පළකල දිනය : Sat, Jul 28th, 2018

මහ බැංකු නිලධාරිනියක ලෙස පෙනීසිට හාමුදුරුවරුන් රවටා අම්මයි දුවයි මුදල් ගරලා !

මහ බැංකු නිලධාරිනියක ලෙස පෙනී සිටිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල විහාරස්‌ථාන රැසක හිමිවරුන් රවටා ලක්‌ෂ ගණනක්‌ මුදල් වංචා කළ මවක්‌ සහ දියණියක්‌ වැලිමඩ පොලිසිය මගින් 26 දා අත්අඩංගුවට ගනු ලැබූහ.

වැලිමඩ ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන පනස්‌ තුන් හැවිරිදි මව සහ දහනව හැවිරිදි දියණිය විහාරස්‌ථානවලට ගොස්‌ මෙම වංචාවන් සිදුකර තිබේ.

මහ බැංකුවේ විගණන අංශයේ ප්‍රධානියා ලෙස පෙනී සිට ඇති පනස්‌ තුන් හැවිරිදි සැකකාරිය මහ බැංකුව මගින් රුපියල් මිලියන ගණන් මුදල් විහාරස්‌ථානවලට දෙන බව පවසා එහි මූලික ලියවිලි සැකසීම සඳහා අවශ්‍ය මුදල් ලෙස මෙසේ ලක්‌ෂ ගණන් මුදල් විහාරස්‌ථානවල හිමිවරුන් රවටා ලබා ගෙන තිබෙන බව මූලික පොලිස්‌ විමර්ශනවලදී හෙළිව තිබේ.

මුදල් ලබා ගත් පසු අදාළ කාන්තාව තම දහනව හැවිරිදි සුරූපි දියණිය යොදවා සමාජ ජාල උපයෝගි කරගෙන විවිධ බලපෑම් සිදුකර තිබේ.

පසුව හිමිවරුන් පොරොන්දු වූ ආධාර මුදල නොලැබුණු නිසා අදාළ කාන්තාවට ලබා දුන් මුදල් ඇයගෙන් ඉල්ලා තිබේ.

මෙවිට මෙම සැකකාර කාන්තාව ඇතැම් හිමිවරුන් මග හැර ඇති අතර එම හිමිවරු මේ වන විට වැලිමඩ පොලිසියට පැමිණිලි ඉදිරිපත් කරමින් සිටිති. තවත් හිමිවරුන්ට විවිධ බලපෑම් කරමින් බිය වද්දා තිබේ.

මෙහිදී ජංගම දුරකථන හයක්‌, බැංකු පාස්‌ පොත්, ක්‍රෙඩිට්‌ කාඩ්, බැංකු කාඩ් විශාල ප්‍රමාණයක්‌ ද පොලිසිය මගින් මොවුන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගෙන තිබේ.

තවද මොවුන් මේ සඳහා මහනුවර ප්‍රදේශයෙන් කුලී පදනම මත ලබාගත් මෝටර් රථයක්‌ සහ එහි රියදුරුද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධව බණ්‌ඩාරවෙල කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස්‌ පරිදි වැලිමඩ පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරික්‌ෂක එච්.එම්.ඩබ්ලිව්. හේරත් මහතාගේ මූලිකත්වයෙන් පොලිස්‌ පරීක්‌ෂක නිශාන්ත ගුණතිලක, අපරාධ අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරික්‌ෂක අබේරත්න, පො(කො( ප්‍රේමලාල් (1751), පො( කො( (39463) චන්දන, කා(පො(කො( (6121) වජිරා ඇතුළු වැලිමඩ පොලිස්‌ ස්‌ථානයේ නිලධාරිහු වැඩිදුර විමර්ශන සිදු කරති.

බොරලන්ද – සමන්ත කුමාර

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button