පළකල දිනය : Tue, Jul 17th, 2018

“මම ඒ හැඩරුවට පුදුමාකාර බයක් දක්වන්නේ”

අපේ ජීවිතය තුළ සැඟවුණු ගොඩක් රහස් තිබෙනවා. ළඟින් සමීපව ඇසුරු කරන අය පවා සමහර වෙලාවට මේ රහස් දන්නේ නැහැ.

මේ කියන “රහස” පාසල් යන අවධියේ පවා මා සඟවා ගත්තේ බොහොම අමාරුවෙන්. කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණාට පස්සෙත් මම මේ රහස කිසි කෙනෙකුට දැන ගන්න ඉඩ තැබුවේ නැහැ. අද ඒ ගැන කිව්වට පස්සේ නම් හැමෝම ඒ ගැන දැන ගනිවි.

ඕනෑම කෙනෙක් දරුණු, නපුරු සතුන්ට බයයි. විෂකුරු සර්පයන්, කොටි, වලසුන් වගේ සතුන්ට තමයි හුඟ දෙනෙක් බය. මමත් මේ ලෝකයේ සත්වයන් අතරින් පුදුමාකාර බයක් දක්වන සතෙක් ඉන්නවා.

ඒ තමයි “ගෙම්බා”. කිසි කෙනෙකුට හිංසාවක් නැති මේ සතාට මම මේ තරම් බය ඇයි කියලා අම්මලත් මගෙන් අහනවා. ඒත් මම ඒ හැඩරුවට, පැන පැන යන විදියට පුදුමාකාර බයක් දක්වන්නේ. ඈතින් ගෙම්බෙක් ඉන්නවා දැක්කොත් ඌ කොයිම වෙලාවක හරි ඇවිත් මගේ ඇඟට පනිවි කියලා මට හිතෙනවා.

වැස්ස වැහැලා මිදු‍ලේ වතුර පිරෙනවාට ඕනෑම පුංචි දරුවෙක් කැමතියිනේ. ඒත් මම නම් ඒකේ අනිත් පැත්ත. පුංචි කා‍ලේ වැස්ස වැහැලා මිදුල පුරා වතුර පිරුණම ගෙදර දොර අරිනවටවත් මම කැමති නැහැ. වැහි වතුරේ ගෙම්බෙක් ඇති.. දොර ඇරියොත් ඌ ගෙට පනිවි කියලා මට හිතෙනවා.

මගේ මේ “ගෙඹි භීතිකාව“ ගෙදර අය නම් දන්නවා. එක දවසක් බොහොම අපූරු වැඩක් වුණා. ඒ අවුරුදු කා‍ලේ. වටාපිටාව පුරා අවුරුදු සිරිය උතුරලයි තිබුණේ. ඔය වෙලාවේ අපේ මල්ලි ෂොපිං බෑග් එකකුත් අරගෙන ආවා.

අක්කේ ආ” අඹ ගෙඩියක්” මල්ලි ෂොපිං බෑග් එක මගේ අතට දුන්නා. මමත් බොහොම සතුටින් බෑගය අරගෙන අත ඇතුළට දැම්මේ අඹ ගෙඩිය ගන්නයි. ඒ වේලාවේ මට ඇති වූ හැඟීම් වචනයෙන් විස්තර කරන්න බැහැ.

මල්ලි ෂොපිං බෑග් එකක දාලා මට ගෙනත් දුන්නේ මහ විශාල ගෙම්බෙක්ව. මට උන් හිටි තැන් අමතක වුණා. ගෙම්බෙක් දැමු ෂොපිං බෑග් එක විසි කරලා මම මහ හයියෙන් විලාප තිබ්බා. අවුරුදු දවස් හින්දා වටාපිටාවේ ගෙවල්වලට අමුත්තෝ ඇවිත් හිටියා. ඒ හැමෝම මගේ විලාප හඬට අපේ ගෙදරට දුවලා ආවා. එදා නම් මල්ලි ගෙදර හැමෝගෙන්ම හොඳටම බැණුම් ඇහුවා.

රිවස්ටන්වල රූගත කෙරුණු ටෙලි නාට්‍යයකදීත් තවත් අපූරු දෙයක් වුණා. මමයි සීයයි තමයි ෂුටිං වලට ගිහින් හිටියේ. අපේ නවාතැන්‍පොළේ නාන කාමරය තිබුණේ පිටතින්. හැමදාම උදේ බලනකොට නාන කාමරේ බිත්තිවල ගස් ගෙම්බෝ එල්ලිලා ඉන්නවා.

සීයා උදෙන්ම නැගිටලා බාල්දියකුයි කොස්සකුයි අරගෙන ගිහින් අර ගෙම්බෝ ටික එකතු කරලා ඈතට විසි කරනවා. ඊට පස්සේ තමයි මම නාන කාමරේට යන්නේ. කොහොමත් මම දුර පළාත්වල රූගත කිරීම්වලට ගියාම මුලින්ම කරන්නේ නවාතැන්‍පොළේ වටපිටාව කොයි වගේද, ගෙම්බෝ එහෙම ඉන්නවද කියලා හොයා බලන එකයි. එදා මම වෙනුවෙන් “සීයා” ගෙම්බන්ව අල්ලන්න කළ මෙහෙයුම මට අද වගේ මතකයි.

ගෙම්බන්ට මම මේ විදියට බය හින්දද දන්නේ නැහැ කාලෙක ඉඳලා අපේ වත්තේ මහ විශාල ගෙම්බෙක් ඉන්නවා. කොයි වෙලාවේ ගෙට රිංගන්නද කියලා තමයි මේ ගෙම්බා බලාගෙන ඉන්නේ. ඒ හින්දම මම ඉන්නේ හරි බයෙන්. මේ නිසා දවසක් ගෙදර කට්ටිය මේ ගෙම්බව අල්ලලා ඈතට ගිහින් විසි කළා.

පහුවදා උදේ බලද්දී මූ ආයෙමත් අපේ වත්තට ඇවිත්. මේ විදියට දෙතුන් වතාවක්ම ගෙම්බව අල්ලලා ඈතට ගිහින් දැම්මත් ඌ ආයෙම අපේ වත්තට එනවා. හැබැයි ඒක වෙන්නේ කොහොමද කියලා නම් අපි කාටත් හිතා ගන්න බැරි වුණා. මේ ගෙම්බා ගැනම මම කියව කියව හිටපු හින්දා දවසක් ගෙදර හැමෝම එකතු වෙලා ඌව අල්ලගෙන ෂොපිං බෑග් එකක දාලා සොහොනට ගිහින් දාලා ඇවිත් තිබුණා. ඊට පස්සෙ තමයි ඌ අපේ ගෙදර එන එක නතර වුණේ.

– ආරියවංශ කුලතිලක

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button