පළකල දිනය : Sun, Jul 15th, 2018

“නිලන්තියි මායි බේරුණේ අනූ නවයෙන්”

ඔහු සැබවින්ම දක්‌ෂයෙක්‌. කිසිවකුට සම කළ නොහැකි මට්‌ටමේ වැඩ කාරයෙක්‌.

ලෝකයක්‌ පුදුම කරමින් ගිනස්‌ පොතට අලුතින් පිටු එක්‌කළ අයෙක්‌. නිවේදකයෙක්‌. රංගන ශිල්පියෙක්‌. ඔබ බලනවා ඇති මේ තරම් දක්‌ෂ, මේ තරම් වර්ණනා කරන ඔහු කවුද කියලා.

ඔහු වෙන කවුරුත් නෙවෙයි. බුද්ධික රඹුක්‌වැල්ල. ඔහුට තව තවත් දේවල් කරන්න ඔබේ ශක්‌තියම ඇතියි කියලයි ඔහු නම් කියන්නේ. වැඩි විස්‌තර අපි ඔහුගෙන්ම අහලා දැනගමු…

බුද්ධික ඉතිං කොහොමද?

වරදක්‌ නැහැ. හොදින් ඉන්නවා.

මොකද කරන්නේ මේ දවස්‌වල?

ටී. එන්. එල්. ඩයලොග් රිද්ම රාත්‍රියේ නිවේදන කටයුතු කරගෙන යනවා. ඊට අමතරව ෆේස්‌බුක්‌ ලයිව් වැඩසටහනක්‌ කරගෙන යනවා ලයිව් විත් බුද්ධික කියලා. මම ඒ වැඩසටහන කරගෙන යන්නේ ෆේස්‌බුක්‌ වෙනුවෙන්මයි.

ජනප්‍රිය චරිතයක්‌ ගෙනල්ලා තමයි ඒ වැඩසටහන කරගෙන යන්නේ. අමරා රණතුංග, බන්දුල විඡේවීර, කොරීන් අක්‌කලා, මරියසෙල් අක්‌කලා වගේ ගොඩක්‌ අය වැඩසටහනට සහභාගි වෙනවා. ලංකාවෙ ආපු නැති කෙනෙක්‌ නැති තරම්. සජීවීව ප්‍රේක්‌ෂකයන් කමෙන්ට්‌ කරනවා, සිංදු ඉල්ලීම් කරනවා. ඒ වැඩ තමයි ඉතිං දැනට කරගෙන යන්නේ.

මොකද මේ වගේ වැඩසටහනක්‌ කරගෙන යන්න හිතුවේ ?

ටී.වී. බලන්නෙ නැති අපේ ආදර රසිකයන් බොහෝ පිරිසක්‌ විදෙස්‌ රටවල ඉන්නවා. ඒ ආදර හිතවතුන් වෙනුවෙන් තමයි මම මේ වැඩසටහන කරන්නේ. පිටරට ප්‍රේක්‌ෂක ප්‍රතිචාර තමයි වැඩිපුර තියෙන්නේ. සෙනසුරාදා 12 සිට 01 දක්‌වා හෝ ඉරිදා 12 සිට 01 දක්‌වා වගේ තමයි වැඩසටහන කරන්නේ. බලන්න පුළුවන් මගේ පේජ් එකෙන් හෝ යූ ටියුබ් එකෙන්.

අලුත් සිංදුව ගැන යමක්‌ කිව්වොත් ?

– බඹරෙ මගේ” තමයි මගේ අලුත්ම සිංදුව. මම ඒකට තමයි මේ දවස්‌වල වැඩි වෙලාවක්‌ වෙන්කරලා තියෙන්නේ. ඒකෙ අශාන් ප්‍රනාන්දු තමයි මියුසික්‌. ශෙහාන් ගලහිටියාව තමයි ලිව්වේ. ඊ ටියුන් ෆිල්ම්ස්‌ තමයි විෂුවල් එක කරේ. සිංදුව කියන ගමන් මමත් රඟපානවා. නිලන්ති ඩයස්‌ තමයි බඹරෙට ඇක්‌ට්‌ කරන්නේ. ඉන්දියානු සහ නේපාල් ගැහැනු ළමයිනුත් මේකෙ රඟපානවා.

සමාජ ශාලාවකදී අකරතැබ්බයකට මුහුණදුන්නා කියලා ආරංචියි ?

ඒකට හේතුව තමයි අපි වීඩියෝ එක ෂූටිං කරේ කොල්ලුපිටියේ සමාජ ශාලාවක. අපි ෂූටිං කර කර ඉන්නකොට හිතපු නැති විදියට ලොකු හුළගක්‌ ඇවිල්ලා ඒ සමාජ ශාලාවේ සිවිලිම කඩාගෙන වැටුණා. නිලන්තිලා අපි ඔක්‌කොම අනූ නමයෙන් තමයි බේරුණේ. තව පොඩ්ඩක්‌ මිස්‌ වුණානම් අපේ මරණෙ තමයි ගන්න වෙන්නේ.

චිත්‍රපටයකට ආරාධනා ලැබුණේ නැද්ද ?

මිල්ටන් ප්‍රනාන්දු කියන මගේ ඇමරිකාවෙ ජීවත්වෙන යාළුවෙක්‌ ඉන්නවා. ඔහුගේ හැපි බර්ත්දේයි කියලා චිත්‍රපටයක්‌ කරනවා. ඒ චිත්‍රපටයේ මාත් ඇක්‌ට්‌ කරනවා. ඒක ජාත්‍යන්තර තලයට යන චිත්‍රපටයක්‌. රිචඩ් බී එක්‌ක තමයි මට ඇක්‌ට්‌ කරන්න තියෙන්නේ. ඒක මට ලොකු අවස්‌ථාවක්‌. බලමු ඉතිං. ඒකටත් සූදානමින් ඉන්නවා.

ඔබ නිවේදකයෙක්‌ විදියට අසාර්ථකයි කියලා කිව්වොත් ?

එහෙම කිව්වොත් මට ටී.වී. වැඩසටහන් නැතුව යනවනේ. ඩයලොග් රිද්ම රාත්‍රිය කියන්නේ ලංකාවේ අංක එකේ මොබයිල් නෙට්‌වර්ක්‌ එකෙන් කරන වැඩසටහන. එහෙම මම අසාර්ථක නම් මට ඒ වැඩසටහන දෙන්නේ නෑනේ.

මම එහෙම අසාර්ථක නිවේදකයෙක්‌ නම් ෆේස්‌බුක්‌ ලයිව් එකත් එක්‌ක මේ තරම් පිරිසක්‌ රැෙදන්නේ නෑනේ. අනික මම කොහොමත් නිවේදකයෙක්‌ නෙවෙයි. මම රංගන ශිල්පියෙක්‌. ලෝක වාර්තා තියපු මනුස්‌සයෙක්‌. මගේ අමතර දෙයක්‌ තමයි නිවේදනය කියන්නේ.

රංගන කරන කාලෙට වඩා රිද්ම රාත්‍රියේ ජනප්‍රියත්වය දැන් අඩුවෙලා නේද?

ඒක මම කියන්න දන්නේ නැහැ. ඒක එයා කරද්දී කොච්චරද අපි කරද්දී කොච්චරද කියලා අපි හොයලා නැහැ. නමුත් මම හිතනවා දැනුත් එදා වගේම ජනප්‍රියයි කියලා.

ලෝක වාර්තා තිව්වා ඇති වගේද ?

මම තියපු ලෝක වාර්තා දෙක තාම ලෝකෙ කවුරුත් කරලා නැහැ. පොතටත් දමන්න අමතක වෙච්ච දෙයක්‌ තමයි මම කරලා තියෙන්නේ. ගිනස්‌ පොතෙත් මේ වගේ රෙකෝඩ් තිබුණේ නැහැ. මම ලාංකිකයෙක්‌ නිසා තමයි ගොඩක්‌ ප්‍රශ්න තියෙන්නේ.

සමහරවිට මම ඇමරිකන් ජාතිකයෙක්‌ වුණා නම් ඒක ඉක්‌මනට ගිනස්‌ පොතට වැටෙයි. නමුත් ඔවුන් මට මේල් එකකින් දන්වලා තියනවා ඉදිරියේදී රෙකෝඩ් දෙක ගිනස්‌ පොතට දමනවා කියලා. මගේ ඉදිරි ලෝක වාර්තා දෙක මම ඇමරිකාවට ගිහින් කරන්න ඉන්නේ. බලමු ඉදිරියේදී.

– ප්‍රසංග මාභරණ

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button