පළකල දිනය : Mon, Jul 23rd, 2018

විඡේවීර ඝාතනය ගැන ජ.වි.පෙ පරීක්‌ෂණයක්‌ ඉල්ලුවෙ නැත්තේ ඇයි ?

ජනතා විමුක්‌ති පෙරමුණේ නිර්මාතෘ හා අසහාය නායක නන්දසිරි විඡේවීර හෙවත් රෝහණ විඡේවීර 1989 නොවැම්බර් මස 13 වන දාට පහන්වන හිමිදිරි පාන්දර පණපිටින් පුළුස්‌සා දැමීමත් සමගම මේ රටේ දේශපාලන අභිරහස්‌ ගණනාවක්‌ම දැවී අළුදූලි වී ගියේ යෑයි කිවහොත් එය නිවැරදිය.

ඉනික්‌බිති උපතිස්‌ස ගමනායක ඇතුළු ජ.වි.පෙ. නිර්මාණය කරන්නට පුරෝගාමී වූ නායකයින් හා දේශපාලන මණ්‌ඩල සභිකයින් විශාල පිරිසක්‌ ප්‍රේමදාස ආණ්‌ඩුවේ කැලෑ නීතිය ප්‍රකාරව අවසන් ගමන් ගියහ.

ඉන් ඇරඹුණු ජ.වි.පෙ. හා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සාමාජිකයන් සොය සොයා ඝාතනය කිරීමේ ක්‍රියාන්විතය දකුණේ තරුණ ජීවිත 60,000 කට අධික ප්‍රමාණයක්‌ රටට දැයට අහිමි කර දුන් බව අමුතුවෙන් මතක්‌ කර දිය යුතු නැත.

රෝහණ විඡේවීර, උපතිස්‌ස ගමනායක, ඩී. එම්. ආනන්ද, එච්. බී. හේරත් ඇතුළු ජවිපෙ දේශපාලන මණ්‌ඩල සභිකයින් ගණනාවකගේ මිය යාමෙනුත් සෝමවංශ අමරසිංහ ඇතුළු තවත් නායකයින් ගණනාවකගේ අතුරුදන් වීමෙනුත් අඩපණව ගිය ජනතා විමුක්‌ති පෙරමුණ ඇතුළු ඊට අනුබද්ධ සංවිධාන සියල්ල වැඩි දිනක්‌ නොගොස්‌ම ක්‍රියාවිරහිත වූහ.

පිළිසරණක්‌, අරමුණක්‌, නිශ්චිත ඉලක්‌කයක්‌ නැතිව විපිළිසර වූ සාමාජිකත්වයෙන් සැලකිය යුතු පිරිසක්‌ ආරක්‌ෂක අංශ ක්‍රියාන්විතයන්ට හසුව මෙලොව හැර ගියහ. ඉතා කෙටි කලක්‌ තුළ රටපුරා හන්දියක්‌ හන්දියක්‌ ගාණේ මිනී කඳු පිලිස්‌සෙන්නට වූයේ ඒ අනුවය. 60000 කට අධික තරුණ තරුණියන් පිරිසක්‌ අම්මලා තාත්තලාට, රටට, දැයට අහිමි වූයේ ඒ අනුවය.

එපමණකින් සියල්ල විසඳුනිද….. ඒත් නැත. පිටස්‌තර ලෝකය සමග සබඳතා පැවැත්වූ ඉතාම ස්‌වල්ප දෙනෙක්‌ වෙස්‌වලාගෙන රටින් පලාගියහ.

ඉන් පසුව ආරක්‌ෂක අංශවලට හසුවූ හා වරද පිළිගෙන බාර වූ බොහෝ දෙනකුට සිදුවූයේ නඩු නැති වරදකරුවන් ලෙස එවකට බිහිව තිබූ වධකඳවුරුවල අපා දුක්‌ විඳින්නට ය. කොළඹ විශ්ව විද්‍යාලයේ හා තිඹිරිගස්‌යාය යටාරෝ කැෆටේරියාවේ තිබූ වධකාගාරවලට අමතරව පළාත්බදවත් බියගම බටලන්දේ, ගාල්ල බූස්‌සේ, මාතර එලියකන්දේ, කුරුණෑගල පොල්වත්ත ප්‍රා වධකාගාරයේ, බදුල්ලේ බෙරගල, මහනුවර කටුගස්‌තොට ආදී තැන්වල ප්‍රධාන වධ කඳවුරු පිහිටා තිබිණි. ඊට අමතරව එකල සෑම දිස්‌ත්‍රික්‌කයකම ප්‍රධාන හමුදා කඳවුරුවලද ලොකු කුඩා වධකාගාර නිර්මාණය වී තිබුණු බව අපට මතකය. මරාදැමුණු තරුණ තරුණියන් 60 000 ක ගණන් මිනුම් සම්පූර්ණ වූයේ මෙසේ වධකඳවුරුවල ඉරුඑළිය වත් දකින්නට නොමැතිව අපා දුක්‌ විඳි තරුණ තරුණියන් ගෙනි.

නඩුහබ ඇතිව හෝ නැතිව වධකාගාරවල පමණක්‌ වසර ගණන් අපා දුක්‌ විඳ යාන්තමින් දිවි ගලවාගෙන පැමිණි තරුණ තරුණියන් පිරිස ද මියගිය තරුණ තරුණියන් පිරිසට සම වනවා මිස අඩු වන්නේ නැත. ජනතා විමුක්‌ති පෙරමුණ එවකට පාලන බලයේ සිටි ප්‍රේමදාස රජය විසින් මර්දනය කරන ලද ආකාරය කියන්නට මේ ස්‌වල්ප වූ විස්‌තරය ප්‍රමාණවත් නොවන බව මම දනිමි. එහෙත් මා මෙම ප්‍රවේශය ගත්තේ අද අප සාකච්ඡාව තුළ ඉන්ද්‍රානන්ද ද සිල්වා සහෝදරයා සමග වෙනම ඉතා වැදගත් කාරණයක්‌ ගැන සාකච්ඡා කරන්නට ය.

wijeweera2ජනතා විමුක්‌ති පෙරමුණ තුළ ක්‍රියාකාරීව සිට ජනතා අරගලයට සහභාගී වී මියගිය, අතුරුදන් වූ හා අගතියට පත් දකුණේ ලක්‌ෂ සංඛ්‍යාත තරුණ තරුණියන් පිරිසට මේ රටේ උතුරු නැගෙනහිර දෙපළාතේ කොටි සංවිධානයට බැඳී ක්‍රියා කළ තරුණ තරුණියන්ට සමාන ලෙස මානව හිමිකම් නොමැතිද..? ඔවුන්ට ලෝක මානව හිමිකම් ප්‍රඥප්තිවල ආවරණය හා ආරක්‌ෂාව අහිමිද..? ඒ හිමිකම් දකුණේ තරුණ තරුණියන්ට අකැපද..?

ඒවා දකුණේ තරුණ තරුණියන් වෙත ලබාගැනීම වෙනුවෙන් රටේ එදා මෙදාතුර ආණ්‌ඩු කළ රජයන්, අගතියට පත් පාර්ශ්වය නියෝජනය කරන ජ. වි. පෙ ය, රටේ මානව හිමිකම් ආරක්‌ෂා කිරීම ආගම කරගත් නහුතයක්‌ පමණ වූ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන කර ඇත්තේ කුමක්‌ද..?

අද අපි ප්‍රවේශයක්‌ ගන්නේ කිසිවෙක්‌ උත්තර නොදෙන මෙම ප්‍රශ්නය ගැන කතා කරන්නට ය. වසර 28 කට පසුව තම සැමියාට අත් වූ ඉරණම කුමක්‌දැයි නීතියේ පිළිසරණ ප්‍රකාරව රජයෙන් අසන චිත්‍රාංගනී විඡේවීර මැතිනියට පෙර මෙ ප්‍රශ්නය ඇසිය යුතු කිසිදු පාර්ශවයක්‌ ඒ ගැන කතා නොකළේ ඇයි….

අපි අද ඉන්ද්‍රනන්ද ද සිල්වා සහෝදරයා සමග කතාබහ කරන්නේ එම කරුණු කාරණා පිළිබඳවය.

යටාරෝ කැෆටේරියාවේ තුවාන් නිසාම් මුතාලිෆa ඇතුළු එවකට වධකයන්, පසුව රණවිරුවන් බවට පත්වූ හමුදා නිලධාරීන්ගේ වධ බන්ධනවලට යටත්ව මාරාන්තික දින 19 කුත්, ඉන් පසුව වසර 7 කුත් මාස 9 ක්‌ හිර ගෙවල් වලත් දුක්‌ විඳලා මම මැගසින් බන්ධනාගාරයෙන් නිදහස්‌ වෙලා එළියට ආවේ 1997 සැප්තැම්බර් 27 වනදා.

ඉන්පස්‌සෙ කොහොමද ගමේ යන්නෙ… මම දැන් මොකද කරන්නේ… කියන එක ලොකු ගැටලුවක්‌ වුණා. මම හිරේ ඉන්න කාලය තුළ ප්‍රේමදාස ජනාධිපතිවරයා මියගිහින්. ඊට පස්‌සේ ඩී. බී. විඡේතුංග ජනාධිපති හැටියට පත් වෙලා ඡන්ද පවත්වලා චන්ද්‍රිකා බණ්‌ඩාරනායක අලුතෙන් තේරිලා ඇයගේ ප්‍රධානත්වයෙන් අලුත් ආණ්‌ඩුවක්‌ බලයට පත් වෙලයි තිබුණේ.

මම නිදහස්‌ වෙලා ආවේ අලුත් සමාජයකට. ජ.වි. පෙ. ක්‍රියාකාරකම් නැවත ආරම්භ වෙලා තිබුණා නව මුහුණුවරකින්. පක්‌ෂයට අලුතිත් ක්‍රියාකාරිකයෝ ඇවිත් හිටියා. ටිල්වින් සහෝදරයා ක්‍රියාකාරීව පක්‌ෂය මෙහෙයවූවා. සෝමවංශ අමරසිංහ සහෝදරයා ප්‍රකටවත් කුමාර් ගුණරත්නම් සහෝදරයා අප්‍රකටවත් පක්‌ෂයේ නායකයෝ ලෙස වැඩකටයුතු බලා ගනිමින් සිටියා.

මම නිදහස්‌ වෙලා ආවා වුණත් මගේ ආරක්‌ෂාව පිළිබඳව ලොකු විශ්වාසයක්‌ මට තිබුණේ නැහැ. මේ නිසා උපක්‍රමිකව තැන් තැන්වල ජීවත් උන මම අවසානයේ පක්‌ෂ මූලස්‌ථානයේ නතර වී සිටියා.

මට මතක විදිහට ඒ දවස්‌වල පක්‌ෂ මූලස්‌ථානය තිබුණේ පාගොඩ පාරෙ. ඊට පස්‌සේ මූලස්‌ථානය අත්තිඩිය ප්‍රදේශයේ තැනකට අරගෙන ගියා.

කොහොම හරි මේ කාලේ මට මගේ හිත ඇතුලෙ ලොකු ප්‍රශ්නයක්‌ නළියන්නට වුණා. මම තමයි විඡේවීර සහෝදරයාව මරන ආකාරය ඇස්‌ දෙකෙන් බලා හිටපු මනුස්‌සයා. මේ මනුස්‌සයට වෙඩි තියලා මැරෙන්නත් කලින් පණපිටින් පුච්චල දාන විදිහ ඇස්‌ දෙකෙන් බලා හිටපු මනුස්‌සයා.

ඒක කරපු මිනිස්‌සු කව්ද කියලා මම හොඳින් දැක්‌කා. මම ඕනම තැනක සාක්‌ෂි දෙනවා. ඒත් ඇයි මේ ගැන මගෙන් කවුරුවත් අහන්නෙ නැත්තෙ කියලා මට ලොකු ප්‍රශ්නයක්‌ තිබුණා.

ඉතින් ඔබට තිබුණනෙ ඒ ගැන කතා කරමින් ප්‍රවේශයක්‌ අරගන්න. හෙළිදරව්වක්‌ ප්‍රසිද්ධියේ කරන්න..?

ඔව් මම ඒක කරන්න පසුබට වුණේ නැහැ. මම හිරගෙදර ඉඳිද්දි පවා ඒ කටයුත්ත කරලයි තිබුණේ. මම ඒව කියන්නම්. ඊට පස්‌සේ නිදහස්‌ උනාට පස්‌සේ මේ දේ කරන්න සුදුසු වේදිකාවක්‌ ලැබෙන්න එපාය.

නිදහස්‌ වෙලා ටික කාලයකින් මම නැවත පූර්ණ කාලීන දේශපාලනය කරන්න පටන් ගත්තා. පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ ලේකම්වරයා විදිහට වගකීම භාරගෙන මම වැඩ කළා. මේ කාලේ වන විට පක්‌ෂයට අවශ්‍යතාවයක්‌ පැන නැගුනා පක්‌ෂ සමුළුවක්‌ පවත්වන්න.

සාමාන්‍යයෙන් අපේ පක්‌ෂය “බොල්ෂේවික්‌ පක්‌ෂයක්‌” එවන් පක්‌ෂයක ඉදිරි වැඩකටයුතු තීරණය කරන්නේ පක්‌ෂ සමුළුවකදී ඉදිරිපත් වන යෝජනා අනුවයි. විඡේවීර සහෝදරයා ඉන්න කාලේ අපේ පක්‌ෂයේ පළමු සමුළුව පවත්වලායි තිබුණේ. ඔහුගේ මරණින් පසුව පක්‌ෂයේ නිලතල තීරණය කිරීමටත්, ඉදිරි වැඩපිළිවෙළක්‌ සාදා ගැනීමටත් සමුළුවක්‌ පවත්වන්න වුවමනා වෙලා තිබුණා.

– බුලිත ප්‍රදීප් කුමාර

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button