඩායම් කිහිපයක්ද මෙම අභියෝගය භාර ගෙන තිබේ.

ඊළඟට කොහෙන් වෙඩි පත්තු වේවිදැයි යන භීතියෙන් කොළඹ ජනතාවද කල් ගෙවති.

– චාමර අමරසූරිය

  • 2K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button