පළකල දිනය : Wed, Aug 1st, 2018

සුජීගේ ගෝලයන්ගෙන් පළිය ගන්න මධූෂ්ගේ හොඳම ගෝලයා එළියට !

ඔහු කවුරුත් හඳුන්වනු ලැබුවේ ජෝසායන නමිනි. ඇල්පිටිය,මත්තක ප්‍රදේශයේ ගමක උපන් ඔහු තරුණ වියට පත් වූ පසු ආසාව දැක්වූයේ හමුදා සේවයට එක්වීමටය.

1997 වසරේදී යුද හමුදා සේවයට එක් වූ ඔහු උතුරු නැගෙනහිර ක්‍රියාන්විත රාජකාරිවලද නිරත වුණේය.

හැඩි දැඩි අයෙකු වූ ජෝසාට පුද්ගලයින් කිහිප දෙනකු සමග වුවද සටන් කිරීමට ශක්තියක් තිබුණේය. මේ නිසාම ඔහු යුද හමුදා බොක්සිං කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයකු ලෙසද තෝරා ගැනිණි.

ජෝසා යුද හමුදාවේ සේවයේ යෙදී සිටියද ඔහු මුදල් සෙවීමේ ආසාවෙන් පෙළුණේය. ඔහු තවත් හමුදා සෙබළුන් කිහිප දෙනකුද එකතු කරගෙන කතාබහ කරන්නට වූයේ ක්ෂණිකව මුදල් ඉපැයීමේ ක්‍රමයක් පිළිබඳවය. මේ සඳහා ඔවුන් විවිධ සැලසුම් සකස් කරන්නට වූහ.

මචං අපි මොනව හරි කරලා කීයක් හරි හොයාගමු. ඩියුටි ඉන්න අතරේම මේ වැඩේ කරමු. එතකොට අපි කාටවත්ම මාට්ටු වෙන්නේ නෑනේ. ජෝසා සිය මිතුරු කණ්ඩායමට නිතරම කීවේය. ඊට මිතුරන්ද අකමැත්තක් නොදැක්වීය. ඔවුන්ට අවශ්‍ය වූයේ කොහෙන් හෝ මුදල් උපයා ගැනීමය.

ඉකුත් 2003 වසරේ ඔවුන් පළමු අදියර ආරම්භ කළේය. එය නම් ආයුධ සන්නද්ධව නාගොඩ නගරයේ ස්වර්ණාභරණ ආයතනයකට කඩා පැන රුපියල් ලක්ෂ ගණනක රන් ආභරණ සහ මුදල් කොල්ලකෑමය. ඔවුන් සිතුවේ මේ මංකොල්ලය කිසි දිනක අනාවරණය නොවන බවය. නමුත්, ස්වර්ණාභරණ මංකොල්ල කෑ ජෝසා ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට ‍පොලිසියට හැකිවිය. මේ පිරිස යුද හමුදා සේවයෙන්ද ඉවත් කෙරුණි.

අවසානයේ සිදුවූයේ ජෝසා ඇතුළු පිරිසට ගාල්ල බන්ධනාගාරයේ තපින්නටය. මේ කාලයේදී දකුණේ අපරාධ රැසකට සම්බන්ධ පාතාල නායකයකුද ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටියේය. ඒ වෙන කිසිවකු නොව මාකඳුරේ මධුෂ් ය. හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් ඔහු බන්ධනාගාරගතව සිටියේය. ජෝසා ගාල්ල බන්ධනාගාරයට රැගෙන ආ දවසේම මාකඳුරේ මධුෂ් ඔහු හමුවීමට ගියේය.

මල්ලි මම උඹේ වැඩ ගැන දන්නවා. උඹලා වගේ එවුන් තමයි මගේ ගේම්වලටත් වුවමනා වෙලා තියෙන්නේ. මම ඉක්මනට උඹව ලක්ෂපතියෙක් කරන්නම්. උඹ මගේ වැඩවලට සෙට් වෙයන්. යැයි මාකඳුරේ මධුෂ් ජෝසාට කීවේය.

දකුණේ පාතාල කෙරුමෙකු වූ මාකඳුරේ මධුෂ් ගැන ජෝසාට ඇතිවූයේ මහත් භක්තියකි. ඒ කිසිවක් නිසා නොව ඔහුගේ ගෝලයෙකු වී ලක්ෂපතියකු වීමේ සිහිනය ඔහුගේ සිහිනයක් වීමය. මාකඳුරේ මධුෂ්ටද අවැසි වූයේ දකුණේ පාතාලයේ අංක එකේ කෙරුම්කාරයා වීමටය. මේ නිසා බන්ධනාගාරය තුළදී ජෝසාත්, මාකඳුරේ මධුෂ් අඹ යහළුවන් වී සිටියහ.

ජෝසාට පෙර මාකඳුරේ මධුෂ් ඇප ලැබුවේය. ජෝසාද ඇප ලබා මුලින්ම හමුවීමට ගියේ මාකඳුරේ මධුෂ්වය. මධුෂ් සිය හෙරොයින් ජාවාරමේ කොටස්කාරයකු ලෙස ජෝසාව බඳවා ගත්තේය. ජෝසාට නියම වූයේ නීත්‍යානුකූල නොවන මුහුදු මාර්ගය ඔස්සේ මාකඳුරේ මධුෂ්ට ලැබෙන හෙරොයින් බෙදාහැරීමේ නියෝජිතයකු ලෙස කටයුතු කිරීමය.

ජෝසා තවත් කටයුතු කීපයකද නිරත වූයේය. මහා පරිමාණ කොල්ලකෑම්, කප්පම් ගැනීම් ආදියද ඔහු සිදු කළේය. මේ කටයුතු සියල්ල ඔහු සිදුකළේ මාකඳුරේ මධුෂ්ගේ උපදෙස් පරිදිය. මේ කටයුතු සඳහා ඔහුට නීතිවිරෝධී ගිනි අවි රැසක් තිබුණේය.

ඔහු සිය නීතිවිරෝධී ගිනි අවි කුලියට විවිධ පුද්ගලයින්ට ලබා දුන්නේය. මේ නිසා විවිධ අපරාධ රැසක් සම්බන්ධව ඔහුට චෝදනා රැසක් එල්ල වී තිබුණි. ඇල්පිටිය, මතුගම, ගාල්ල, මාතර අධිකරණවල ජෝසාට විරුද්ධව නඩු රැසක් විභාග විය.

මේ අපරාධ කටයුතු මෙලෙස කරගෙන යද්දී මාකඳුරේ මධුෂ්ගේ අංක එකේ ගෝලයා බවට පත්වූයේ ජෝසාය. මාකඳුරේ මධුෂ්ගේ එක කුස උපන් සහෝදරයකු ලෙස ජෝසා කටයුතු කළේය. ජෝසාට අවශ්‍ය වූයේ මාකඳුරේ මධුෂ් පාතාලයේ අංක එකේ කෙරුමා බවට පත්කිරීමය.

ඒ නිසා මාකඳුරේ මධුෂ්ගේ අපරාධ කටයුතු නිසියාකාරව සිදුකරන්නට ඔහු වග බලා ගත්තේය. දකුණේ තවත් පාතාල නායකයෙකු වූ කොස්ගොඩ සුජී සහ මාකඳුරේ මධුෂ් අතර නිරන්තරයෙන්ම ගැටුම් ඇති වන්නේ ඔය අතරතුරේය. ඒ හෙරොයින් ජාවාරම සම්බන්ධයෙනි. මේ නිසා දෙදෙනාම වෛරක්කාරයින් බවට පත්ව සිටියහ.

මාකඳුරේ මධුෂ් ඩුබායි බලා පලා යන්නේ මේ අතරතුරදීය. ඒ ඔහුගේ ජාවාරම් කටයුතු ප්‍රධාන වශයෙන් භාරවූයේ ජෝසාටය. මේ නිසා මුදල්වලින් ජෝසාට අඩුවක් නොවීය. ජෝසාගේ ළඟම හිතවතා වූයේ සංජීවය. ජෝසාගේ කටයුතුවලට සංජීව උපරිම සහයෝගයක් දැක්වූවේය.

හෙරොයින් ජාවාරම් කටයුතුවලදී වරෙක සංජීව කොස්ගොඩ සුජීගේ කණ්ඩායම සමඟ ගැටුමක් ඇතිකර ගත්තේය. සංජීව සැඟවී සිටියේ වැලිපැන්න, කුරුඳුවත්තේ පිහිටි ජෝසා ට අයත් ආරක්ෂිත නිවසකය. කොස්ගොඩ සුජීගේ කණ්ඩායම දිනක් සංජීව ඝාතනය කිරීමට සූදානම් වූවේය. මේ කාලයේදී ජෝසා සිටියේ වසර තුනක කාලයකට බන්ධනාගාරගතවය. ඊට හේතුව ගිනි අවි සම්බන්ධ සිද්ධියකි.

මුහුණු ආවරණය කර ගත් හිස් වැසුම් පැලඳි දෙදෙනකු යතුරුපැදි දෙකකින් වැලිපැන්න, කුරුඳුවත්ත ප්‍රදේශයට ඉගිලී ගියහ. ඒ සංජීව සැඟවී සිටින නිවසට කඩාපැන ඔහු ඝාතනය කිරීමටය. ජෝසාගේ ආරක්ෂිත නිවාසය අසල යතුරුපැදි දෙක නතර කෙරුණි. කොස්ගොඩ සුජීගේ කණ්ඩායමට අවශ්‍ය වූයේ සංජීව සහ එම නිවසේ පදිංචිව සිටි සියලු දෙනාටම වෙඩි තබා ඝාතනය කිරීමය.

නිවස ඉදිරිපිට ජෝසාගේ තුන් හැවිරිදි දරුවා සෙල්ලම් කරමින් සිටියේය. කුරඳුවත්ත ප්‍රදේශයම දෙවනත් කරමින් යතුරුපැදිවලින් පැමිණි පිරිස සිය ගිනි අවිවලින් වෙඩි තබන්නට වූහ. ජෝසාගේ කුඩා දරුවාද මේ වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබුවේය.

අසල්වැසි කාන්තාවක්ද වෙඩි ප්‍රහාරයට ලක්ව මිය ගියාය. වෙඩික්කරුවන්ගේ ඉලක්කය සංජීව වූවද ඔහු නිවසේ නොසිටියේය. කුරුඳුවත්ත ප්‍රදේශයම දෙවනත් කළ කොස්ගොඩ සුජීගේ මැරයින් පලා ගියේය.

කොස්ගොඩ සුජීගේ කණ්ඩායමක් සිය සගයා වූ සංජීව සෙවීමට පැමිණ සිය දරුවාට වෙඩි තබා ඇතැයි බන්ධනාගාරගතව සිටින ජෝසා ට දැනගන්නට වැඩි වේලාවක් ගත වූයේ නැත. ඔහුගේ ජංගම දුරකථනයට ලැබුණු මේ පණිවුඩයෙන් ඔහු මහත් කම්පාවට පත්වූවේය. ඔහු සිය දරුවාට මහත් ආදරයක් දැක්වූවේය.

මගේ පුතාට වෙඩි තියපු එකෙක් වත් මම ඉතුරු කරන්නේ නෑ. උන් ඔක්කොගෙන්ම මම පළි ගන්නවා. යැයි ජෝසා බන්ධනාගාරය දෙවනත් කරමින් කෑ ගැසුවේය. ඔහු වහා සිය ජංගම දුරකථනයෙන් සිය සගයන් අමතා කියා සිටියේ වෙඩි තැබිමට පැමිණියේ කවුදැයි සොයා බලන ලෙසය.

මේ වැඩේට ඔත්තු බලලා තියෙන්නේ කුරුඳුවත්තේම එකෙක්. නිමල්සිරි උගේ නම. යැයි ජෝසාට ඔත්තුවක් ලැබුණි.
මම එළියට ආපු ගමන් නිමල්සිරිත්, උගේ දරුවාත් මරනවා. යැයි ජෝසා තමාටම කියා ගත්තේය.

ජෝසා වසර තුනකට පසුව ඉකුත් සතියේ නිදහස ලැබුවේය. ඔහුගේ පළමු අරමුණ වූයේ නිමල්සිරිට ගේමක් දීමය. ඔහු ඊට සැලසුමක් සකස් කළේය. ඔහු සිය සගයන්ට කීවේ කුලියට වාහන සපයන ස්ථානයකින් මෝටර් රථයක් කුලියට ගන්නා ලෙසය. දිනකට රුපියල් පන්දහසක කුලියට කුඩා මෝටර් රථයක් ඔහු කුලියට ගත්තේය. ගිනි අවිවලින් ඔහුට අඩුවක් නොවීය.

ඉකුත් 16 දා ජෝසා සිය ගෝලයින් තිදෙනකු සමග වැලිපැන්නේ සිය ආරක්ෂිත නිවාසය බලා මෝටර් රථයෙන් යමින් සිටියේය. පයාගල, ඈතගම ප්‍රදේශයේදී ජෝසා ඇතුළු පිරිස ගමන්ගත් රථය හරස් කර තවත් මෝටර් රථයක් නතර කළහ. ජෝසා ඔවුන් සමග පැටලුණේය.

ජෝසා සිය මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලය ගෙන ඔවුන්ට වෙඩි තියන්නට සූදානම් වුණේය. නමුත් උණ්ඩය ලෝඩ් කරන අතරේ එක උණ්ඩයක් බිම වැටුණි. ජෝසාට කළුවරේ එය සොයාගත නොහැකි විය. ජෝසාගේ ගෝලයින් ගැටුම ගොඩින් බේරාගෙන ජෝසාද රැගෙන පලා ගියේය.

පයාගල ප්‍රදේශවාසීන් මේ සිද්ධිය පයාගල ‍පොලිසියට දැන්වූවේය. කළුතර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී උපුල් නිල්මිණි ආරියරත්න මහතාගේ උපදෙස් පරිදි කළුතර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක තිලක් සංජීව, ‍පොලිස් සැරයන්වරුන් වන 27118 සමන්, 37109 රත්නායක, 44817 ගුණවර්ධන, 49251 සරත්, 48256 ජයරත්න, 58817 රොෂාන්, 80776 කරුණාරත්න යන නිලධාරීන් මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු ඇරඹුවේය. මෙම ගැටුම ඉදිරියේදී සිදුවිය හැකි ඝාතනයක පෙරනිමිත්තක් බව ‍පොලිසිය තීරණය කළේය.

උණ්ඩය සොයාගත් ‍පොලිසිය ජෝසා වාහනය කුලියට ගත් ස්ථානය මුලින්ම සොයා ගත්තේය. ඒ එම වාහනය ගැන ජනතාව ලබාදුන් තොරතුරු ඔස්සේය. එම ආයතනය හරහා වාහනය කුලියට ගත්තේ කවුරුන්දැයි ‍පොලිසිය සොයා ගත්තේය. ඊට සී.සී.ටී.වී දර්ශන දීර්ඝ වශයෙන් පරීක්ෂා කිරීමටද සිදුවිය.

කුරුඳුවත්ත මීගම ප්‍රදේශයේ නිවසක් වැටලූ ‍පොලිස් නිලධාරීන් ජෝසා ඇතුළු පාතාල සාමාජිකයින් සිව්දෙනකු අත්අඩංගුවට ගත්තේ අනතුරුවය. ඒ ගිනි අවියක්ද සමගිනි. එහිදී අත්අඩංගුවට ගත් අය අතර රත්මලාන, වලව්වත්තේ ලක්ෂ්මන් ගුණතිලක උඩවලව මැනිං මංකඩේ නවෝද් ප්‍රමෝදිත, රත්මලාන දුම්රිය නිවාස පාරේ අමිත ප්‍රසාද් යන අයද සිටියහ. නිමල්සිරිත් ඔහුගේ දරුවාත් ඝාතනය කිරීමේ ජෝසාගේ සැලසුම හෙළිවන්නේ එවිටය. ඒ අනුව එම ද්විත්ව ඝාතනය වැළකී ගියත් ඔවුන්ගේ ජීවිත තවමත් ඇත්තේ අවදානමකිනි.

– සාලිය කුමාර ගුණසේකර
(රිවිර)

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button