පළකල දිනය : Sat, Jul 14th, 2018

අත් දෙක වාරු නැති නිසා කටින් උත්තර දීලා උපාධිය දිනපු දිරිය දියණිය !

ඉගිලෙන්නට තටුත්, තටු විහිදුවන්නට අවුරුදු තුන හතරකම සවියත් ලබාගත් එක, නෙක කුරුල්ලෝ පේළි ගැසී උන්නේ තටු විහිදා ඉගිල යන්නට අවසර ලැබ ගන්නට ය.

කවදත් අඩු නැති කිචිබිචිය තැනින් තැන ඇසුණත් ඒ කතාවට වඩා කතා ඒ මුහුණුවල ලියැවී තිබුණේය. හික්මීම පෙරට තියා පේරාදෙණිය සරසවි බිමේ පෙළට ඇවිද ආ මේ ‘එක ?නේ කුරුල්ලලන්’අතර වෙනස් කිරිල්ලියක සිටියාය.

ඈ ආවේ දෙපයින් නොවේ. කවදත් සේම රෝද පුටුව ඈට සවියක් වී තිබුණේය.

රෝද පුටුවේ වාඩි වී ආ ඇයද අවසන ඉගිලෙන්නට වරම් ලැබුවාය. එනමුදු ඇය අරගල කරමින් සිටියේ ඉගිලෙන්නට නොව ජීවත් වන්නටය. ‘තිළිණි නිමේෂා ජයතිලක’ වූ ඇය ට මේ ලැබුණේ උපාධි කඩදාසියක් ම නොව, ඈට සමච්චල් කළ දෛවයට ඈ පෙන්වූ නිර්භීතකමේ සහතිකයයි.

සිය දහස් ගණන් දරුවන්ගේ නෙත් පාදන ගුරු යුවළක් වන පුෂ්පකුමාර ජයතිලක සහ ධම්මිකා කුමාරි සෙනෙවිරත්නට කුලූදුලේ ලැබුණු දරු සම්පත මේ නිර්භීත කෙල්ලයි. කෑගල්ල වල්දෙණියේදී අලූතින් ඇරඹූ ජීවිතය මේ පුංචි සුරතලිය නිසා ලස්සන වූ බව පුෂ්පකුමාරටත්, ධම්මිකාටත් නොයෙක් විට දැනී තිබුණේය.

ඒ සතුට හා වැඩිකල් ජීවත් වන්නට ඔවුන් වරම් නොලද්දේ පුංචි තිළිණි මාස පහ හය වෙද්දී නොයෙක් ලෙඩ දුක්වලට ලක් වන්නට පටන් ගත් නිසාය.

”අනූදෙකේ අවුරුද්දේ ජුනි මාසේ 25 තමයි අපිට දුව ලැබුණෙ, කෑගල්ල ඉස්පිරිතාලෙදි. දුවට මාස හයක් විතර වෙද්දි දුව පෙන්නන්න ඕන ක‍්‍රියාකාරකම් පෙන්නන්නෙ නැහැ කියලා අපිට දැනුණා. එයාට පෙරළෙන්න අපහසු වුණා. ඒ කාලෙ ඉදලම අපි බෙහෙත් කළා. ඒත් ඒ එකකින් වත් වැඩක් වුණේ නැහැ. කොළඹත් ගෙනැල්ල බෙහෙත් කළා.

ඒත් අන්තිමේදි දුවගෙ කකුල් දෙකම අප‍්‍රාණික වෙන එක අපිට නතර කර ගන්න බැරි වුණා.” අතීතය දුක් පිරි කාලයක් වුවත් අද, අම්මා ඒ අතීතයට අකමැති නැත. ඒ ඈට ආඩම්බරකාර අද දවසක් ගෙනෙන්නට ඒ ක`දුළු අතීතය පන්නරයක් වූ නිසාය.

”අපි දුවව නියමිත වයසෙදි පාසලට ඇතුළත් කළා. ඒ අතරේ කොළඹ අරගෙන ඇවිත් ප‍්‍රතිකාරත් කළා. ඊට පස්සෙ කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකාවේ විශේෂ අධ්‍යාපන ඒකකයට ඇතුළත් කළා. ඒත් දුවට බුද්ධිමය දුර්වලතාවක් නොතිබුණු නිසා එහෙම අධ්‍යාපන ඒකකයක ඉන්න ඕන වුණේ නැහැ.

ඒ නිසා අපි දුවව අඹන්පිටිය විශේෂිත පාසලට ඇතුළත් කළා. මමත් ඒ පාසලටම මාරුවීමක් අරගෙන ගියා. දුවට ඇවිදින්න බැරි නිසා මුල්කාලෙ දුවව පාසලට අරගෙන ගියේ වඩාගෙන. පස්සෙ දුවට ඕන නිසාම අපි ත‍්‍රිරෝද රථයක් ගත්තා.” තාත්තා කියන්නේය.

තිළිණි අපහසුතා අභියෝග සියල්ල පරයමින් ඉදිරියටම එන ලකුණු පෙන්වමින් සිටියාය. ශිෂ්‍යත්වයට ලියන්නට ඈට ඇගේ ලෙඩදුක් ඉඩ නොදුන්නත් ඇයගේ ගමනට බාධා කරන්නට ලෙඩදුක් කිසිවක් සමත් නොවූයේය.

2009 වසරේ සාමාන්‍ය පෙළට තිළිණි ලිව්වේ නැත. ඈ වාචිකව පිළිතුරු දුන්නාය. විෂයන් නවයම සමත් වී සම්මාන පහක්ද ඒ අතරට එකතු කරගන්නට සමත් වූ ඇගේ විශ්වවිවිද්‍යාල සිහිනය සෙමෙන් සෙමින් ජීවිතයට ළංවූයේද ඒ ලැබූ දිනුම නිසාය.

2012 වසරේ ඈ උසස්පෙළ සමත් වන්නේ ද වාචිකව පිළිතුරු ලබාදෙමිනි. අපේ අධ්‍යාපන ඉතිහාස පොතේ තිළිණිගේ නම ලියැවෙන්නේ ‘වාචිකව උසස්පෙළට පිළිතුරු ලබා දී විශ්වවිද්‍යාලයට තේරී පත් වූ පළමුවැන්නා’ ලෙසයි.

”මම මුලින්ම පාසල් ගියේ රඹුක්කන හේවාදිවෙල උදන්විට මහා විද්‍යාලයට. මගේ අසනීප තත්ත්වය නිසා මට ශිෂ්‍යත්ව විභාගයට ලියන්න බැරිවුණා. මට ප‍්‍රතිකාර ගන්න අවශ්‍ය නිසා කොළඹ කාලයක් නැවතිලා සිටියා. ඒ දවස්වල ගංගොඩවිල ජයසිංහ විද්‍යාලයටත් ගියා. පසුව කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකාවට ගියා. කෑගල්ල අඹන්පිටිය විශේෂ කනිෂ්ඨ විද්‍යාලයට ඇතුළත් වූණේ ඉන්පසුවයි.

මට 2012දී ලංකාවේ ප‍්‍රථම වතාවට වාචිකව උසස් පෙළ වැනි රජයේ විභාගයකට මුහුණ දෙන්න අවස්ථාව ලැබුණේ ඒ අනුවයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලය වැනි කීර්තිමත් විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට ලැබුණෙත් ඒ නිසයි. දැන් තවත් සිසුන් කීපදෙනෙක් අප පාසලෙන් විශ්වවිද්‍යාලවලට සමත්ව තිබෙනවා.

අඹන්පිටියෙන් සාමාන්‍ය පෙළ සමත් වුණාට පස්සේ මට උසස් පෙළ ලියන්න රන්වල මහා විද්‍යාලයට යන්න වෙලා තිබුණේ. රන්වල පාසලේ උසස් පෙළ පන්ති තිබුණෙ මහල් ගොඩනැගිල්ලක. මට ඒකට අපහසු බව මම ද ැනගෙන හිටියා. ඒ නිසා අඹන්පිටිය පාසලේ උත්සවයකට අධ්‍යාපන ඇමැතිතුමා ආපු වෙලාවක මම ඉල්ලීමක් කළා අඹන්පිටිය පාසලට උසස් පෙළ පන්තියක් දෙන්න කියලා. ඒ ඉල්ලීම ඉටුවුණා.

ඒ නිසයි අද මම මේ තැනට ආවේ. මම විභාගය සමත්වෙලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තේරුණු වෙලාවෙ මට දැනුණු සතුට කියන්න බැරි තරම්. මම තමයි අඹන්පිටිය පාසලෙන් විශ්ව විද්‍යාලයට ගිය පළවෙනි කෙනා වෙන්නෙත්. මට තියෙන තවත් ලොකු සතුටක් තමයි මට පස්සෙත් දැන් කීපදෙනෙක්ම මගේ පාසලෙන් විශ්වවිද්‍යාලයට ගිහින් තියෙන එක.” තිළිණි කියන්නීය.

ඈ මේ ලෙහෙසියට කියාගෙන යන්නේ ඈ ආ දුෂ්කර ගමනක මතකයයි.

විශ්වවිද්‍යාල ගමනද ඈට පහසු ගමනක් වී නැත. ඈ ඒ සියල්ලට දිරි ලැබ ඇත්තේ මාපියන්ගෙනි. ඔවුන්ද කළ කැපකිරීම් අද මල්පල දරා ඇත්තේය. මාපියන්ට තවත් මොන සතුටක්ද! දුව විශ්වවිද්‍යාලයට තේරුණු මුල්ම දවස්වල ත‍්‍රිරෝද රථයෙන් දිනපතා එයාව විශ්වවිද්‍යාලයට ගෙන ගියා.

පසුව මමත් පේරාදෙණිය විමලධර්මසූරිය මහා විද්‍යාලයට මාරුවක් ගත්තා. දුව විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීමට තිබුණේ 2014 අවුරුද්දේ. අපිට ස්ථාන මාරු ලබාගැනීමට ප‍්‍රමාද වූ නිසා දුව විශ්වවිද්‍යාලයට ඇතුල් කිරීමටත් ප‍්‍රමාද වූවා. නැතිනම් දුවට ගිය අවුරුද්දේ උපාධිය සම්පූර්ණ කරන්න තිබුණා.”

තිළිණිගේ තාත්තා තවත් දේ ඇගේ කතාවට එකතු කළේය.

වාචිකව විභාගයකට මුහුණ දීමේ අත්දැකීම මේ කතාවේ කොතැනකට හෝ එකතු නූවොත් එය අඩුවක් වන්නට බැරි නැත. අම්මාගේත් තාත්තාගේත් ක`දුළු සැ`ගවුණු ඒ කතා මැද යළිත් තිළිණි හඬ අවදි කළේ ඒ ගැන කාට කාටත් කියාදෙන්නටය.

”විභාගවලදී මම ප‍්‍රශ්නවලට වාචිකව උත්තර දුන්නා. උසස් පෙළ විභාගයේදී නිරීක්ෂකයන් දෙදෙනකු සිටියා. ඔවුන් මම දෙන පිළිතුර පටිගත කරනවා. තවත් කෙනකු මගේ පිළිතුර ලිඛිතව සටහන් කරනවා. විශ්වවිද්‍යාලයේදී නම් නිරීක්ෂකයන් දෙදෙනකු සිටියේ නැහැ. මම වාචිකව දෙන පිළිතුරු ඒ අවස්ථාවේදීම තවත් කෙනෙක් පිටපත් කරනවා.

ප‍්‍රශ්නවලට පිළිතුරු මට හිතලා කියන්න පුළුවන්. නමුත් ලිඛිත භාෂාවෙන් දෙන්න ඕනෑ. පිළිතුරක් ආරම්භ කළාම ඒක අතරමග නවත්වන්න බැහැ. එක හුස්මට කියන්න ඕනෑ. මගේ දැන් බලාපොරොත්තුව ගුරුවරියක වී රටට සේවය කිරීමටයි.

මම ඉගෙන ගත් දේට සාධාරණයක් ඉටුකරමින් ලෝකයට කුමන හෝ සේවයක් ඉටුකිරීමට ජනාධිපතිතුමාගේ සහ අධ්‍යාපන ඇමැතිතුමාගේ අවධානය යොමු වී අවස්ථාව සැලසෙනවා නම් මම එය සතුටින් භාර ගන්නවා. දැන් මගේ එකම බලාපොරොත්තුව එයයි. මේ සමගම පශ්චාත් උපාධියට සූදානම් වීමට බලාපොරොත්තුවක් නැහැ. එවැන්නකට වාචිකව පිළිතුරු සැපයීම විශාල අභියෝගයක්.”

ඈ ඒ කියන්නේ අපට නුපුරුදු ඈට සුපුරුදු විභාග කලාව ගැනයි.

ඇය පාසල් යන සමයේදී ඇයගේ අරමුණ වී ඇත්තේ මහාචාර්යවරියක වීමටය. නමුත් විශ්වවිද්‍යාලයට ගිය පසු එය ඉතා අසීරු කටයුත්තක් බව ඇයට වැටහී ඇත.

ඒ හැරත් ගුරුවරියක ලෙස දරුවන්ගේ දෙනෙත් පෑදීමට ඇයට ඇත්තේ මහත් රුචියකි.

”අපේ සීයාත්, කිරිඅම්මාත් ගුරුවරු. මගේ දෙමාපියෝත් ගුරුවරු. ඒ නිසා ගුරු වෘත්තියට මම වඩාත් කැමැතියි. ගුරුවරු මගේ ඇස් පෑ නිසයි අද මම උපාධිධාරිනියක වූවේ. විශ්වවිද්‍යාලයක ඉගැන්වීම පහසුයි. විෂය පිළිබඳව හැඳින්වීමක් කළාම ඔවුන් කරුණු සොයා බලා ඉගෙන ගන්නවා. නමුත් පාසලක එහෙම නැහැ. නැවත නැවත තේරුම් කළොත් පමණයි දරුවන් වටහා ගන්නේ. ඒ තත්ත්වයට දරුවන් ගෙන එන එක ඉතාදුෂ්කර කාර්යයක්.”

වාචිකව උපාධියට මුහුණ දී උපාධියක් සමත් වූවකු ගැන මෙරට සේම ලෝකයෙන්ම තොරතුරක් ලැබී නැත්තේය. ඈ විශේෂවන්නේ ඒ නිසාමය, ඇයට ලැබුණු අවස්ථාව විශේෂවන්නේ ද ඒ නිසාම ය. ලෝකයෙන්ම තමන්ගේ කියා තැනක් සොයාගත් ඈට දැන් ලොකු බලාපොරොත්තු නැත්තේය. ඈට ඕනෑ උගත් දේ ලොවට කියාදෙන්නටය.

”මගේ මල්ලිත් මම වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කළා. එයා දැන් කටුනායක තාක්ෂණ ආයතනයේ ඉගෙන ගන්නේ. තව ගොඩක් අය අපේ අම්මට, තාත්තට, මල්ලිට ගොඩක් උදව් කළා මාව මේ තැනට ගේන්න. ඒ හැමෝටමත් ගොඩක් පින් කියලා කියන්න ඕන.”

තිළිණි මේ කියන්නේ ඇගේ දිනුම ගැන ඈ තරමටම සතුටු වන ඇගේ ආදරණීයයන් ගැනය.

සැබෑවටම තිළිණි සිය ගමනේ බොහෝ අසීරු කඩඉම් ජයගෙන ඇත්තේ ලෝකටටද ඉන් ‘යස පාඩමක්’ කියාදෙමිනි. ඒ පාඩම අපි ද උගත යුත්තකි. ගුරුවරියක් වී පොත පත දැනුම ලොවට බෙදන්නට ඈ වරම් ලබනු ඇත.

එනමුත් පොතපත දැනුමට එහා ගිය පාඩමක් නිරතුරුව ඈ ලෝකයට කියාදෙනු ඇත. තිළිණිගේ ලොව දිනූ නිර්භීතකමේ පාඩම කවදාටත් ඈව ‘ජීවිතය කියාදෙන ඇදුරුතුමියක’ කර තබනු ඇත. ඇගේ සවිය ලොවටද සවියක් වේවා!

නෙලූෂා සිල්වා

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button