පළකල දිනය : Thu, Aug 2nd, 2018

ගුවන් නියමුවරියක යෑයි කියමින් මුදල් වංචා කරන කතක්‌ සොයා පරීක්‌ෂණ !

තමන් ගුවන් නියමුවරියක්‌ බව පවසමින් අනුරාධපුර නගරයේ සුඛෝපභෝගී නිවාඩු නිකේතන හා නිවාසවල නවාතැන් ගනිමින් මුදල් වංචා කරන රූමත් තරුණියක්‌ තම නිවාඩු නිකේතනයේ රැඳී සිට රුපියල් හැටපන්දහසක කාමර කුලිය නොගෙවා කාමරයේ දොරගුළු දමා පලා ගොස්‌ ඇති බව කියමින් අනුරාධපුර හරිස්‌චන්ද්‍ර මාවතේ පිහිටි ප්‍රසිද්ධ නිවාඩු නිකේතනයක හිමිකරුවකු අනුරාධපුර මූලස්‌ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කර තිබේ.

ගුවන් නියමුවරියක්‌ යෑයි පවසන කොළඹ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක්‌ වන 38 හැවිරිදි රූමත් තරුණිය මීට මාස තුනකට පමණ ඉහතදී සිය නිවාඩු නිකේතනයට පැමිණ එහි වායුසමීකරණය කරන ලද කාමරයක්‌ දෛනික කුලී පදනමට ලබාගෙන රැඳී සිටි බවත් පසුව ඇය මුදල් නොගෙවා පලා යැමට උත්සාහ කළ අවස්‌ථාවේ එය වළකාලූ බවත් ආයතනයේ හිමිකරු වන ගාමිණී පතිරාජ මහතා අනුරාධපුර මූලස්‌ථාන පොලිසියට පැමිණිලි කරමින් කියා තිබිණි.

මෙම කරුණ කාන්තාව මාස කිහිපයක්‌ තිස්‌සේ සිය නිවාඩු නිකේතනයේ රැඳී සිටි බවත් දිනක්‌ බඩු බාහිරාදිය පටවාගෙන මුදල් නොගෙවා පිටව යැමට උත්සාහ කළ අවස්‌ථාවේ ඊට විරෝධය පෑම නිසා ඇය තවදුරටත් රැඳී සිටි බව පැමිණිලිකරු පොලිසියට පවසා තිබුණි. දිනක්‌ තම සුරතල් බලු පැටියාට බෙහෙත් ගන්න යනවා කියා අත් බෑගයක්‌ රැගෙන පිටව ගොස්‌ සති කිහිපයක්‌ ගත වූවත් ඇය නැවත නිවාඩු නිකේතනයට නොපැමිණි බවද පැමිණිල්ලේ සඳහන් කර තිබිණි.

හිමිකරුට කාමර කුලී වශයෙන් රුපියල් 65000 ක මුදලක්‌ හා සති කිහිපයක්‌ තිස්‌සේ කාමරය දොරගුළු දමා වසා යැමෙන් දෛනිකව රුපියල් 3000 ක පමණ අලාභයක්‌ සිදුවන බවත් ඔහු පොලිසියට පවසා තිබිණි.

සැකකාර කාන්තාව අනුරාධපුර නගරයේ විවිධ ස්‌ථානවලට ගොස්‌ තාවකාලිකව නවාතැන් ගෙන මුදල් නොගෙවා පිරිමි පුද්ගලයන් සමඟ ගැටුම් ඇතිකරගෙන ඔවුන් ලිංගික අතවර සිදු කළ බව පවසමින් පොලිසියට බොරු පැමිණිලි ඉදිරිපත් කර පුද්ගලයන් අපහසුතාවට පත්කරන්නියක්‌ බවද පොලිසිය පවසයි.

ඇයට විරුද්ධව අනුරාධපුර මූලස්‌ථාන පොලිසිය මුදල් වංචා කල කෝලාහල කිරීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක්‌ ලැබී තිබෙන බවත් පොලිස්‌ ස්‌ථානයටත් පැමිණ තමන් ගුවන් නියමුවරියක්‌ බව කියමින් පරුෂ වචන කියමින් කෑකෝ ගසන තැනැත්තියක්‌ බවත් පොලිසිය පවසයි.

ඇය සිදුකරන බොරු පැමිණිලි සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාමාර්ග නොගත් විට ප්‍රදේශයේ උසස්‌ පොලිස්‌ නිලධාරීන්ට හා පොලිස්‌ මූලස්‌ථානයට ව්‍යාජ පෙත්සම් යවමින් නිලධාරීන් ද අපහසුතාවට පත් කරන බව පොලිසිය පවසයි.

සැකකාර ගුවන් නියමුවරිය යෑයි කියන තරුණ කාන්තාව නුගේගොඩ ප්‍රදේශයේ තිබූ සියලු ඉඩකඩම් රුපියල් කෝටි ගණනකට විකුණා අනුරාධපුරයට පැමිණ සිටින බවත් ඇගේ සැමියා හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වී රක්‌ෂිත බන්ධනාගාරගතව සිටින අයකු බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබිණි. සැකකාරියගේ පියා භාණ්‌ඩ හා මගී ප්‍රවාහන නෞකාවක කපිතාන්වරයකු වශයෙන් සේවය කරන අයකු බවද පොලිසිය තහවුරු කරගෙන තිබිණි.

නිවාඩු නිකේතන හිමියාට මුදල් වංචා කර පලා ගොස්‌ සිටින ගුවන් නියමුවරිය යෑයි කියා ගන්නා කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර මූලස්‌ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශය වැඩිදුර පරීක්‌ෂණ සිදු කරයි.

මිහින්තලේ – රංග චතූ

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button