පළකල දිනය : Sat, Aug 4th, 2018

වෙඩි වරුසා මැද උඩු ගුවනේ සිට ප්‍රභාකරන් ‘ටාගට්’කළ මාරාන්තික රාත්‍රිය !

හමුදා බුද්ධි අංශ වෙත ලද විශ්වාසවන්ත බුද්ධි තොරතුරකට අනුව ‍‍‍ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානීන් එක්ව රහසිගත සැලසුමක් සකස් කරන්නට විය. ඒ කොටි නායක ප්‍රභාකරන් රහසිගතව පැමිණෙන තැනකට පහර දීමටය.

මේ දිනවල ගුවන් හමුදාව වන්නියේ කොටි ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීමත්, යුද හමුදා විශේෂ බළකායේ දිගුදුර විහිදුම් කණ්ඩායම් වන්නි බලකොටුවට රිංගා ප්‍රහාර එල්ල කිරීමත් නිසා කොටි නායකයන්ගේ ගමන් බිමන් පවා සීමා වී තිබිණි. කෙසේ වෙතත් බ්‍රිගේඩියර් අමල් කරුණාසේකර යටතේ වූ යුද හමුදා සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයට ප්‍රභාකරන් රහසිගතව යන එන තැන් පිළිබඳව තොරතුරු හමු විය. මේ අනුව ගුවන් හමුදා බුද්ධි අංශය වෙත තොරතුරු ලබා දෙමින් ඉලක්ක ලබා දීමට යුද හමුදා බුද්ධි අංශය පියවර ගත්තේ ය.

මේ අතරේ විදේශ රටකට යෑමට පැමිණි ත්‍රස්තවාදී විමර්ශන ඒකකයට කොටු වූ කොටි ප්‍රබලයකුගෙන් කොටි නායකයා මහා වීර සතියට පැමිණෙන බව තහවුරු විණි. ඒ ප්‍රභාකරන් වෙනුවෙන් මල්මාලාවක් හදන පුද්ගලයා සම්බන්ධවය. මේ අනුව ලබාදුන් තොරතුරු මත ගුවන් හමුදාවට ඉලක්කය සොයා යෑම පැවරිණි.

ගුවන් හමුදා ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරින් එක්ව රහසිගත සැලසුම සකස් කරන්නේ මේ අනුව ය.

වින්ග් කමාන්ඩර් ෂෙහාන් ප්‍රනාන්දු, බලඝන නායක වජිර ජයකොඩි හා පියාසර ලුතිනන් ප්‍රභාත් විජේකෝන් මේ වන විටත් වන්නි කොටි බලකොටුව පීරමින් ප්‍රහාර මාලාවක් එල්ල කරමින් සිටියහ. වින්ග් කමාන්ඩර් ෂෙහාන් ප්‍රනාන්දු, කෆීර් බලඝනයේ අණදෙන නිලධාරියා විය.

ගුවන් හමුදාවට ඒ වන විට සිටියේ ජෙට් යානා නියමුවන් සීමිත ගණනකි. එයිනුත් කිහිප දෙනකු විදේශ පාඨමාලා හා නව ගුවන් යානා මිලදී ගැනීම් සොයා බැලීමට විදේශගතව සිටියහ. මේ නිසා මාස ගණනක් යනතුරු එක දිගට ෂෙහාන්, වජිර හා ප්‍රභාත් යන නියමුවන් තිදෙනාට කොටි ඉලක්කවලට පහර දීමේ භාරදූර කාර්යය පැවරිණි.

කොටින්ගේ මහා වීර සතිය පුරාවට කොටි නායකයන්ට නිදහසේ සිටීමට ඉඩක් නොතැබිමට ගුවන් හමුදාව සැලසුම් කර තිබිණි. යුද හමුදා බුද්ධි අංශය හා ගුවන් හමුදා බුද්ධි අංශය එක්ව ලබාදෙන ඉලක්ක සොයා ගොස් පහර දීම ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලකගේ අධීක්ෂණයෙන් ගුවන් හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම ඇතුළු මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය ගුවන් ප්‍රහාර සියල්ල සැලසුම් කළේ ය.

2007 නොවැම්බර් 26 දාට යෙදෙන කොටි නායකයාගේ උපන් දිනය දා කොටි මහා වීර සතිය සමරා කරන මහා වීර දේශනයට පැමිණෙන මොහොතේ කොටි නායකයා ඉලක්ක කර ගැනීම සැලසුම විය.

ප්‍රහාරක ගුවන් නියමුවන් වූ ෂෙහාන්, වජිර, ප්‍රභාත් එක්ව පුනරීන් කේ ‍පොයින්ට් හි අවි ගබඩාවක් හා පුදුකුඩිඉරිප්පු හි කොටි ගබඩාවක් හා එක්රැස්වන කඳවුරු පෙළකට නොවැම්බර් 25 දා දවස පුරා ප්‍රහාර එල්ල කරන්නට විය.

එදින (25) සවස්වනතුරු ප්‍රහාර එල්ල කර කටුනායක පැමිණි පසු අණදෙන නිලධාරි ෂෙහාන් ප්‍රනාන්දු හට මෙහෙයුම් අධ්‍යක්ෂවරයා කතා කර පසුදින (26) විශේෂ මෙහෙයුමක් සඳහා ජෙට් යානා දෙකක් සූදානම් කරන්නැයි දන්වා තිබිණි.

මේ අනුව ඉතිරි බලඝනයේ සිටි බලඝන නායක වජිර ජයකොඩිට හා පියාසර ලුතිනන් ප්‍රභාත් විජේකෝන්ට මෙහෙයුමට සූදානම් වන්නැයි අණදෙන නිලධාරියා දැන්විය.

මෙහෙයුමට යෑම සඳහා නොවැම්බර් 26 දා පාන්දර නියමුවන් දෙදෙනා කෆීර් අංගනය වෙත පැමිණ තිබිණි.

එදින (26) දවස පුරාම නියමුවන් දෙදෙනා සූදානම් කර තිබුණ ද සවස්වනතුරු ඉලක්කයට යෑමට මූලස්ථානයෙන් නියෝග නොලැබිණි. ඉලක්කය කුමක්දැයි මේ වනතුරුත් නොදන්වා තිබුණේ එම මෙහෙයුම ඉහළ නිලධාරින් කිහිප දෙනකු පමණක් දන්නා රහසිගත එකක් නිසාවෙනි.

එතෙක් ලබා දුන් උපදෙස් මත ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු විශාලම බෝම්බය වන ටොන් එකක් (කිලෝ දහසක්) බරැති බෝම්බ දෙකක් ප්‍රහාරක යානාවලට සවි කිරීමටත්, එහි සියලු කටයුතු සූදානම් කර තබන්නටත් ගුවන් හමුදා ඉංජිනේරුවන් කටයුතු කළේ ය.

මේ අතරේ එදින සවස 4.50 ට අණදෙන නිලධාරි ෂෙහාන්ට මෙහෙයුම් අධ්‍යක්ෂවරයාගෙන් ඇමතුමක් ලැබිණි. මේ අනුව මෙහෙයුම සූදානම් කෙරිණි. ඉලක්කය කුමක්දැයි නියමුවන් දෙදෙනාට හා අණ දෙන නිලධාරියාට දැන්වූයේත් ඒ ඉලක්කය වෙත යෑමට විනාඩි දහයකට කලිනි.

ගුවන් යානා බුද්ධි අංශයෙන් ලබාදුන් චන්ද්‍රිකා ඡායාරූපවල ඉලක්කය සලකුණු කර තිබිණි. ගොඩනැගිලි කිහිපයක් හා ක්‍රීඩාංගණයක් සහිත වූ භූමියක ඉලක්කය සලකුණු කර තිබිණි. ප්‍රභාකරන් දේශනය පැවැත්වීමට මෙහි පැමිණෙන බව බුද්ධි අංශ නිශ්චිතවම තහවුරු කර තිබිණි.

ඉලක්කය ලැබුණේ සවස් කාලයේ බැවින් අණදෙන නිලධාරියාට ගැටලුවකට තිබුණේ පියාසර ලුතිනන් ප්‍රභාත් විජේකෝන් රාත්‍රි මෙහෙයුම් සඳහා සුදුසුකම් ලබා නොතිබිමය. ප්‍රහාරයට ගොස් නැවත රාත්‍රි කාලයේදී යානය ගොඩබැස්සවීමට හැක්කේ මනා පුහුණුව ලද නියමුවකුට පමණකි. කෙසේ වෙතත් අජිත් විජේකෝන් කෆීර් නියමුවකු වශයෙන් පෙන්වා තිබූ දක්ෂතා නිසා ඔහුට මෙම කාර්ය පැවරීමට අණදෙන නිලධාරියා වගකීම භාර ගත්තේ ය.

තමන්ට ලද සුවිශේෂී ඉලක්කය ගැනීමේ වගකීම භාරගත් වජිර ජයකොඩි හා ප්‍රභාත් විජේකෝන් එදින (26) සවස 5.15 වන විට ප්‍රහාරක ජෙට් යානා ඉහළට එසවීය. කිලිනොච්චියට නාවික සැතපුම් හතරක් බටහිරින් වූ ඉලක්ක ගත තැනට 5.30 වෙද්දී ගුවන් යානා දෙක ළඟා විය. පැයට කිලෝ මීටර් හත්සියයක වේගයෙන් අඩි දොළොස් දහසක් පමණ උසින් ඉලක්කය සොයා පැමිණෙමින් තිබිණි.

මේ වන විටත් අණදෙන නිලධාරියා හා මූලස්ථානය සමග සබඳතා පවත්වා ගනිමින් ඉහළ අහසේ සිට චන්ද්‍රිකා ඡායාරූපවල සටහන් කර තිබූ ඉලක්කය සොයන්නට විය. වජිර ජයකොඩි මෙම සුවිශේෂී මෙහෙයුමේ නායකයා වූ අතර ප්‍රභාත් දෙවැනියා විය.

මෙම යානා කිලිනොච්චි අහසට පිවිසෙන විටත් ඉර බැස යමින් තිබිණි. ‍පොළොවට අඳුර වැටෙන නිසා ඉලක්කය හඳුනා ගැනීම ඉතාම අසීරු විය.

ඉලක්කගත ප්‍රදේශයේ වට භාගයක් පමණ කරකවද්දී ඉලක්කය හඳුනාගත හැකි විය. ඉලක්කය වූයේ ගොඩනැගිලි දෙකකි. මම ටාගට් එක අඳුනා ගත්තා. ඔයා හඳුනාගත්තා දැයි වජිර ජයකොඩි සිය සගයා සමග සබඳතාව පවත්වා ගනිමින් විමසීය. ඉර බැසයන ආකාරය හා වලාකුළු පිළිබඳව ඇති අවබෝධය අනුව ඉලක්කයට ගොස් පහර දීමට වජිර තීරණය කළේ ය. මම මේ දිසාවෙන් ඇතුළු වෙනවා යැයි කියමින් වජිර තමන්ට ලද සුවිශේෂී ඉලක්කය සොයා ක්ෂණයෙන් පැයට කිලෝ මීටර් දහසක පමණ වේගයෙන් අඩි දොළොස් දහසේ සිට පන්දහස වනතුරු පහළට පැමිණෙන්නට විය. ප්‍රභාත්ට තිබුණේ වජිර ප්‍රහාරය එල්ල කර තත්පර පහකට පසුව ඉලක්කය සොයා යෑම ය.

ගතවූයේ නිමේෂයකි. කොටි නායකයාගේ ආරක්ෂාවට තිබූ ගුවන් ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක විය. ගුවන් යානා නාශක අවිවලින් වරුසාවක් මෙන් ඉහළ අහසට උණ්ඩ නිකුත් වන්නට විය. මේ අනුව ප්‍රභාකරන් එහි සිටින බව ගුවන් නියමුවන්ට ද තහවුරු විය.

ප්‍රභාත් මට හොඳටම ගහනවා යැයි වජිර සිය සගයාට දන්වද්දීත් ප්‍රභාත් ඉහළ අහසේ සිට මේ සියල්ල පියවි ඇසින් දැක ගත්තේ ය.

සර් මට පේනවා බලාගෙන යන්නයි ප්‍රභාත් වජිරට දැන්වීය. කොටින්ගේ අවිවලින් නිකුත් වූ උණ්ඩ අඩි දස දහසට පවා පැමිණ පුපුරන අයුරු ප්‍රභාත්ට පෙනිණ.

මෙම උණ්ඩ මගහරිමින් හීයක වේගයෙන් ගිය වජිර සිය යානයේ වූ කිලෝ දහසක බෝම්බය අඩි පන්දහසේ දී ඉලක්ක ගත ගොඩනැගිල්ලට මුදා හැරියේ ය. එය පුපුරා යෑමත් සමග ප්‍රභාත් ඊළඟ ගොඩනැගිල්ලට බෝම්බ දැමීමට යෑමට පහළට එන්නට විය. වජිර ඒ වන විටත් බෝම්බය දමා කරණමක් ගසා ඉහළට පැමිණියේ ය.

කොටි වෙඩි වරුසා මැද ප්‍රභාත්ගේ යානයත් ගියේ වජිරගේ යානයම ගිය මගෙහිමය. ප්‍රභාත් යානය අඩි අට දහසට යන විටත් කොටින්ගෙන් එල්ල වූ ප්‍රහාරය දරුණු විය. මීට හේතුව ඉර බැසයන විට ඉර එළිය වැටී දිලිසෙන යානාව පහළ සිටින කොටින්ට හොඳින් දිස්වීම නිසා ය.

වෙඩි ප්‍රහාරය දරුණු වූයෙන් හීයක වේගයෙන් ඉහළට ආ ප්‍රභාත් යළිත් දිසාව වෙනස් කර ඉලක්කය වෙත එන්නට විය. යළිත් කොටින්ගේ අවි ක්‍රියාත්මක වූවද ඒවා මගහරිමින් හීයක වේගයෙන් පැමිණ අඩි හාරදහසේ දී බෝම්බය හෙළා උඩට පැමිණියේ ය.

අපි උඩට එද්දීත් යානාවලට ගහපු කොටින්ගේ උණ්ඩ පුපුරනවා. අපි බෝම්බ දෙකක් පමණක් ගෙනගිය හින්දා කොටින්ගේ අවි ස්ථානගත කර තිබූ තැන්වලට ගහන්න ලැබුණේ නැහැ. ඉලක්කයට බෝම්බ දාලා ඉවරවෙද්දී කළුවර වැටිලා. ඒ නිසා අපි එන්න ගත්තා. අපිට මිෂන් එකට දීලා තිබුණේ පැයයි. නමුත් පැයයි විනාඩි දහයක් පමණ ගියා. අපිට දුන්න ඉලක්කයටම බෝම්බ වැටුණ බව ගුවනේ තිබූ බිච් ක්‍රාෆ්ට් යානය (ඔත්තු බලන යානය) මගින් නිරීක්ෂණය කර තහවුරු කළා. කළුවරේම ඇවිත් අපි යානා දෙක නිරුපද්‍රිතව කටුනායකට ගොඩබැස්සුවා යැයි පියාසර ලුතිනන් ප්‍රභාත් විජේකෝන් සිය අත්දැකීම හෙළි කළේ ය.

කොටි නායක ප්‍රභාකරන්ට අපි ඒ සතියේම හෙල්ලෙන්නවත් දුන්නේ නැහැ. අන්තිම දවසේ බෝම්බ දැම්මා. ඒකෙන් ප්‍රභාකරන් තුවාල ලැබුවා කියලා තහවුරු වුණා යැයි ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක ඒ මොහොතේ තහවුරු කළේය.

කොටි නායක ප්‍රභාකරන් සැඟවී සිටි භූගත ගොඩනැගිලිවල කොන්ක්‍රීට් තට්ටු නොවන්නට ප්‍රභාකරන් මරු දකින්නේ එදින ය.

කොටි නායක ප්‍රභාකරන් සොයා යෑමේ ක්‍රියාන්විතයේ දී දස්කම් පෑ බලඝන නායක වජිර ජයකොඩි කොළඹ රාජකීය විද්‍යාලයෙන් ඉගෙනුම ලබා ගුවන් නියමුවකු ලෙස එක් වී සිව්වන ඊළාම් යුද්ධය ආරම්භක මොහොතේ පටන් අවසානය දක්වා සිටි සුවිශේෂී නියමුවෙකි. පියාසර ලුතිනන් ප්‍රභාත් විජේකෝන් හඟුරන්කෙත ‍පොරමඬුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් ඉගෙනුම ලබා ගුවන් නියමුවකු ලෙස එක් වී සිව්වැනි ඊළාම් යුද්ධය පුරාවට දස්කම් පෑ තවත් දක්ෂ නියමුවෙකි.

මේ දෙදෙනා එදා කළ වීර වික්‍රමාන්විත මෙහෙයුම ඉහළ නිලධාරින්ගේ ඇගයීමට ලක් වූ අතර මේ සඳහා වීරවික්‍රම පදක්කම් ද නිර්දේශ කරන්නට ද අණදෙන නිලධාරි වින්ග් කමාන්ඩර් ෂෙහාන් ප්‍රනාන්දු කටයුතු කළේ ය.

– තිස්ස රවීන්ද්‍ර පෙරේරා
(රිවිර)

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button