පළකල දිනය : Sat, Aug 4th, 2018

මගේ හීනය වුණේ රහ­ස් ප­රී­ක්ෂ­ක­ව­රි­යක් වෙන්නයි !

දෙරණ ‘360’ සමාජ දේශපාලන කතිකාවත මෙහෙයවන දිල්කා සමන්මලී මෙරට නිවේදන කලාව වෙනස්ම මානයකට ගෙන ගිය නිවේදිකාවක්.

ප්‍රවෘත්ති නිවේදනයෙන් මාධ්‍ය කලාවට පිවිස චතුර හඬින් රටක්ම වසඟ කළ ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහොම ළෙන්ගතුයි.

ඒ නිසාම දිල්කාගේ තොරතුරු දැනගන්න ඔවුන් ප්‍රියකරනවා.

වෙනස්ම තාලයේ අත්දැකීමක් සමග දිල්කා මේ දිනවල කාර්යබහුල වෙලා කියා ආරංචියි..

ඔව්. මෙච්චර කාලයක් නිවුස් රූම් එකට කොටුවෙලා හිටියා ඇති කියලා හිතුණා. දැන් එළිමහනට ගොස් ජනතාවගේ ප්‍රශ්න රටට පෙන්විය යුතු කාලය එළඹිලා.ඒ නිසා දෙරණ නාළිකාවෙන් ඒ සඳහා ‘ඕපන් මයික්’ නමින් අලුත් වැඩසටහනක් ආරම්භකළා. එම වැඩසටහන මෙහෙය වන්නේ මම.

‘ඕපන් මයික්’ වැඩසටහනින් ඔබ හිතන්නේ සමාජයට සේවයක් සිදුකළ හැකි යැයි කියාද?

අපේ රටේ එදිනෙදා ජනතාවට මුහුණ දෙන්න සිදුවන ගැටලු ගැන තමයි ‘ඕපන් මයික්’ තුළින් පෙන්වා දෙන්නේ. උදාහරණයක් ලෙස ධීවරයන්ගේ ප්‍රශ්න ගැන කතාකරන්න අපි ධීවරයන් සිටිනා කළපුවට යනවා. එහිදී ඔවුන්ගේ ගැටලු සජීවීව රටට ම පෙන්වනවා. මෙච්චර කාලයක් සිදුවුණේ ඔවුන්ව රූපවාහිනියට ගෙන්වා කතා කිරීම. එහෙත් මේ වැඩසටහනින් අපි ඔවුන් ළඟට ගිහින් ඔවුන්ගේ ගැටලු වගකිවයුත්තන්ට සහ රටට පෙන්වනවා.

‘360’දේශපාලන කතිකාවතෙන් ඔබ රටේම කතාබහට ලක්වුණා..

ඔව්. මම දෙරණට සම්බන්ධවුණේ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස. නමුත් මාව මේ රටේ කතාබහට ලක්වුණේ 360 දේශපාලන වැඩසටහනින්.

කොහොමද ‘360’ වැඩසටහනට සම්බන්ධවුණේ..

‘360’ මම කැමැත්තෙන් කරන්න බාරගත් වැඩසටහනක් නෙවෙයි. කොහොමත් මම කැමැති නැහැ පොලිටිකල්වලට. මට දෙරණෙන් ‍එම වැඩසටහන කරන්න කීවිට මම එකවරම බැහැ කීවා. නමුත් මට පෙර එම වැඩසටහන කළ නිවේදිකාව 360කරන්න එපා යැයි ව්‍යාංගයෙන් බලපෑම් කළා. ඒ තරහට තමයි මම එම වැඩසටහන කරන්න ඉදිරිපත්වුණේ.

කාන්තාවකට එවැනි වැඩසටහනක් මෙහෙයවීම අසීරු යැයි සිතුණේ නැද්ද?

මුල් කාලයේ පොඩි බයක් තිබුණා. දැන් අවුරුදු 10ක් විතර එම වැඩසටහන කළ නිසා දැන් එය සාමාන්‍ය දෙයක්.

මේ වනවිට ‘360’ට ඔබ සමග නිවේදකයෙකුත් සම්බන්ධවෙනවා..

ඔව්. චාප බණ්ඩාර. අපි දෙන්නා ශෛලීන් දෙකක දෙන්නෙක්. ඇතැමුන් අපි දෙන්නෙක් වැඩසටහන මෙහෙයවනවාට කැමැති නැහැ. මට තනියම කරන්න කියනවා. නමුත් මම තනියම කරගෙන යනවට වඩා ඔළු දෙකකින් මෙහෙයවන වැඩසටහන සාර්ථකයි කියා මම හිතනවා.

කොහොමද දිල්කා නිවේදන කලාවට යොමුවුණේ..

මම පුංචි කාලෙ සිටම නිවේදිකාවක් වෙන්න හීන දැකපු කෙනෙක් නෙමෙයි. පොලීසියට බැඳී රහස් පරීක්ෂකවරියක් වෙන්නයි මගේ ආසාව වුණේ.එසේ නොමැතිනම් මනෝවිද්‍යා උපදේශකවරියක් වීමට. නමුත් ඒ දෙකම නැතිව නිවේදන වෘත්තිය තෝරාගත්තා.

අද බොහෝ නවක නිවේදක නිවේදිකාවන් වෘත්තිය ගැන අවබෝධයෙන් නෙමෙයි නිවේදන කලාවට පිවිසෙන්නේ. ඔබ නිවේදිකාවක් වුණේ ඒ පිළිබඳව හැදෑරීමෙන්ද?

මම පාසල් දෙකකට ගියා. මොරටුව කොන්වන්ට් එකට සහ දෙහිවල ප්‍රෙස්බ්‍රෙටේරියන් පාසලට. පාසල් කාලයේ සෑම පොදු වැඩකටම ඉදිරිපත්ව සංගම් ගණනාවක නිලතල දැරුවා.නර්ථනය කළා. ඒ වගේම පෙරදිග තූර්යවාදක කණ්ඩායමේ සාමාජිකාවක්. උ.පෙළට විද්‍යා විෂයයන් හැදෑරුවේ. එහෙත් පසුකාලීනව මාධ්‍ය පිළිබඳව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය පාඨමාලාව සහ වෙනත් පාඨමාලා හැදෑරුවා.

දිල්කාගේ මවුපියන් කලාවට සම්බන්ධයි කියන්නේ ඇත්තක්ද?

මගේ මව විමලන්ද්‍රා කුමාරි. ඇය රංගන ශිල්පිනියක්. විශේෂයෙන් ඩී.බී නිහාල්සිංහයන්ගේ නිර්මාණවලට ඇය රංගනයෙන් දායකවී තිබෙනවා. පියා සිසිල් ගුණසේකර. ඔහුත් වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙක්. වගේම පිටපත් රචකයෙක්. අපේ ගෙදර තිබුණේ කලා පරිසයක් නිසා මම නිවේදන ක්ෂේත්‍රයට යොමුවනවාට ඔවුන්ගේ අකැමැත්තක් තිබුණේ නැහැ.

ඔබ අද ආයතනයේ නිවේදිකාවකට එහා ගිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනියකගේ වගකීම් දරනවා. පැමිණි ගමන්මඟ ගැන තෘප්තිමත්ද?

ඇත්තටම සතුටුයි. ජනතා ප්‍රශ්න සමාජගත කිරීමට වෙර දරන වෘත්තියක නියැලීම නිසයි ඒ තෘප්තිය වඩාත් දැනෙන්නේ. එය උපරිමයෙන් සහ අවංකව කිරීමයි මගේ අපේක්ෂාව. 360 වැඩසටහනේදි ප්‍රබල දේශපාලකයන් සජීවීව මා සමග වාද විවාද කළත් තිරයෙන් පිටුපස ඔවුන් මා සමග කිසිම අමනාපයක් නැහැ. ඔවුන් දන්නවා මම මේ ප්‍රශ්න අහන්නේ මගේ පෞද්ගලික ඇජෙන්ඩාවකට නොවෙයි රටේ ප්‍රශ්න කියා.

පෞද්ගලික ජීවිතේ ගැනත් කතා කරමු.

මගේ සැමියා ඩිලාන් අසේල. ඔහු පාරිසරික විශේෂඥයෙක්. දැනට මාතර – හම්බන්තොට අධිවේගී මාර්ගයේ පාරිසරික විශේෂඥයා ලෙස වැඩ කරනවා. ලොකු දුව විනුකී වයස අවුරුදු තුනයි. පුතා ටමෝද් අවුරුද්දයි මාස නවයයි.ඒ අයගේ සියලු වගකීම් දරමින් රැකියාවේ වගකීම් දරමින් ඉතා වෙහෙසකර ජීවන රටාවක් තමයි ගෙවන්නේ.

– නයනා වෑත්තෑව

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button