පළකල දිනය : Sat, Jul 14th, 2018

පිච්ච මල් පූජාව දා ශ්‍රී මහා බෝධියට උඩින් වැඩි දෙවියෝ (Photos)

ලක්ෂ ගණනාවක් වූ බැතිමතුන්ගේ සාදු නදින් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධියත් ඒ වටා ඇති ප්‍රදේශයත් පසුගිය හත්වැනිදා සවස් කාලයේදී ගිගුම් දෙන්නට වූයේ ජය ශ්‍රී මහා බෝධියට ඉහළ අහසේ සිදුවූ විශ්මයජනක සිදුවීම් මාලාවක් නිසාවෙනි.

වරින් වර විනාඩි කීපයක් තුළ සිදුවූ මේ විශ්මයජනක සිද්ධිය එම ස්ථානයට පැමිණ සිටි ලක්ෂ ගණනක් වූ බෞද්ධ ජනතාවගේ සිත් බොදු බැතියෙන් උතුරා යන්නට විය.

වසරකට වරක් ලක්ෂ ගණනාවක් බෞද්ධ ජනතාව අනුරාධපුරයට පැමිණෙන්නේ මේ ඓශ්චර්ය දැක බලා ගැනීමටය.

මෙමස 07 වැනිදා අනුරාධපුරයට රටේ විවිධ ප්‍රදේශවලින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පැමිණියහ. ඒ වසරකට වරක් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස පැවැත්වෙන පිච්චමල් පූජාවට සහභාගිවීම පිණිසය. මේ වැඩසටහන සංවිධානය කරනු ලබන්නේ ශාන්ති පදනම මගිනි.

පිච්ච මල් පූජාව සඳහා රටේ විවිධ ප්‍රදේශවලින් බැතිමතුන් පැමිණ සිටියේ ඉකුත් 06 දා සවස් කාලයේ සිටය. පිච්ච මල් පූජාව සඳහා පැමිණි ඔවුන් පැය ගණනක් තිස්සේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වටා අසුන්ගෙන සිටියේ අපහසුතාවන් ගැනවත් නොසිතාය. මේ පිරිස අතර වයස්ගත බැතිමතුන් රැසක් සේම ළදරුවන් අතැති මව්වරුන්ද අසුන්ගෙන සිටියහ.

පිච්චමල් පූජාව සඳහා ලක්ෂ ගණනක් පිච්චමල් යොදා ගැනෙන අතර,පූජාව පැවැත්වෙන දින පෙරවරු කාලයේදී පූජාව සඳහා ශ්‍රීමහා බෝධිය අවට ස්ථාන කීපයකදීම පිච්ච මල් බාර ගැනේ.

මේ නිසා අනුරාධපුර හා දුරබැහැර ප්‍රදේශවල පදිංචි බොහෝ බොදු බැතිමතුන් පිච්චමල් වලට පැන් ඉස කෙහෙල් පට්ටාවල ඔතා මහත් භක්තියෙන් යුතුව බාරදෙති. රටේ ඇතැමුන් මෙම පිච්ච මල් පූජාව සඳහාම මල් පූජා කිරීමට පිච්ච වගා කරති. ඔවුන් පිච්ච මල් සිය ගණනක් පිච්ච මල් පූජාව සඳහා පිරිනමන ලදි.

මෙලෙස බාර ගන්නා පිච්ච මල් ස්වර්ණා‍ලේපිත මඳක් විශාල පාත්‍රවල බහාලන්නේද මහත් ගෞරවාදරයෙනි. හිස් වැසුම් හා මුඛ වැසුම් පැලඳගෙන පිච්ච මල් තෝරා ස්වර්ණා‍ලේපිත පාත්‍රාවල තැන්පත් කෙරේ. මෙවර පිච්ච මල් පූජාවේදී ස්වර්ණා‍ලේපිත පාත්‍ර දෙසීයකට වැඩි ප්‍රමාණයක පිච්ච මල් ලක්ෂ ගණනක් තැන්පත් කෙරිණි.

අනතුරුව එදින දහවල් ථූපාරාම සෑයේ සිට රුවන්වැලිමහා සෑය ඔස්සේ ශ්‍රී මහා බෝධිය දක්වා පෙරහැරින් පිච්ච මල් සහිත ස්වර්ණා‍ලේපිත පාත්‍රා රැගෙන එන ලදි. පස්වරු 2ට පමණ ආරම්භ වූ මෙම පෙරහැර ජය ශ්‍රී මහා බෝධිය අසලට පැමිණෙන විට පස්වරු හතරද පසුවී තිබුණි.

මහත් ගෞරවාන්විත ලෙස ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කිරීම සඳහා පිච්ච මල් පූජා කිරීමට ආසන්න වෙද්දී භික්ෂූන් වහන්සේ නමක් සිය වරකට වඩා ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ. යනාදී ලෙස බුදුගුණ සිහිපත් කළහ.

ඒ අවස්ථාවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වටා රැස්ව සිටි ලක්ෂ ගණනක් බොදු බැතිමතුන්ද ශබ්ද නගා බුදුගුණ කියමින් බුදුන්වහන්සේ සිහිපත් කළහ.

දැඩි හිරු රශ්මියක් පැවතියද සැදැහැවතුන් එය නොතකා ‍පොරකමින් ශ්‍රී මහා බෝධීන් වහන්සේ වටා රොක්ව සිටියහ. පිච්ච මල් පූජා පෙරහැර ශ්‍රී මහා බෝධියට ආසන්න වන විටදී ඒ වටා ප්‍රදේශය අතුරු සිදුරු නැතිව බැතිමතුන්ගෙන් පිරී ගියේය.

ශ්‍රී මහා බෝධියේ පිවිසුම් මාර්ග සියල්ලම පාහේ බැතිමතුන්ගෙන් පිරී පැවතුණි. භික්ෂූන් වහන්සේලාද, දස සිල් මාතාවන්ද,විදෙස් ජාතිකයින්ද බැතිමතුන් අතරටම වී ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කරමින් අහසේ සිදුවන ඓශ්චර්ය දැකබලා ගත්හ.

මෙම අවස්ථාවේ දැඩි හිරු රශ්මිය මැකී ගොස් අහස කළු වලාකුළින් බරව ගියේය. යළි මඳ වේලාවකින් හිරු කිරණ අවට පුරා පැතිර යනවාත් සමඟ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අවට ප්‍රදේශය විවිධ වර්ණයන්ගෙන් යුතු රැස් වළල්ලක් විනාඩි කීපයක් පුරා විහිදී ගියේ බොදු බැතිමතුන්ගේ සාදු නාදය මැදය.

වරින් වර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉහළ අහසේ වර්ණයන් වෙනස් වන්නට විය. වරෙක නිල් පැහැතිය. වරෙක කහ පැහැතිය. වරෙක රතු පැහැතිය. කාටත් සිතා ගත නොහැකි ලෙස ඉහළ අහසේ පෙළහරක් පෑවා සේය.

වරින් වර මෙම අපූර්ව සිදුවීම දක්නට ලැබුණි. පිච්ච මල් පූජාවට මීට පෙර අවස්ථා කිහිපයකදීම පැමිණි බොහෝ දෙනකු කියා සිටියේ මෙවැනි ඓශ්චර්ය මීට පෙරදීද දුටු බවය. පිච්ච මල් පූජාව මෙවර පැවතියේ 29 වැනි වරටය. ලබන වසරේදී 30 වැනි වරට පවත්වන පිච්ච මල් පූජාව උත්සවාකාරයෙන් පවත්වන බව ශාන්ති පදනම පවසයි.

ස්වර්ණා‍ලේපිත පාත්‍රවල බහා තිබූ පිච්ච මල් මහත් ගෞරවාදරයෙන් යුතුව බුදුන් වහන්සේටත්,ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේටත් පූජා කරනු ලැබුවේ මහත් භක්ත්‍යාදරයකිනි. මේ අවස්ථාවේ පිච්ච මල් ලක්ෂ ගණනක සුවඳ අවට ප්‍රදේශය පුරා පැතිරී ගියේය.

පිච්ච මල් පූජාව පැවැත්වෙන අවස්ථාවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීමට පැමිණෙන පිරිස එන්න එන්නම වැඩිවීම නිසා ජය ශ්‍රී මහා බෝධියේ පිවිසුම් ගේට්ටු පවා වසා දැමීමට ‍පොලිස් නිලධාරීන්ට සිදුවිය.

අපගේ බෞද්ධ සිද්ධස්ථානවල සිදුවන මේ ඓශ්චර්යයන් බොහෝදෙනා බැහැර කරති. නමුත් කුමක් හෝ අප නොදකින යමක් මේ ස්ථානවල සිදුවන්නේය. එය කිසිසේත්ම බැහැර කළ නොහැකිය.

– සාලිය කුමාර ගුණසේකර
– රිවිර

Comments පලකිරීමට පහතට යන්න


Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Back to Top Button