පළකල දිනය : Sat, Aug 4th, 2018

ශ්‍රී මහා බෝධියේ පැළ අංකුර තිබෙන කවුරුත් නොදන්නා කුටියක රහස් !

සකල විධ බෞද්ධ ජනතාවගේ වන්දනීය පූජනීය වස්තුව වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අද උරුම වී ඇත්තේ ශ්‍රී ලාංකික ජනතාවට පමණි.

ගෞතම බුදුන්ට බුද්ධත්වය සඳහා උපකාර වූ පරම පූජනීය වූ ජය ශ්‍රී මහා බෝසමිඳුන් චිරාත් කාලයක් ආරක්ෂා කිරීම සඳහා ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවෙන් විශේෂ වැඩපිළිවෙළක් සිදු කරගෙන යන්නේය. එය නම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බිජවලින් පැළ ලබාගෙන ඒවා සංරක්ෂණය කිරීමය.

අප්‍රසිද්ධියේ දැඩි භක්තියෙන්, ආගමානුකූලව කෙරෙන මේ පූජනීය කටයුත්ත මුල් වරට ලෝකයට අප මෙලෙස අනාවරණය කරන්නේ දිගු කාලයක් තිස්සේ කරන ලද ගවේෂණයකින් අනතුරුවය.

ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව විසින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ චිරාත් කාලයක් ආරක්ෂා කර ගැනීම සඳහා සුවිශේෂී කටයුත්තක් අප්‍රසිද්ධියේ දැඩි ආරක්ෂාවක් සහිතව සිදුකරනු ලබයි. එම කටයුත්ත සිදුවන්නේ ඉතා ගෞරවනීය ලෙසය. නමුත්, එවැනි කටයුත්තක් පිළිබඳව ජනතාව මෙතෙක් නොදැන සිටියේ සියල්ල සිදුවන්නේ රහසිගතව බැවින් ඒගැන බොහෝ කාලයක් තිස්සේ ගවේෂණය කළේය. එහිදී තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට හැකිවිය.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බිජ මගින් පැළ රෝපණය කර සංරක්ෂණය කිරීම එම කටයුත්තයි. මේ ක්‍රියාවලිය සිදුවන්නේ පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය තුළ ඇති බෝධි ගෘහයක් තුළදීය. එම බෝධි ගෘහයට ඇතුළුවීමට පිටස්තර කිසිවකුට අවසර නැත. කාන්තාවන් එම ගෘහයට ඇතුළු වන්නේ නැත. මහත් භක්තියෙන් යුතුව මෙම බෝධි ගෘහය තුළ සිදුවන කටයුතු රැසකි. ඒ පිළිබඳව තොරතුරු සොයා අප ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෂෙලෝමි ක්‍රිෂ්ණරාජා මහත්මිය මුණගැසුනෙමු. එහිදී ඒ ගැන බොහෝ තොරතුරු දැන ගැනීමට අපට හැකි විය.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බිජ මගින් පැල සකස් කිරීමේ කටයුත්ත සඳහා පේරාදෙණිය උද්භිද උද්‍යානයේ වෙනම නිලධාරියකුද යොදවා ඇත. එම කටයුතු සිදුවන්නේ ඔහුගේ පූර්ණ අධීක්ෂණය යටතේය. ඔහු පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ අධ්‍යාපන මධ්‍යස්ථානයේ විදුහල්පති පාලිත මහන්තේගම මහතාය. ඔහු ඉතා ගෞරවනීය ලෙස මෙම කටයුත්ත සිදු කරන්නේය. උද්‍යානයේ සකසා තිබෙන බෝධි ගෘහයක් තුළ මෙම පැළ සකස් කිරීම සිදුකෙරෙන්නේය. එහි නඩත්තු කටයුතු සඳහා වෙනම සේවකයකුද යොදවා ඇත.

සංරක්ෂණ කටයුතු සඳහා දෙපාර්තමේන්තුවට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බිජ සපයනු ලබන්නේ අටමස්ථානාධිපති නායක හිමියන් විසිනි.

“බිජ මගින් පැළ ලබා ගැනීම සඳහා සෑහෙන කාල පරාසයක් යනවා. අවුරුදු ගාණක් තිස්සේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් එකතු කරපු බිජ පැළ කරලා දැනට හොඳ තත්ත්වයේ පැළ රැසක් අප දෙපාර්තමේන්තුව සතුව ආරක්ෂාකාරීව තිබෙනවා. ගොම ‍පොහොර, කොළ ‍පොහොර, වැලි ආදී විවිධ මාධ්‍ය යොදාගෙන මේ පැළ සකස් කිරීම සිදුවන්නේ. පැළ ක්‍රමයෙන් වැඩෙද්දී විවිධ ප්‍රමාණයේ ‍පෝච්චිවලට මාරු කෙරෙනවා.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව භාර ගත් කාලයේ සිටම අඛණ්ඩව බිජ රෝපණය කිරීමේ කටයුත්ත සිදු වෙනවා. මෙම පැළ කීපයක් ආචාර්ය පෙරමුණුගම මහතා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පාලනය කරන කාලයේදී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පහළින් රෝපණය කර තිබෙනවා. මේ බෝධීන් වහන්සේලා අඩි පහක් හයක් උසට සෑදී තිබෙනවා.”යැයිද වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවාය.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බිජවලින් පැළ ලබාගෙන සංරක්ෂණය කරනු ලබන ආකාරය පිළිබඳව පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ අධ්‍යාපන මධ්‍යස්ථානයේ විදුහල්පති පාලිත මහන්තේගම මහතා සමගද අපි කතාබහ කළෙමු.

“අවුරුදු විස්සක පමණ කාලයක් තිස්සේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ලබා ගන්නා බිජවලින් පැළ සකස් කිරීම සිදුකෙරෙනවා. අටමස්ථානාධිපති නායක හාමුදුරුවෝ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බිජ උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට භාර දෙනවා. ඒවා එවන්නේ නියෝජිතයකු හරහායි. අපි බිජ ලබාගෙන ඒවායේ තිබෙන ගම්වැනි දෑ ඉවත් කරලා මඳ පවනේ වේලනවා. ඊට පස්සේ එම බිජ තවාන් දැමීමට මාධ්‍යයක් හදනවා.

එය බොහොම සියුම් මාධ්‍යයක්. ඊට පසු එය ජීවානුහරණය කරනවා. එය කරන්නේ යම් උෂ්ණත්වයක් යටතේ තම්බලා. අනතුරුව එම මාධ්‍ය තැටිවලට දාලා පසුව බිජ තවාන් කරනවා. අනතුරුව කාලයත් සමග ‍පොඩි පැළ හැදෙනවා. ඒ පැළ තමයි අපි සංරක්ෂණය කරන්නේ. අටමස්ථාන නායක හාමුදුරුවන්ගේ අනුදැනුම නැතිව මෙතැනින් පැළ කාටවත් නිකුත් කරන්නේ නෑ. ඒ සඳහා අපේ දෙපාර්තමේන්තුවට බලයක් නෑ. සම්පූර්ණ අයිතිය තියෙන්නේ අටමස්ථානේ උඩමළුවේ නායක හිමියන්ටයි. විශේෂයෙන් විහාරස්ථානවලටයි මේ පැළ නිකුත් කරන්නේ. හන්දි ගානේ පැළ කරන්න නිකුත් කරන්නේ නෑ.

වෙනත් රටවල්වලින්, විහාරස්ථානවලින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බිජවලින් ලබාගත් මෙම පැළ ඉල්ලා සිටින අවස්ථාවන්හිදී මෙලෙස ලබාදීම සිදුවන්නේ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව හරහා නොව අටමස්ථාන නායක හිමියන්ගේ අධීක්ෂණයෙන් සමන්විත කමිටුවක් හරහාය. පැළවල භාරකාරත්වය පමණක් දෙපාර්තමේන්තුව සතුය. යම් විහාරස්ථානයකට ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ බිජවලින් ලබාගත් පැළයක් අවශ්‍ය නම් ඒ බව ලිඛිතව අටමස්ථාන නායක හිමියන්ගෙන් ඉල්ලීමක් කළ යුතුය. කමිටුවෙන් පැළය ලබාදීම සම්බන්ධව සොයා බැලීමක් කෙරෙනවා.

තෝරාගත් ස්ථානවලට වසර අවසානයේදී පැළ නිකුත් කරනවා. අවශ්‍ය පැළ ප්‍රමාණය අධ්‍යක්ෂ ජනරාල්තුමා හෝ තුමිය නායක හාමුදුරුවන්ට භාරදුන් පසුවයි බෙදාදීම සිදුකෙරෙන්නේ. උඩ මළුවේදී තමයි බෙදාදීම කෙරෙන්නේ.”යැයි පාලිත මහන්තේගම මහතා පැවසීය.

අපි පසුගිය අවුරුදු කීපයේදී බිජ තවාන් දැම්මේ නෑ. හේතුව අපි ළඟ පැළ තිබෙන නිසා. මේ පැළ නැවත නැවත බඳුන්ගත කරමින් සංරක්ෂණය කරනවා. ස්වභාවික හේතූන් මත පැළ කීපයකට හානිවෙන්න පුළුවන්. නමුත් අනෙක් පැළ සියල්ලම සංරක්ෂණය කරනවා.”යැයි පාලිත මහන්තේගම මහතා පවසන්නේය.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බිජවලින් සකස් කරන ලද පැළ තබා ඇති බෝධි ගෘහය තුළදී වසරකට වරක් ආගමික කටයුත්තක් සිදු කෙරේ. එනම් සෑම වසරකම ජනවාරි මස පළමුවැනිදා සියලු කාර්ය මණ්ඩලය එකතුවී පිරිත් සජ්ක්ඪායනාවක් පවත්වනු ලබයි.

භික්ෂූන් වහන්සේ නමක් වැඩමවා පිරිත් පැන්, පිරිත් නූල් බෙදාදීමද සිදුකරනු ලබයි. බෝධි ගෘහය තුළ බුදුන්වහන්සේගේ පිළිමයක්ද තබා ඇත. බෝධි ගෘහය තුළට යායුත්තේ පිරිසිදුවය. බෝපැළවලට සත්කාර කටයුතු සඳහා යොදවා ඇත්තේද පිරිමි අයකු පමණි.

සඳුදා සහ සිකුරාදා යන දිනනයන්හිදී පැළවලට ජලය යෙදීම සිදුකරන අතර, අධික වියළි කාලගුණයක් සහිත දිනයන්හිදී සතියකට දින තුනක් පැළවලට ජලය යෙදීම සිදුකෙරේ.

මෙම කටයුත්තට අමතරව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට ප්‍රතිකාර කිරීමේ කටයුතුද නිරන්තරයෙන්ම ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන්නේය.
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේද ඇතුළුව බෝ ගස විද්‍යාත්මකව හඳුන්වනු ලබන්නේ “Ficus religiosa”යන නමිනි. ඉතා හොඳ උෂ්ණත්වයට සහ සූර්යාලෝකයට මෙම ගස දැඩි කැමැත්තක් දක්වන බව විද්‍යාත්මකව තහවුරු කරගෙන තිබේ. මෙම ශාකය දීර්ඝ කාලයක් පවතින ශාකයකි. හොඳින් වර්ධනය වන්නේය. ඉතා ශුෂ්ක පරිසරයක වුවද මෙම ගස සෑදෙන්නේය.

බුදු හිමියන් බුද්ධත්වයට පත්වූ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයද දැඩි වියළි කාලගුණයකින් යුතු ප්‍රදේශයකි. බුද්ධත්වයට උපකාර වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සෑදී ඇත්තේද ඒ වියළි කාලගුණික තත්ත්වය යටතේය. අනුරාධපුරයේද ඇත්තේ වියළි කාලගුණික තත්ත්වයකි. බෝධීන් වහන්සේගේ දීර්ඝකාලීන පැවැත්මට එය එක් සාධකයක් ලෙස බලපාන්නට ඇතැයි තහවුරුවී තිබේ.

ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව මගින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කරනු ලබයි. මීට අමතරව,බෝධීන් වහන්සේගේ යම් යම් වෙනස්වීම් තත්වයන්හිදී ඒ පිළිබඳව අටමස්ථානාධිපති නායක හිමියන් විසින් දෙපාර්තමේන්තුවට දැනුම්දීම් සිදු කරනු ලබයි.

“අපි මාසයකට සැරයක් හෝ මාස දෙකකට වරක් ගිහින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිළිබඳව සොයා බලනවා. ඉකුත් දිනවල මම ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ පරීක්ෂාවට ලක් කළා. ඉතා හොඳ තත්ත්වයකින් පවතිනවා. ලෙඩ රෝග දකින්නට ලැබුණෙ නෑ. බෝධීන් වහන්සේගේ අතු වැඩෙමින් තිබෙනවා. ඒ වගේම අලුත් පත්‍රත් සෑදී තිබෙනවා.

බෝධීන් වහන්සේ සරුවට තිබෙනවා. ආධ්‍යාත්මික වශයෙන් බෝධීන් වහන්සේ ශක්තිමත්ව තිබෙනවා. බෝධීන් වහන්සේගෙන් ඉහළට සෑදී ඇති අලුත් ශාඛා ආරක්ෂා කළ යුතුයි. ඒ සඳහා ආධාරකයක් යොදා ආරක්ෂා කිරීමට නියමිතයි. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වයස වසර 2600 කට වඩා ඉතා දිගු වුවත් ඉතා සරු මට්ටමකයි තිබෙන්නේ. තවත් වසර ගණනාවකට බෝධීන් වහන්සේ නීරෝගීව පවතිනවා.

සාමාන්‍යයෙන් සමහර කාලවල ස්වභාවික තත්ත්වයන් යටතේම බෝධීන් වහන්සේගේ පත්‍ර හැළෙනවා. නැවත පත්‍ර හැදෙනවා. සමහර අවස්ථාවන්වලදී දිලීර රෝග එන්න පුළුවන්. කාලගුණික තත්ත්වයන් මත තමයි දිලීර සහ රෝග හැදෙන්නේ. සූර්යාලෝකය සහ උෂ්ණත්වය අඩුවී, මන්දාරම් සහිත කාලගුණික තත්ත්වයන්හිදී බෝගසට දිලීරයක් සෑදීමේ ඉඩ කඩ වැඩියි.” ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් ෂෙලෝමි ක්‍රිෂ්ණරාජා මහත්මිය පවසන්නීය.

“දිලීර බලපෑම් සැලකිය යුතු තත්ත්වයක් නොවෙයි. ඊට ප්‍රතිකාර කිරීමේ හැකියාව තිබෙනවා. මේ සඳහා දිලීර නාශක ආදිය භාවිත කෙරෙනවා. සමහර අවස්ථාවන්වලදී බෝධීන් වහන්සේට කෘමි හානි බලපාන අවස්ථාවන්ද තිබෙනවා. ඉන් පත්‍රයට හානි වෙනවා. කාලගුණය අනුව කාලයෙන් කාලයට එය වෙනස් වෙන්න පුළුවන්.”යැයිද ආචාර්ය ෂෙලෝමි ක්‍රිෂ්ණරාජා මහත්මිය පැවසුවාය.

මීට වසර ගණනාවකට ඉහතදී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් කිසියම් අයකු විසින් කපා දමනු ලැබිය. ඉන් බෝධීන් වහන්සේට යම් බලපෑමක් ඇත්දැයි අධ්‍යක්ෂ ජනරාල්වරියගෙන් අපි විමසුවෙමු.

“දැනට එහි බලපෑමක් නෑ. සමහර වෙලාවල්වලදී දැඩි බලපෑම් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලොකු වෘක්ෂයක අතු දෙකක් තුනක් අයින් කළ විට ඒ ගස අයින් වෙන්න පුළුවන්. ඒ කපාපු තුවාලවලින් කඳට ජලය ඇතුල් වුවිට, දිලීරයක් ඇතිවී දිගටම ඒ දිලීරය මූල පද්ධතියටත් ගිහින් හානියක් වෙන්න පුළුවන්. ලොකු අත්තක් කැපුවා කියන්නේ ගසට ලොකු තුවාලයක් සිදුවීමයි. ඉන් ගසට විෂ බිජ ගිහින් හානියක් වෙන්න පුළුවන්.

නමුත්, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛා කපන ලද ස්ථානයේ පසු කාලීනව සිමෙන්ති සහ වෙනත් රසායනික ද්‍රව්‍ය යොදා එම ස්ථානය ආරක්ෂාකාරීව වසා තිබෙනවා. ඒ නිසා බෝධීන් වහන්සේට ගැටලුවක් නැහැ.

සුමිත්‍ර ආරච්චි මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයකු ලෙස සේවය කරන කාලයේදී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වටේ පැරණි පස් තට්ටුව ඉවත්කර අලුතින් පස් යොදා සංරක්ෂණය කර තිබෙනවා.

විද්‍යානුකූලවයි එම කටයුත්ත සිදු කරලා තියෙන්නේ. ඊට පසුව දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ආචාර්ය සිරිල් විජේසුන්දර, ආචාර්ය පෙරමුණුගම, කේ.එන්.නානායක්කාර යාපා යන මහත්වරු මාසයකට වරක් හෝ මාස දෙකකට වරක් ගිහිල්ලා බෝධීන් වහන්සේට අවශ්‍ය ප්‍රතිකාර ලබාදී තිබෙනවා.

බෝධීන් වහන්සේට හැම මාසයකට වරක්ම ප්‍රතිකාරයක් ඕන වෙන්නේ නැහැ.අපි පරීක්ෂාවට ලක් කරලා බෝධීන් වහන්සේ දුර්වල තත්ත්වයේ පවතින විට ‍පොහොර දැමීමට කටයුතු කරනවා. කෘමි නාශකයක් භාවිත කිරීමට අවශ්‍ය නම් කෘමි නාශකයක් භාවිත කරනවා. දිලීර නාශකයක් අවශ්‍ය නම් දිලීර නාශකයක් භාවිත කරනවා. සුළං වැඩි අවස්ථාවන්හිදී බෝධීන් වහන්සේගේ ශාඛාවල ආරක්ෂාවට ආධාරකයක් සවි කරනවා. මිනිස්සු වගේම තමයි ශාකත්. ඇතැම් අවස්ථාවන්හිදී ලෙඩ වෙනවා.”යැයි ඇය කීවාය.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පහළින් වූ වැලි මළුව වටා බෝ පැළ 32 ක් ඉකුත් 2014 වසරේදී උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව විසින් රෝපණය කර ඇත. ඒ අතර, ගැටඹේ බෝ සමිඳුන්ගෙන් ලබා ගත් බිජවල පැළද වේ. මේ සියලු කටයුතු සිදු වන්නේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආරක්ෂාකාරීව චිරාත් කාලයක් පවත්වාගෙන යාමටය. ඒ සඳහා ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවෙන් කරනු ලබන සේවය සැබවින්ම අගය කළ යුතුව ඇත.

– සාලිය කුමාර ගුණසේකර
(රිවිර)

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button