පළකල දිනය : Wed, Aug 1st, 2018

හඳේ ඉඳන් හදපු යානයකින් ඇමෙරිකාව අඟහරු ලෝකයට (Photos)

මිනිස් ඉතිහාසය තුළ අතිශය සුවිශේෂී සිදුවීමක් වූයේ පළමු වරට මිනිසෙකු සඳ වෙත යැවීමේ සිද්ධියයි. පෘථිවියේ සිට කි.මී. ලක්ෂ 4 ක් පමණ දුරින් පිහිටි සඳ වෙත යාමට මිනිසුන්ට හැකි වනු ඇතැයි යන්න එකල බොහෝ දෙනෙකුට විශ්වාස කිරීමට පවා අපහසු සිදුවීමක් විය.

මෙම ඓතිහාසික සිදුවීම වූයේ 1969 ජූලි මස 21 වෙනිදා යි. පසුගිය ජූලි 21 වෙනි දා එහි 49 වෙනි සංවත්සරය සැමරීම තවත් සුවිශේෂී අවස්ථාවක් විය. ඇමෙරිකානු ව්‍යාපෘතියක් යටතේ ඇපලෝ 11 නමැති යානයෙන් සඳ වෙත ගොස් පළමු වරට ඒ මත පා තැබුවේ නීල් ආම්ස්ටේ‍රාන් බව අමුතුවෙන් සිහිපත් කළ යුත්තක් නොවේ.

ඔහු සමග එම යානයෙන්ම ගොස් සඳ මත සැරිසැරූ අනෙක් අජටාකාශගාමියා වූයේ එඩ්වින් ඕල්ඩ්‍රින් ය. එකල මෙම අපූරු සහ ඇදහිය නොහැකි සිදුවීම පිළිබඳ විස්තර විචාරයට සජීවව ගුවන් විදුලියෙන් සවන් දීමට ලංකාවේ ජනයාට ද අවස්ථාව ලැබුණු අතර ගුවන් විදුලි යන්ත්‍ර වටා රොක්ව මහත් කුතුහලයෙන් සහ විස්මයෙන් යුතුව එයට සවන් දුන් අන්දම අදටත් බොහෝ දෙනෙකුට මතක ඇතුවාට සැක නැත.

(නීල් ආම්ස්ටේ‍රා්න් 2012 වසරේ ජීවිතයෙන් සමුගත්තේය. ඕල්ඩ්‍රින් ට මේ වනවිට වයස අවුරුදු 88 කි.) කෙසේ හෝ වේවා ඇපලෝ 11 සඳ ගමනෙන් පසු වසර දෙක තුනක් තුළ තවත් එවැනි චාරිකා කිහිපයක්ම සිදු වූ අතර අවසන් සඳ ගමන සිදු වූයේ 1972 වසරේ ඇපලෝ 17 යානයෙනි. මෙම ගමනෙන් පසු ගෙවී ගිය වසර 46 ක කාලය තුළ කිසිදු අජටාකාශගාමියෙකු සඳ වෙත යැවුණේ නැත.

කෙසේ හෝ වේවා එදා මෙම සිදුවීම වන කාලයේ නොසිටි අලුත් පරම්පරාවල උදවියට ද නැවතත් එවැනි සිද්ධියක් දැක ගැනීමට නුදුරු අනාගතයේ අවස්ථාව හිමි වන ලකුණු පහල වෙමින් තිබේ. එයට හේතුව නම් ඇමෙරිකාව නැවතත් මිනිසුන් සඳ වෙත යැවීමට සූදානම් වෙමින් සිටීමයි.

තව වසර හත අටක් ඇතුළත මෙය සිදුවීමට ඉඩ ඇති බවට මේ වනවිට තොරතුරු වාර්තා වෙමින් තිබේ. කෙසේ නමුත් මෙවර සිදුවන සඳ ගමන් කලින් අවස්ථාවේ සිදු වූ ඒවාට වඩා බෙහෙවින් වෙනස් ස්වරූපයක් ගනු ඇති බවද සඳහන් වෙයි.

ඇපලෝ ගමන්වලදී සිදු වූයේ අජටාකාශගාමීන් සඳ වෙත ගොස් එහි ගල්, පස් ආදී සාම්පලද රැගෙන දින කිහිපයක් තුළ නැවත පෘථිවිය වෙත පැමිණීමයි. පළමු සඳ ගමන සඳහා ඇපලෝ 11 යානය පෘථිවියෙන් පිටත් වූයේ 1969 ජූලි මස 16 වෙනිදා ය.

එය සඳෙහි කක්ෂය වෙත ළඟා වූයේ ජූලි 19 වෙනි දිනයි. අනතුරුව යානය සඳ වටා ගමන් කරමින් තිබිය දී සඳ මතට ගොඩ බැසීම සඳහා තිබූ චන්ද්‍ර යානය එයින් වෙන්ව චන්ද්‍රයා වෙත ගමන් කරන්නට විය. නීල් ආම්ස්ටේ‍රා්න් සහ එඩ්වින් ඕල්ඩ්‍රින් මෙම චන්ද්‍ර යානයෙන් ගොස් සඳ මත පා තබද්දී සඳ වටා ගමන් කරමින් සිටි පාලක යානයෙහි නියමුවා වූයේ මයිකල් කොලින්ස් ය.

පැය කිහිපයක කාලයක් සඳ මත ගත කිරීමෙන් පසු ආම්ස්ටේ‍රා්න් සහ ඕල්ඩ්‍රින් නැවත චන්ද්‍ර යානයෙහි නැගී සඳ මතින් නික්ම විත් පාලක යානය සමග එක් වූහ. ඔවුන් තිදෙනා නැවත පෘථිවිය වෙත ළඟා වූයේ ජූලි මස 25 වෙනිදා ය. සම්පූර්ණ ගමනට ගත වූයේ සතියකට ආසන්න කාලයක් පමණි.

නමුත් මේ වනවිට සැලසුම් කරමින් ඇති ඉදිරි සඳ ගමන්වල දී අජටාකාශගාමීන් මෙයට වඩා දිගු කලක් සඳ මත කාලය ගත කරනු ඇති බව සඳහන් වෙයි. මේ ආකාරයෙන් නැවත සඳ වෙත මිනිසුන් යැවීමේ ව්‍යාපෘතියක් ඇමෙරිකාව ක්‍රියාත්මක කිරීමට යන්නේ වත්මන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණයකට අනුවය. මෙම ව්‍යාපෘතිය යටතේ ස්ථාවර අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් සඳ වටා නිරන්තරයෙන් ගමන් කරමින් සිටිනු ඇති බව ද සඳහන් වෙයි.

දැනටත් රටවල් කිහිපයක සහයෝගයෙන් ක්‍රියාත්මක වන මෙවැනි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් පෘථිවිය වටා ගමන් කරමින් විවිධ පර්යේෂණවල යෙදෙමින් සිටින බව රහසක් නොවේ. සඳ වටා ගමන් කරමින් පර්යේෂණ සිදු කිරීම සඳහා යැවීමට බලා‍පොරොත්තු වන්නේ ද මේ ආකාරයේම, නමුත් ප්‍රමාණයෙන් තරමක් කුඩා අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් බව සඳහන් වෙයි. මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ නිතර අජටාකාශගාමීන් රැඳී සිටිනු ඇති අතර ඔවුන් නිරන්තරයෙන් සඳ මත ගොඩ බසිමින් දිගු කාලීන පර්යේෂණ කටයුතුවල නිරත වනු ඇති බව වාර්තා වෙයි.

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ කාලයේ වැඩි ප්‍රමුඛත්වයක් දුන්නේ සඳ ගමන්වලට නොව අඟහරු වෙත මිනිසුන් යැවීමේ ව්‍යාපෘතියට ය. නමුත් ට්‍රම්ප් බලයට පැමිණි පසු මෙම වැඩපිළිවෙළෙහි යම් වෙනසක් සිදුව ඇති බව පෙනේ.

මේ ආකාරයෙන් ඇමෙරිකාව නැවත සඳ ගැන අවධානය යොමු කිරීම පිටුපස හේතු කිහිපයක් තිබේ. එකක් නම් සඳ මත ඇති යම් යම් සම්පත් පිළිබඳව ඇති උනන්දුවයි. මේ වනවිට බටහිර රටවලට අමතරව චීනය, ඉන්දියාව වැනි රටවල් පවා සඳ මත පර්යේෂණ කටයුතු ගැන අවධානය යොමු කර සිටින අතර මිනිසුන් රහිත යානා කිහිපයක් එහි යැවීමට ද ඔවුන්ට හැකි විය.

මේ නිසා ඒ පිළිබඳ තරගය වැඩි වෙමින් ඇති බව පෙනේ. පෘථිවියෙහි ස්වභාවික සම්පත් හීන වෙමින් ඇති පසුබිම තුළ මේ ආකාරයෙන් පිටස්තර චන්ද්‍රයින් සහ ග්‍රහයින් මත ඇති සම්පත් සොයා කෙරෙන මෙහෙයුම් අනාගතයේ තවත් වර්ධනය වනු ඇත.

සඳ තරණය ගැන උනන්දුව වැඩි වීමට තවත් හේතුවක්ව ඇත්තේ අනාගතයේ වෙනත් ග්‍රහලෝක වෙත යානා යැවීමේදී එම යානා ගුවන්ගත කිරීමේ ස්ථානයක් (launch pad) ලෙස සඳ යොදා ගැනීමට ඇති හැකියාවයි. සඳ මත ඇති අයිස් යොදා ගනිමින් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් නිපදවීම සඳහා මේ වනවිට පර්යේෂණ කෙරෙමින් ඇති අතර මේවා ආධාරයෙන් අභ්‍යවකාශ යානා සඳහා වන ඉන්ධන නිදපවීමට හැකියාව ලැබේ.

මේ නිසා සෘජුවම සඳ මත සිට යානා ගුවන් ගත කිරීමට හැකියාව ලැබෙනු ඇත. එය පෘථිවියේ සිට යානයක් අභ්‍යවකාශ ගත කරනවාට වඩා පහසු සහ වියදම් අඩු කටයුත්තක් ලෙස සැලකෙයි. එයට එක් හේතුවක් වන්නේ සඳ මත ගුරුත්වාකර්ෂණය පෘථීවියේ ගුරුත්වාකර්ෂණයට වඩා බෙහෙවින් අඩු වීමයි. මේ නිසා අඩු ශක්තියක් යොදවා යානා අභ්‍යවකාශ ගත කිරීමට හැකි වන අතර එයින් වියදම ද බොහෝ දුරට අඩු කර ගැනීමට හැකියාව ලැබේ.

කෙසේ හෝ වේවා, මෙම ව්‍යාපෘතිය යටතේ 2025 පමණ වන විට නැවත සඳ මත පා තැබිමට මිනිසුන්ට හැකි වනු ඇති බවට මේ වන විට අනාවැකි පළ වෙයි. මේ අතර චීනය ද ඉතා ඉක්මනින් මිනිසුන් සහිත යානා සඳ වෙත යැවීමට සූදානම් වෙමින් සිටින බව සඳහන් වේ.

නිහාල් පීරිස්

  • 416
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button