පළකල දිනය : Mon, Jul 23rd, 2018

ඉක්‌මනට “ලෙඩ වෙන්න” තුන්වේල බත් කන්න

අපි තුන්වේලට බත් කාපු ජාතියක්‌. එසේ පවසමින් වර්තමානයේ අපට උදම් ඇනිය හැකිද?

පිළිතුර වනුයේ නොහැකි බවය. මේ වනවිට හෘදයාබාධ වැළඳී ප්‍රතිකාර ලබාගැනීමට රෝහල්ගත වන පිරිස වසරකට 13,000 ක්‌ පමණ බව වාර්තා වේ.

මෙලෙස ප්‍රතිකාර ලබාගැනීමට එන පිරිස අතර වයස අවුරුදු 18-20 වියේ පසුවන තරුණ තරුණියෝද සිටිති.

දියවැඩියා රෝගයට ගොදුරුව සිටින පිරිස දෙස බලන විට සෑම පුද්ගලයන් දසදෙනකුගෙන් එක්‌ අයකු දියවැඩියා රෝගයට ගොදුරුව හෝ ගොදුරුවීමට ආසන්නව සිටියි.

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 12 ත් 14 ත් වයසේ පසුවන දරුවන්ගෙන් සියයට දහයක්‌ (10%) ස්‌ථුලතාවයෙන් පෙළෙති.

එනිසා ඔවුනට අඩු වයසින් දියවැඩියාව සහ හෘද රෝග ඇතිවීමේ අවදානමක්‌ පවතී.

මේ අනුව පෙනී යන්නේ අතීතයේදී තුන්වේල බත් කා දසමහා යෝධයින් මෙන් ශක්‌තිමත්ව සිටි ජාතියක වත්මන් පරපුර තුන්වේල බත් පමණක්‌ නොව අධි පෝෂ්‍යදායී ආහාර තුන්වේල කෑමට ගෙන රෝගී වී ඇති බවය.

එදා තුන්වේල බත් කෑ පිරිස නීරෝගිව සිටීමටත් වර්තමානයේ තුන්වේල බත් කන පිරිස රෝගී වීමටත් හේතුව කුමක්‌දැයි කියා දැන් ඔබට ප්‍රශ්නයක්‌ මතුවනු ඇත.

ඊට ඇති පිළිතුර වන්නේ වර්තමානයේ අප බොහෝ දෙනා තුන් වේල බත් කා අලස දිවියක්‌ ගතකිරීම මීට ප්‍රධානම හේතුව බවය.

එදා තුන්වේල බත් කෑ සිංහලයෝ බත් කෑමට අවශ්‍ය වී ටික වගා කර ගැනීමට කුඹුරු කෙටූහ. වැව් අමුණු තැනූහ. සැතපුම් ගණන් පයින් ඇවිද ගියහ. දාගැබ් තැනීමට තම ශ්‍රමදායකත්වය ලබාදුන්හ. එනිසා ඔවුන් බත්වලින් ලබාගන්නා ශක්‌තිය කය වෙහෙසවා වැඩකිරීම නිසා සිරුරේ අනවශ්‍ය ලෙස තැන්පත් වූයේ නැත. එය වැයවිය.

නමුත් වර්තමානයේ අප බොහෝදෙනා එලෙස කය වෙහෙසවන්නේ නැත. සැතපුම් ගණනක්‌ තබා මීටර් සියයක්‌ පයින් ඇවිදින්නේ නැත. දවසේ වැඩි කාලයක්‌ එක තැන වාඩිවී සිටිමින් රැකියා කිරීමට යොමුව සිටිති.

මෙලෙස අලස දිවියක්‌ ගතකිරීම නිසා සිරුරට ලබාගන්නා අධිපෝෂණය වැය නොවී සිරුර තුළම තැන්පත් වේ. එහිදී පිෂ්ටය තැන්පත් වන්නේ රුධිරය තුළ සීනි ලෙස මේදය තැන්පත් වන්නේ රුධිර නාළ ඇතුළත බිත්තිවල කොලෙස්‌ටරෝල් ලෙස හෝ සම මත මේද පටක ලෙස හෝ අක්‌මාවේ මේද අම්ල ලෙසය.

මේදය අධික ලෙස සම මත තැන්පත්වූ විට තරබාරුව ඇතිවේ. අක්‌මාවේ තැන්පත්වූ විට සිරෝසිස්‌ (Cirrhosis) රෝගය ඇතිවේ.

රුධිර නාළ තුළ තැන්පත්වූ විට අධි රුධිර පීඩනය සහ හෘද රෝග ඇතිවේ.

සීනි රුධිරය තුළ අධික ලෙස තැන්පත්වූ විට දියවැඩියා රෝගය ඇතිවේ.

එසේ නම් දැන් අපි කුමක්‌ කළ යුතුදැයි කියා මතුවන පැනයට ඇත්තේ සරල විසඳුමකි. අප ගත කරන අලස දිවියෙන් මිදී ක්‍රියාශීලී දිවියක්‌ ගතකිරීමට යොමුවීම සහ සමබර ආහාර වේලක්‌ තුන්වේලට ගැනීමට හුරුවීමය.

තුන්වේලට සමබර ආහාර වේලක්‌ ගැනීම

වර්තමානයේ අප බොහෝ දෙනාගේ ප්‍රධාන ආහාර වේල් තුනේ වැඩිපුරම ඇත්තේ පිෂ්ටයයි. එනම් බත්ය. ඊට අමතරව අල වර්ග, කොස්‌, දෙල් ආදිය ඊට එක්‌කර ගනී. එළවළු, මැල්ලුම් ආදිය එක්‌කර ගන්නේ ඉතා ස්‌වල්ප ලෙසය.

මෙම ආහාර වේල වෙනුවට පිඟානෙන් 1/3 පිෂ්ටය හෙවත් බත් හෝ අල වර්ග කොස්‌, දෙල් එක්‌කරගත යුතුය. ඉතිරි 1/2 එළවළු, කොළ මැල්ලුමක්‌, මස්‌ මාළු බිත්තර හෝ සෝයා ආහාරයක්‌ එක්‌කරගත යුතුය.

ඊට අමතරව පලතුරු ආහාරයට ගතයුතුය. පලතුරු යනු ඇපල්, දොඩම්, අන්නාසි පමණක්‌ නොවන බව සිතට ගත යුතුය. වෙරළු, කෙසෙල්, ගස්‌ ලබු, නෙල්ලි, දිවුල් ඇතුළු ඕනෑම පලතුරු වර්ගයක්‌ ආහාරයට ගත හැකිය.

දිනකට පිරිසිදු ජලය ලීටර් තුනක්‌වත් පානය කළ යුතුය.

මෙලෙස ආහාර පාන ගනිමින් අඩුම තරමින් කිලෝමීටර් භාගයක්‌වත් ඇවිදීම හෝ පැය භාගයක්‌වත් ව්‍යායාමවල යෙදීම හෝ කය වෙහෙසවා වැඩකටයුතුවල යෙදීම කළ යුතුය.

තුන්වේල බත් කෑම වෙනුවට එක්‌ වේලක්‌ බත්ද අනෙක්‌ වේල් සඳහා කඩල, මුං ඇට, කවුපි වැනි ධාන්‍ය වර්ගද ඇට, පිටි වලින් සකස්‌ කළ ආහාර වර්ගද කෑමට හුරුවිය යුතුය.

බත් ආහාරයට ගන්නා විට තැම්බූ සහල් භාවිතයට යොමුවිය යුතුය. එහි කෙඳි සහිත බව හොඳින් පවතී.

පාන් පිටි වලින් සකස්‌ කළ ආහාර වර්ග ගැනීම සීමා කළ යුතුය.

එසේම ආහාර ගැනීමේ වැරදි පුරුදුද නිවැරදි කරගත යුතුය. එනම් වර්තමානයේ බොහෝ දෙනා පාන් කෑමේදී වෑංජනය ලෙස යොදා ගන්නේ පරිප්පුය. පාන් සහ පරිප්පුවල බහුලව ඇත්තේ පිෂ්ටයයි. එනිසා පාන් ආහාරයට ගන්නා විට පොල් සම්බෝලයක්‌, මාළු, බිත්තර වැනි වෑංජනයක්‌ භාවිත කළ යුතුය.

බත් සමඟ අල, කොස්‌, දෙල් වැඩිපුර එක්‌කර ගැනීම නොකළ යුතුය. මේ සියල්ලම තිබිය යුත්තේ බත් පිඟානේ හරි අඩක්‌ පමණි.

වර්තමානයේ හෘදයාබාධ ඇතිවීමට බලපා ඇති ප්‍රධානම කරුණක්‌වී ඇත්තේ අධික ලෙස පිෂ්ඨය ආහාරයට ගැනීමය.

වැඩිපුර පිෂ්ටය ආහාරයට ගැනීමෙන් සිරුර තුළ තැන්පත් වන ලිපෝ ප්‍රෝටීන් ප්‍රමාණය ඉහළ යයි. මෙලෙස ලිපෝ ප්‍රෝටීන් ප්‍රමාණය සිරුරේ ඉහළ ගියවිට හෘදය වස්‌තුවේ කිරීටක ධමනිය තුළ කොලෙස්‌ටරෝල් තැන්පත්වීමද ඉහළයැමෙන් හෘදය වස්‌තුවට සැපයීම අඩාල වී හෘදයාබාධ හෝ හෘදය වස්‌තුවේ ක්‍රියාකාරීත්වය අඩපණවීම (Heart Failing) සිදුවේ. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ අකාලයේ මියයැමය.

එනිසා හැකිතාක්‌ දුරට ආහාර වේලේ ඇති පිෂ්ටය අඩුකරගත යුතුය. කය වෙහෙසවන පුද්ගලයෙක්‌ සතියකට බිත්තර තුනක්‌ හතරක්‌ ආහාරයට ගැනීම හානිකර නැති බව වෛද්‍ය පර්යේෂණ මගින් සොයාගෙන ඇත. චීස්‌, බටර් කිරි ආහාර ආදිය සාමාන්‍ය පරිදි ආහාරයට ගැනීම වරදක්‌ නැති බවද හඳුනාගෙන ඇත.

ආහාර පිසීම සඳහා ගැනීමට භාවිත කරන තෙල් වර්ග එක්‌වරක්‌ පිසීමට භාවිත කළ පසු එම තෙල් නැවත දෙතුන් වරක්‌ භාවිත කිරීම නොකළ යුතුය.

එක්‌වරක්‌ භාවිත කළ තෙල් යළිත් වරක්‌ භාවිත කළ හැක්‌කේ පොල් තෙල් පමණි. අනෙක්‌ තෙල් වර්ග එසේ භාවිත කිරීම හානිකරයි.

ආහාර පිසීමේදී ගැඹුරු තෙලේ බැදීම සීමා කළ යුතුය.

පොල් කිරි භාවිතයේදී කිරි මිරිකා පෙර ගැනීම නොකර මිරිකාගත් පොල්ද කිරි සමඟ මිශ්‍ර කර ආහාර සඳහා යොදා ගැනීමෙන් සිරුරට එක්‌වන අධික මේද ප්‍රමාණය සීමාවේ. පොල් වලට කෙදි සහිත බව ඇති නිසා ආහාර දිරවීම පහසු කරයි. මළබද්ධය ඇතිවීම පාලනය වේ.

මෙලෙස අප දවසේ ආහාර වේල් තුන සකසාගෙන ක්‍රියාශීලී දිවියක්‌ ගතකළහොත් ලෙඩ රෝග ඇතිවීම පාලනය කරගෙන දසමහා යෝධයන්ගේ පරපුරේ සාමාජිකයන් ලෙස ජීවත්විය හැකිය.

– වෛද්‍ය තොරතුරු ඇසුරිනි

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button